If you can't read,please click on here.

Thursday, February 11, 2010

මහින්ද සෙවූ ප්‍රජාත්‍රන්තවාදයෙන්,සුබ අනාගතය එළඹී ඇත...

නිදහස් අදහස් ප්‍රකාශ කිරීම,තම මතය වෙනුවෙන් හඬ නැඟීම නිසා පොලීසියෙන් ගුටි කා හිරගෙවල ලගින්නට සිදුව ඇති කාලයක පාලුවට ගිය බ්ලොග් අඩවියට සටහනක් එක් කරන්නේ පවුල් පාලනයේ ඒකාධිපතිවාදී හස්තයෙන් හෘද සාක්ෂිය තුළ සම්පීඩ්‍ය වූ  අදහස් සමුදායක් නිදහස් කිරීම සඳහාය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය කැඳවා ප්‍රකාශ කළේ උතුරේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් හදිසි ඡන්දයට යන බවයි.එහෙත් තමාට දකුණේ පමණක් ජනපති වන්නට අවැසි නැති බව කියූ  මහින්ද මහත්තයාට ආයෙත් සිදු වූයේ සිංහල ජනතාවගේ ජනාධිපතිවරයා වන්නටය.තවද මේ ඡන්දය හරහා උතුරේ ජනයාගේ ප්‍රජාත්‍රන්තවාදය තහවුරු වූයේද නැත."උතුරු වසන්තය" හා "නැගෙනහිර නවෝදය" මහින්දට ජය ගෙන දුන්නේ නැත.දශක 3ක යුද සාපයෙන් හෙම්බත්ව ඉරි තැලී ගිය උතුරුකරයේ ජීවිත යළි සනසවන්නට කාලය තිබියදී ඒ වෙනුවට "මට ඡන්දය දෙන්න" යැයි මහින්ද කීවේය.සන්ධාන ආණ්ඩුවට අනුව,රටේ ප්‍රජාත්‍රන්තවාදය යනු මැතිවරණ පැවැත්වීමයි.එම මැතිවරණවලදී ප්‍රජාත්‍රන්තවාදය කෙතරම් දුරට සුරක්ෂිත වන්නේද යන්න ඔවුන්ට අදාළ නොවන්නකි.උතුරේ යුද ජයට සමාන්තරවම දකුණේ මැතිවරණ ජය ගැනීමට රජය කටයුතු කළේද ඒ අයුරිනි.ෆොන්සේකා භීතිකාවක් රට තුළ නිර්මාණය කළ රජය,ෆොන්සේකාට ඡන්දය දී රටේ ප්‍රජාත්‍රන්තවාදය නැති නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලුවේය.ඒ වන විටත් නැති වන්නට දෙයක් ඉතුරු වී නොතිබුණ බව කී දෙනෙකුට වැටහී තිබුණේදැයි මම නොදනිමි.එහෙත් මා මුල සිටම සිතුවේ,පැදුරේ සිටින්නා බිමට වැටීමෙන් වෙනසක් නොවන බවය.
උතුරේ ජනයාට රිසිසේ ඡන්දය දෙන්නට මඟ ඇහිරී තිබුණු අතර ඡන්දය දුන් අයද අති බහුතරය මහින්ද රාජපක්ෂ ජනපතිට එරෙහිව සිය මතය පෙන්වා තිබුණි.සන්ධානයට සුපුරුදු ජාතිවාදී හා අතාර්කික කරුණු කීම යළිත් සිදු කළ එම පාර්ශවය කීවේ කොටි හිතවාදී ඡන්ද ෆොන්සේකාට වැටී ඇති බවයි.මෙය අතිශයින් බරපතල කරුණකි.යුද්ධය නිම වූ සැණින් සියල්ල නොවිස‍ඳෙන බව අවබෝධ කර ගත යුතුව තිබෙන රජය යළිත් යුද්ධයක් අවුස්සන සුළු ප්‍රකාශ කරමින් සිටී.මේ රට සිංහලයන්ට උරුමයි කියන නොමේරූ අන්තවාදී මළ බැඳුණු මතවාද පසෙකලා හිතන කල මේ තත්වය යහපත් නැම්මක් නම් නොවේ.
රජයට අනුව ෆොන්සේකාට ඡන්දය දී ඇත්තේ කොටි හිතවාදීන්ය.නැත්නම් උතුරේ වෙනම ඊලමක් අවැසි කරන අයය.ඒ අනුව උතුරේ බහුතරය තවමත් කොටිය.එසේ නම්,ප්‍රශ්නය විසඳන්නට උතුර සමූල ඝාතනය කළ යුතුය.එහෙත්....?විසඳුම එයද ?

උතුරට කෙසේ වෙතත් අද දකුණට තිබු ප්‍රජාත්‍රන්තවාදය ඇහිරෙමින් තිබේ.රටේ නීතිය රකින්නට අවි දරා සිටින්නන් අද සිය අවි අමෝරා ගන්නේ නීති කඩන්නන්ට එරෙහිව නොව රාජපක්ෂ පාලන විරෝධීන්ට එරෙහිව වීම අතිශයින් භේදනීය තත්වයක් නොවේද? පොලීසියට ජය ගෝසා නැඟූ ජනයා අද හූ හඬින් හා ගල් මුල්වලින් පොලීසියට පහර දෙන්නේ ඇයි?ෆොන්සේකා යනු "ඉඩි අමීන්" යැයි එදා කියූවෝ අද ෆොන්සේකාවත් හිරගෙට යවමින් සිටී.එසේ නම් මේ එළඹෙන්නේ ඉඩි අමීන්ටත් නොදෙවෙනි වූ පාලන සමයක් දැයි අපි නොදනිමු.එක දිගට ඡන්ද පවත්වා මහින්ද සෙවූයේ මේ ප්‍රජාත්‍රන්තවාදය ද?
27 වෙනිදා සිට එළඹෙනු ඇතැයි කිවූ සුබ අනාගතය මේ වේද?