If you can't read,please click on here.

Friday, August 6, 2010

අපි නොදන්න ආශ්චර්යය !

2005 දී මහින්ද රාජපක්ෂ ජනපති බවට පත්වූයේ  දකුණෙන් ගමේකමට ලක්ෂ ගානට වැටුණු ඡන්දත් විමල් ඇතුළු ජ.වි.පෙ. මහින්දව පුම්බපු පිම්බීමත් නිසාය.එහෙම ජනාධිපති වුණු මහින්ද මහත්තයාට දැන් ඉතින් මොනවා කරන්නද කියා තේරුමක් තිබුන බවක් පෙනෙන්ට තිබුනේ ද නැත.කරන්නට දෙයක් නැතිව ඉන්නකොට කොටියා මාවිල් ආරුව වැසුවේය.කොටියා යුද්ධය ඉල්ලුවේය.එහෙත් මහින්ද දුන්නේ නැත.මහින්ද චින්තනයෙත් තිබුණේ ප්‍රභාකරන්ව පුද්ගලිකව වුවද හමුවී සාකච්ඡා කරන්නට තමා සූදානම් බවය.ඒ නිසා මහින්ද යුද්ධයක් ගැන හිතුවේම නැත.එහෙත් කොටියා යුද්ධය ඉල්ලනකොට ඒක මහින්දගෙන් ඉල්ලලා දෙන්න පිරිසක් සිටියෝය.ජ.වි.පෙ. හා හෙළ උරුමය කොටියාට යුද්ධය ඉල්ලලා දුන්නේය.හමුදාවේ කොල්ලො ටික ඇ‍ඟෙන්ම යුද්දෙට බැස්සේය.හමුදාවේ ඉහළ පුටුවලට නියම වැඩකාරයෝ ටික නැග්ගේය.යුද්ධය දවසින් දවස ජයග්‍රාහීව ඉදිරියට ඇදුණි.හමුදාව උතුරේ යුද්දෙන් දිනනකොට මහින්ද දකුණේ ඡන්දවලින් දිනන්නට පටන් ගත්තේය.ඒ ඡන්ද දින්නේ "රට සුරකින සටන රකිමු" කියාය.ඊට පස්සේ ජනාධිපතිවරණයට ඇවිත් කීවේ,මහරජුට කළ ගුණ සලකන්න කියාය.මහ ඡන්දෙට ඇවිත් තවත් දෙයක් කීවේය.ඒ "ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය" කරන්න ඡන්දෙ දෙන්න කියාය.මේ ඔක්කොටම මිනිස්සු ඉහටත් උඩින් ඡන්දය දුන්නේය.අවුරුදු 30ක යුද්දෙ නවත්තපු මහින්දට කියපු අනිත් ඒවාත් කරන එක කජ්ජක්දැයි මිනිස්සු හිතුවා වෙන්නට පුළුවන.එහෙත් දැන් බලනකොට යුද්දෙ දිනාගත්තෙත් මහින්ද හින්දමද කියලා ආයෙත් හිතන්නට වෙලාය.ඒ ඉන් එහා කියපු කරපු දෙයක් නැති නිසාය.

සිව් වසරක යෝධ සංවර්ධනය කියලා යෝධ කටවුට් ගැහුවට රට සංවර්ධනය වෙන්නේ නැත.මං මාවත්,පාලම් ඉදි වෙන්නට ඕනෑය.එහෙත් ගුවන් පාලම් 2,3ක් හැදුවම ඒක යෝධ සංවර්ධනයක් වෙන්නේ නැත. ඉස්සර වාහන ගිය විදියටම අදත් පාරේ වාහන ටික යන්නේය.කොහොම වුනත් ලංකාව දැන් ආසියාවේ ආශ්චර්යයක් වේගෙන එන්නේය.

රාජපක්ෂ ආණ්ඩුව රටේ ආශ්චර්යය පාන්න වූයේ අද ඊයේ නොවේ.කලින් තිබුණ ආණුඩුව ඕනෑ තරම් ආශ්චර්යයන් කර පෙන්නුවේය.ප්‍රශ්න පත්‍රයක අඩුපාඩු ටිකක් තිබීම,ඉඳ හිට බෙහෙත් බෝතල්වල අනං මනං තිබීම මහා ලොකු දෙයක් නොවේ.එහෙත් හදන හදන ප්‍රශ්න පත්තරේ වැරදෙන එක,ප්‍රශ්නත් එක්ක උත්තර එන එක,එක විභාගෙ දෙපාරක් තියන්න වෙන එක,ගේන ගේන බෙහෙත් කුප්පිවල එක එක ජාති තියෙන එක ....මේවානම් ආශ්චර්යයන්ය.ලෝකෙ ලොකුම කැබිනට් එක අපි වගේ පුංචි රටක් නඩත්තු කරපු එක ආශ්චර්යයක්ය.එකම ආණ්ඩුවේ කලින් හිටපු ඇමතියන් කරපුව දැන් ඇමතිලා හොය හොය කියන්නේ ඒ කරපු ආශ්චර්යයන් කොතරම් ද කියාය.


දැනුදු රටේ දවසින් දවස ආශ්චර්යයන් සිදුවෙමින් තිබේ.යුද්ධයට නායකත්වය දුන් යුද හමුදාපතිවරයා හිරේට ගොස් ඇත.අද වන තුරු ඔප්පු කළ සාක්ෂියක් නැත.දහස් ගණන් මිනිස්සු මරපු,ළමා සොල්දාදුවෝ බඳවා ගත්තු කොටි නායකයා නියෝජ්‍ය ඇමති වෙලාය.ප්‍රභාගෙන් පසු කොටි නායකයා ලෙස ප්‍රකාශ වූ කේ.පී. හමුදා ආරක්ෂාව මැද උතුරේ නිදහසේ සංචාරය කරන්නේය.රාජපක්ෂවරුන්ට එරෙහි වන්නන්ට රටෙන් යන්නට තරම් දේ සිදු වන්නේය.එහෙයි කිව්වොත් සුර සැප ලැබෙන්නේය.


එක ඇමතියෙක් උපවාස කරන්න ගත්තේ මැරුණත් බූන්ගේ කමිටුව හකුළා ගන්නා තුරු නැගිටිනේ නෑ කියාය.එහෙත් බූන් කමිටු සාමාජිකයින් ගණන තවත් වැඩි කළේය.ඇමතිතුමා කිසිම කතාවක් නැතුව වතුර බීලා උපවාසේ හමාර කළේය.තව ඇමති කෙනෙක් ඩෙංගු මඩින්න සමෘධි නිලධාරියෙක් ගස් බැන්දේය.එතනට ගිහින් "මෙයාව ගැට ගහන්න" කියපු ඇමති පාර්ලිමේන්තුවේදී කියන්නේ තනියම කැමැත්තෙන් ගැට ගැසුණා කියාය.අනික් පැත්තෙන් මර්වින් ඇමතිතුමා මිනිස්සු ගස් බැඳපු එක හොඳයි කියලා තවත් පිරිසක් උද්ඝෝෂණයකුත් කරයි.

උදේ හවා මිනිස්සුන්ට ඕනෙවෙන කෑම බීම ටික දවසෙන් දවස වැඩි වෙයි.එහෙත් වාහන මිල ටිකක් බැස්සේය.ජී.එස්.පී. ප්ලස් එකත් නැත.පඩි වැඩි කරන්න ඉල්ලපු රටේ විදවත් ආචාර්යවරුන්ගේ තියෙන පඩියත් කැපුවේය.ඇමතින්ට පොලීසිය එක විදියක්ය.අපිට තව විදියක්ය.හරියට වෙනම රාජ්‍යයක් වගේමය.මේ ඔක්කොම බලනකොට ලංකාව ආසියාවේ විතරක් නොව "ලෝකයේම ආශ්චර්යය" වී හමාරය.







Monday, June 7, 2010

ඇමෙරිකාව එපා කියා ඉන්දියාව බදා ගැනීම

ශ්‍රී ලංකාව වූ කලී අතීතයේ විදෙස් ජාතීන්ට යටත් විජිතයක් ව පැවති රාජ්‍යයකි.අප එම යටත්විජිත වහල් බාවයෙන් මිදෙනු ලැබුවේ 1948 දී යැයි කියවේ.කෙසේ වුවද එසේ වූ පමණින් අප මුළුමනින්ම ස්විධීන නොවු අතර ක්‍රම ක්‍රමයෙන් එකී පරාධිපත්‍යයෙන් පිටතට පැමිණියෙමු.1972 ජනරජයක් වශයෙන් අප නම් වන්නේ ද එතෙක් පැවති රැජිනගේ බල ආධිපත්‍යයට තව දුරටත් යටත් නොවන රටක් බවට පත් වෙමිණි.එහෙත් ඉන් මතුවට හෝ ශ්‍රී ලංකාව මුළුමනින්ම ස්වාධීන වූ රාජ්‍යයක් ලෙස නොපැවති බවට නිල නොවන මට්ටමෙන් හෝ පිළි ගැනීමට අපට සිදු වේ.
තුන්වන ලෝකයේ රටක් ලෙස ඉදිරියට යන අපි තනිවම දෙපයින් සිට ගන්නට දිගින් දිගමට අපොහොසත් වීමු.එහෙයින් අපට අනෙක් රටවල ආධාර,උපකාර පතන්නට සිදු විය.මෙසේ අනුනගෙන් පිහිට පත්න්නට එක් එක් රාජ්‍ය නායකයා අනුගමනය කළ ප්‍රතිපත්ති අනුව මෙරට නොනිල වශයෙන් ඇතැම් රටවල යටත් විජිත බවට පත් වෙන බවක් ද දක්නට ලැබුණි.1994ට පෙර මෙරට වැඩිම කාලයක් බලය හෙබවූයේ එ.ජා.ප. යි.පසු කාලීනව එ.ජා.ප. ය යනු ඇමෙරිකානු හා යුරෝපී ගැතිවාදී පක්ෂයක් ලෙස නම්වූ ආකාරයක් දක්නට ලැබුණි.මෙය මෙරට ස්වාධීනත්වය පාවා දීමක් ලෙස එකල විපක්ෂයේ සිටි දේශපාලකයින් බලවත් ලෙස විරෝධය පාමින් කියා සිටියහ.
වත්මන් රජය බලයට පත් වන්නේ එ.ජා.ප.යේ තිබූ විදෙස් ප්‍රතිපත්තියද බරපතල ලෙස විවේචනය කරමිනි.කෙසේ වුවද වත්මන් ජනපතිවරයාගේ පත්වීමත්,ඔහුගේ පාලන කාලයත් ශ්‍රී ලංකාවේ විදෙස් සබඳතාවන් හා ප්‍රතිපත්ති වෙනස් මඟකට යොමු කරමින් ඇති බවක් පෙනේ.
රාජපක්ෂ රජය බලයට පත්ව කෙටි කලක් තුළ උතුරේ අර්බුදය ‍සමනය කිරීම සඳහා යුධමය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ විය.මෙම යුධමය ක්‍රියාවලිය අතරතුර ඇමෙරිකාව,යුරෝපය හා එ.ජා.සං. හා විවිධ මානව හිමිකම් සංවිධාන අප රටට හොස්ස පොවන්නට පටන් ගත්තේය.එහෙත් ඒ සියලු ඇඟිලි ගැසීම් මායිම් නොකොට,යුද්ධය දිගටම පවත්වාගෙන යන්නට රජය ක්‍රියා කළේය.එය ප්‍රශංසිතය.යුද්ධය අවසානය කරා ළඟාවෙත්ම අසල්වැසි ඉන්දියාවද හොස්ස පොවන්නට විය.සටන් විරාමයන් ගැන පවා කතා ඇසෙන්නට විය.කෙසේ වුවද අවසානයේ ඒ වන විට යළි හැරවිය නොහැකි තැනට පත් ව තිබූ යුද්ධය අවසානය කරා ළඟා කරගන්නට අපට හැකි වුණි.මේ යුද්ධය සාර්ථකව නිම කිරීම සඳහා අපට උදව් දුන් විදෙස් මිතුරන් සිටියහ.ඒ අතරින් පාකිස්ථානය හා චීනය ඉදිරියෙන්ම සිටින අතර,සිය නිශේධ බලය භාවිතා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටගත් රුසියාවද අපට අමතක කළ නොහැක.කෙසේ වුවද මේ ලැයිස්තුවේ ඉන්දියාව සිටින්නේ තරමක් පසු පසිනි.ඔවුන් අපට බොක්කෙන්ම උදව් කළා යැයි කීමට හැකියාවක් නැත.මුල් කාලීනව ඉන්දියාව ප්‍රබල ලෙස කොටි හිතවාදී වූ අතර,තරමක් හෝ එකී මතයෙන් ඔවුන් මිදෙන්නේ රාජීව් ගාන්ධි ඝාතනය නිසාවෙනි.කෙසේ වුවද ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ ඉන්දියාවේ හිත යට සැඟවුණු ආශාව තවමත් තිබෙන බව නොරහසකි.
වර්තමානයේ අප දකින්නේද ඉන්දියාවට එකී ආශාව වෙනුවෙන් අපි ඉඩ හරිමින් සිටින බවකි.
"මේ පාර කොහොම හරි ඕක ඉවර කරගනින්", කියා බොක්කෙන් අපිට උදව් කරපු පාකිස්ථානයට,චීනයට හෝ රුසියාවට වඩා අපි ඉන්දියාවට ඇලුම් පාන්නෙමු.
හදිසියේම අපි ලංකාවට IIFA ගෙන්වා ගත්තෙමු.ඇති තරම් ඔවුන් වෙනුවෙන් වියදම් කෙරුවෙමු.එසේ කරද්දීත් ලෝ ප්‍රකට හා මෙරට සිනමා ලෝලීන් පවා වඩා ආදරය කරන ඇතැම් ඉන්දීය සිනමා තරු ඉන්දියාවෙන් ආවේ නැත.එල්.ටී.ටී.ය. නැති කළ පසුත් ඉන්දියාවට ඒ නළුවන් ලංකාවට එවා ගන්නට පුළුවන් වුණේ නැත.අන්තිමට අපි අතිශයින් ජනප්‍රියත්වයට පත් ලෝ ප්‍රකට සුපිරි නළු නිලියන්ට පමණක් නොව,අඩ නිරුවතින් නටන,සෙසු චරිත නළු නිළියන්ටද රතු පලස් එලුවෙමු.කියන තරම් මහා ධන සම්භාරයක් අපිට ලැබුණා දැයි නම් අපි නොදනිමු.එහි ප්‍රතිපල දැක ගැනීමට ටිකක් කල් යනු ඇත.මෙරට සාමාන්‍ය වැසියාට ඒ මුදලින්වත් යමක් නොවුණහොත්,එයත් වාහන බදු අඩු කරමින් මහ පැලැන්තියට සැලකුවා සේම මේකත් ඒ අයගේ හිත සුව පිණිස පැවැත් වූ සාදයක් වනවා ඇත.මෙය IIFA විරෝධයක් නොවේ.එහෙත් ඊට වඩා අපිට කරන්නට දේවල් තිබේ.ඒ දේවල් කරන්නට මුදල් සොයා ගත හැකි එකම මාර්ගය IIFA නොවේ.
තවත් පැත්තකින් 13 වන සංශෝධනය බලාත්මක කරන්නට දැන් ඉන්දියාව අපිට කියයි.මේ අතර කරළියට "සීපා" පැමිණ ඇත.එම ගිවිසුම අත්සන් කළහොත් මෙරටට වන හානිය අත්දැකීම් සහිත විචාරකයින් පෙන්වා දී තිබේ.ඉන්දියාව මේ හදන්නේ දේශපාලනිකව හා ආර්ථික වශයෙන්ද අප රට ආක්‍රමණය කිරීමටය.සංස්කෘතික වශයෙන් ඉන්දියාව අපව දැනටමත් ප්‍රබලව ආක්‍රමණය කරමින් සිටී.ලෝක ආර්ථික බලවතුන් පසු ගිය ආර්ථික අර්බුදයෙන් බිඳ වැටෙද්දී ආසියානු කලාපය තුළ  සිය ආර්ථිකය බලවත් කර ගනිමින් ඉදිරියට යන ඉන්දියාවට ශ්‍රී ලංකාව වැනි රටවල වෙළඳපල භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙන්ම සිය අණසකට නතු කර ගැනීමට ඕනෑ වී තිබෙන බව තේරුම් ගත යුතුය.සැබැවින්ම අල්ලපු රට වූ පමණින් ඉන්දියාවට ඕනෑ විදියට නටන්නට තරම් ඉන්දියාව අපිට කළේ කුමක්ද කියා සිතන්නට කාලය හරිය.නැත්නම් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කුඩා ඉන්දියාවක් වනු ඇත.
"ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ නංගී කෙනෙක්" කියා ජනාධිපතිතුමා කිව්වෙත් අක්කා කියන විදියට නංගී ඉන්න හදන බවදැයි අපි නොදනිමු.එහෙම ඉන්න යනවනම් ඇමෙරිකාවට,සුද්දොන්ට පතුරු යන්න බැනපු එකත් අපරාධයක්ය.

Monday, March 15, 2010

ආණ්ඩුවේ ඉටු නොවන සිහිනය.. : 2/3 - 2

ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යවන්නේ නම්,එයට ජනතාවගෙන් 2/3 ඉල්ලා සිටිය යුතු නැත.එය එක් දුරකථන ඇමතුමකින් කළ හැක්කකි.විපක්ෂය එකග කර ගත් විට 2/3 පහසුවෙන් හිමි වේ.තම පක්ෂය නන්නත්තාර වුවත් හොද දෙයක් නම් ඊට පැනලා සහය දෙන ආකාරයේ විපක්ෂ නායකයෙකු සිටින රටක එය තවත් පහසුය.පසුගිය 2005 ජනාධිපතිවරණයෙන් පසුවද රටේ පොදු ප්‍රශ්න විසදීම සදහා වසර 2ක් රජයට සහය දීමට ද මේ විපක්ෂ නායකයා එකග වූ බව අද බොහෝ දෙනෙකුට මතක නැත.අය වැය පවා කොන්දේසි විරහිතව අනුමත කරන්නට එම එකගතාව තුළ විපක්ෂය කැමති වී සිටියේය.එබැවින් රටට හා ජනතාවට හිතකරවූත්,ජනතාව අනුමත කරන්නාවූත් ව්‍යවස්ථාවකට අත එසවීමට විපක්ෂය පැකිළෙනු ඇතැයි සිතිය නොහැකිය.එබැවින් 2/3 ඉල්ලා කෑ ගසනු වෙනුවට,තමා ඉදිරිපත් කරන්නට යන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න ජනතාවට කීම වඩා වටී.කෙසේ වුවද පවතින තත්වය යටතේ මේ රජයට 2/3 ලබා ගත නොහැකි වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට කැමැත්තෙමි.




අප මේ මැතිවරණයේ දී කවුරුන් ජය ගනු ඇත්දැයි කීමට වඩා අවසන් වරට පැවැති මැතිවරණයට අනුව සංසන්දනාත්මක විග්‍රහයක යෙදීම සුදුසු වේ.පසුගිය ජනාධිපතිවරණය යනු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උපරිමය වේ.ඊට වඩා මේ ඡන්දයේදී ඡන්ද අඩු වීම මිසක් වැඩි වීමක් සිදු වීමට කිසිදු තාර්කික හේතුවක් නැත.ගිය ජනාධිපතිවරණයේදී ද සැලකිය යුතු පිරිසක් ජනාධිපති මහින්දට මිස ආණ්ඩුවේ හොදකට ඡන්දය නොදුන් බව පැහැදිලිය.ආණ්ඩුව කිසි කමකට නැතත්,ජනාධිපති මහින්දම විය යුතු යැයි සිතූ පිරිසක් විය.තවද හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම හා මාධ්‍ය මර්දනය වැනි කරුණු නිසාද,රජය යම් අප්‍රසාදයකට ලක් වෙමින් තිබේ.මේ නිසා පසුගිය ජනාධිපතිවරණය යනු බුලත්කොළයට ලැබිය හැකි උපරිමය යැයි සිතීමේ වරදක් නැත.ඒ අනුව එම ඡන්ද ප්‍රතිඵලයට අනුව ආසන බෙදී යන ආකාරය ගත් විට ඒ දැක්වෙන්නේ වත්මන් රජයට ලබා ගත හැකි උපරිම ආසන ගණනයි.ඒ අනුව දිස්ත්‍රික් පදනමින් එය 111ක් විය හැකි අතර ඉතිරි ආසන 85 විපක්ෂය අතර බෙදී යනු ඇත.ජාතික ලැයිස්තුවේ 29ම ආණ්ඩුවට හිමි නොවන නමුත්,එසේ වුවද ගණන 140ක් වේ.පසුගිය ජනාධිපතිවරණයට අනුවම ඡන්ද ප්‍රකාශ වන්නේනම්,රජයට වැඩිම ආසන සංඛ්‍යාවක් ගම්පහින්(11ක්) හිමිවිය හැකි අතර විපක්ෂයට කොළඹින් (9ක්) උපරිම ආසන ගණනක් හිමි වීමට ඉඩ තිබේ.හම්බන්තොටින් වුවද විපක්ෂයට ආසන 2ක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.එහෙත් මට හැගෙන ආකාරයට වත්මන් දේශපාලන වාතාවරණය තුළ සන්ධාන ආණ්ඩුවේ උපරිමය 130ක් හෝ ඇතැම් විට 120ක් ද විය හැකිය.එබැවින් 2/3 සිහිනයක්ම පමණක් වනු ඇත.
එහෙත් තවත් අවස්ථාවක් රජයට තිබේ.එය ඔවුන්ට පුරුදුම ආකාරයයි.ඒ විපක්ෂ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමයි.දෙමළ සන්ධාන මන්ත්‍රීවරු හෝ කුසලාන යටතේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නන් රජයට එකතු වෙතැයි සිතිය නොහැක.මේ නිසා තීරණාත්මක වන්නේ අලියා ලකුණෙන් මැති සබයට පත්වෙන්නන්ය.රටට හිතකර නොවූ ව්‍යවස්ථාවකට යන්නට හෝ,2011න් පසුවත් රාජපක්ෂවරුන්ටම රජ කළ හැකි ආකාරයක් සකසා ඒකාධිපතිවාදයකට යන්නට හෝ කැසකවන ආණ්ඩුවට එය කළ හැකි වන්නේ අලි ටික ගොඩ දාගත්තොත් පමණි.එබැවින් මෙවර වැඩිම වගකීමක් ඇත්තේ අලියාට කතිරය ගසන ඡන්ද දායකයාට ය.දැනට මැතිවරණයෙන් පසු එ.ජා.ප.යෙන් ආණ්ඩුවට එක් නොවෙතැයි සිතිය හැක්කේ එක් අයෙකු පමණි.ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ය.එබැවින් රට ඒකාධිපතිවාදයකට හෝ පවුල් පාලනයකට නතු නොවීමට නම්,කොන්දක් හා ප්‍රතිපත්තියක් ඇති මහජන නියෝජිතයින් පත් කර යැවීමට ජනතාව බුද්ධිමත් විය යුතුය.එසේ නැතිනම්,ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවට 2/3 සිහිනයක් වුවත්,"අලි සෙල්ලම" සිදුවුවහොත් එය තව දුරටත් සිහිනයක් නොවීමට ද ඉඩ තිබේ.

ආණ්ඩුවේ ඉටු නොවන සිහිනය.. : 2/3

පරාජයෙන් හෙම්බත්ව සිටි විපක්ෂය නව පණක් ලැබූයේ ජෙනරාල් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමඟය.තනි අශ්වයකුගේ තරඟයක් වෙතැයි සිතා සිටි ජනාධිපතිවරණය ද්වන්ධ සටනක් බවට පත්නරගන්නට සමත්වූ විපක්ෂය ජෙනරාල් පසු පසින් නව ජන රැල්ලක් නිර්මාණය කරන්නට සමත් වූ බව දැකිය හැකි විය.එය රජය හා ජනාධිපතිවරයාද ‍කෙතරම් තැති ගැන්මට ලක් කළේද යන වග නාම යෝජනා දුන් දින‍යේ පටන් ඡන්දය පැවැත්වෙන මොහොත දක්වාම රජය මහජන දේපළ ඇතුළුව තමා සතු සියලු දෑ පහත් හා නින්දිත ලෙස ජෙනරාල්ට එරෙහිව යොදා ගත් ආකාරයෙන්ම පැහැදිලිය.විපක්ෂ අපේක්ෂකයාගේ ජය කෙසේ වෙතත්,මහින්ද රාජපක්ෂ මහතා යන්තමින් මිස පහසුවෙන් ජය නොගනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ මතය වුවද ,ඡන්ද ප්‍රතිඵලය අතිශයින් විශ්මය ජනකවූයේ ජනපති මහින්ද විපක්ෂ අපේක්ෂකයා අභිබවා වැඩි ඡන්ද 18 ලක්ෂයක් ලබා ගනිමින් ජය ගැනීමට සමත් වීමත් සමඟය.කොම්පියුටර් ජිල්මාට් ඇතුළු චෝදනා රැසක් විපක්ෂයෙන් එල්ල වුවද අද වන තුරුත් ඒ කිසිදු චෝදනාවකින් 2010 ජනපතිවරණ ප්‍රතිඵලය වෙනස් කරන්නට හැකි වී නැත.මේ පරාජයෙන් විපක්ෂය කබලෙන් ලිපට වැටුණි.පක්ෂ වශයෙන් භේද භින්න විණි.එය ජය කණුව පෙනෙන මානයට විත්,ඇද වැටුණාක් බඳු මානසිකත්වයක් විය.තැන දුටු තැන වල ඉහ ගත යුතුයැයි ආණ්ඩුව සිතෙන්නට ඇත්තේ මේ නිසාය.
විපක්ෂයේ අප්‍රාණිකත්වය ගැන ඉව වැටුණු ආණ්ඩුව දැන් ජනතාවගෙන් 2/3ක බලයක් ඉල්ලා සිටියි.තමාට එය කළ හැකි වෙතැයි සිහින මවමින් සිටී.එහෙත් මේ 2/3 ඉල්ලන්නේ කුමකට ද? රටට දැන් හදිසියේම අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ද?එවැන්නක් කිරීමට 2/3 අවශ්‍යම ද?මේ ඉල්ලන බලය දු‍න්නොත් ජනතාවට කුමක් සිදුවේද? ගහෙන් වැටුණු අපිට ගොනුන් අනිනු ඇත.හිඟන්නාගේ පාත්තරය වී ඇති අපේ රටට හෙනහුරා කඩා පනිනු ඇත.ඉන් එහා සුගතියක් නම් අත් නොවන බව පැහැදිලිය.මේ ව්‍යවස්ථා සංශෝධනය රට ගොඩ නැගීමට ද? බඩු මිල අඩුකිරීමටද?රැකියා බිහි කිරීමටද?නැතිනම් තනි පවුලක් ශ්‍රී ලංකාවේ සදාකාලික පාලකයින් වීමට ද?
විකාරරූපී මනාප ක්‍රමය නම් අහෝසි විය යුතු බැව් මේ දිනවල මග තොට යන කාටත් පසක් වී ඇතැයි සිතිය හැක.දත් විලිස්සාගෙන සිටින විකට මුහුණු හා ඊට කිසි ලෙසකින්වත් නොගැළපෙන රුවන් වැකි යොදා තාප්පවල ඇලවී සිටින අයවලුන් දුටු විට රාජකාරියට යන්නට වන්නෙත් ලේ රත් කරගෙනය.එහෙත් මනාප ක්‍රමය ඉවත් කිරීම ඇතුලු ජනතාව කැමති වන්නාවූ ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම්,ඒ සදහා රජය 2/3 ඉල්ලා සිටින්නේ ඇයි?එය පසුපස ඇත්තේ බියකරු සිහිනයකි.එනම් මේ ගෙනෙන්නට හදන්නේ කුමන පන්නයේ ව්‍යවස්ථාවක් ද යන්නයි.ත්‍රස්තවාදය නිමා වී තිබියදීත් හදිසි නීතිය පවත්වා ගනිමින්,විරුද්ධවාදීන් මර්දනය කරන මෙවන් රජයකින් යහපත් ව්‍යවස්ථාවක් පැතිය හැකිද?එහෙත් ජනතාවගේ වාසනාවට මේ ඡන්ද ක්‍රමයෙන් කිසිදාක තනි පක්ෂයකට 2/3ක බලයක් ලබා ගත නොහැක.එය මේ සන්ධාන රජයටත් එලෙසම පොදුය.


මතු සම්බන්ධයි.......

Thursday, February 11, 2010

මහින්ද සෙවූ ප්‍රජාත්‍රන්තවාදයෙන්,සුබ අනාගතය එළඹී ඇත...

නිදහස් අදහස් ප්‍රකාශ කිරීම,තම මතය වෙනුවෙන් හඬ නැඟීම නිසා පොලීසියෙන් ගුටි කා හිරගෙවල ලගින්නට සිදුව ඇති කාලයක පාලුවට ගිය බ්ලොග් අඩවියට සටහනක් එක් කරන්නේ පවුල් පාලනයේ ඒකාධිපතිවාදී හස්තයෙන් හෘද සාක්ෂිය තුළ සම්පීඩ්‍ය වූ  අදහස් සමුදායක් නිදහස් කිරීම සඳහාය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය කැඳවා ප්‍රකාශ කළේ උතුරේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් හදිසි ඡන්දයට යන බවයි.එහෙත් තමාට දකුණේ පමණක් ජනපති වන්නට අවැසි නැති බව කියූ  මහින්ද මහත්තයාට ආයෙත් සිදු වූයේ සිංහල ජනතාවගේ ජනාධිපතිවරයා වන්නටය.තවද මේ ඡන්දය හරහා උතුරේ ජනයාගේ ප්‍රජාත්‍රන්තවාදය තහවුරු වූයේද නැත."උතුරු වසන්තය" හා "නැගෙනහිර නවෝදය" මහින්දට ජය ගෙන දුන්නේ නැත.දශක 3ක යුද සාපයෙන් හෙම්බත්ව ඉරි තැලී ගිය උතුරුකරයේ ජීවිත යළි සනසවන්නට කාලය තිබියදී ඒ වෙනුවට "මට ඡන්දය දෙන්න" යැයි මහින්ද කීවේය.සන්ධාන ආණ්ඩුවට අනුව,රටේ ප්‍රජාත්‍රන්තවාදය යනු මැතිවරණ පැවැත්වීමයි.එම මැතිවරණවලදී ප්‍රජාත්‍රන්තවාදය කෙතරම් දුරට සුරක්ෂිත වන්නේද යන්න ඔවුන්ට අදාළ නොවන්නකි.උතුරේ යුද ජයට සමාන්තරවම දකුණේ මැතිවරණ ජය ගැනීමට රජය කටයුතු කළේද ඒ අයුරිනි.ෆොන්සේකා භීතිකාවක් රට තුළ නිර්මාණය කළ රජය,ෆොන්සේකාට ඡන්දය දී රටේ ප්‍රජාත්‍රන්තවාදය නැති නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලුවේය.ඒ වන විටත් නැති වන්නට දෙයක් ඉතුරු වී නොතිබුණ බව කී දෙනෙකුට වැටහී තිබුණේදැයි මම නොදනිමි.එහෙත් මා මුල සිටම සිතුවේ,පැදුරේ සිටින්නා බිමට වැටීමෙන් වෙනසක් නොවන බවය.
උතුරේ ජනයාට රිසිසේ ඡන්දය දෙන්නට මඟ ඇහිරී තිබුණු අතර ඡන්දය දුන් අයද අති බහුතරය මහින්ද රාජපක්ෂ ජනපතිට එරෙහිව සිය මතය පෙන්වා තිබුණි.සන්ධානයට සුපුරුදු ජාතිවාදී හා අතාර්කික කරුණු කීම යළිත් සිදු කළ එම පාර්ශවය කීවේ කොටි හිතවාදී ඡන්ද ෆොන්සේකාට වැටී ඇති බවයි.මෙය අතිශයින් බරපතල කරුණකි.යුද්ධය නිම වූ සැණින් සියල්ල නොවිස‍ඳෙන බව අවබෝධ කර ගත යුතුව තිබෙන රජය යළිත් යුද්ධයක් අවුස්සන සුළු ප්‍රකාශ කරමින් සිටී.මේ රට සිංහලයන්ට උරුමයි කියන නොමේරූ අන්තවාදී මළ බැඳුණු මතවාද පසෙකලා හිතන කල මේ තත්වය යහපත් නැම්මක් නම් නොවේ.
රජයට අනුව ෆොන්සේකාට ඡන්දය දී ඇත්තේ කොටි හිතවාදීන්ය.නැත්නම් උතුරේ වෙනම ඊලමක් අවැසි කරන අයය.ඒ අනුව උතුරේ බහුතරය තවමත් කොටිය.එසේ නම්,ප්‍රශ්නය විසඳන්නට උතුර සමූල ඝාතනය කළ යුතුය.එහෙත්....?විසඳුම එයද ?

උතුරට කෙසේ වෙතත් අද දකුණට තිබු ප්‍රජාත්‍රන්තවාදය ඇහිරෙමින් තිබේ.රටේ නීතිය රකින්නට අවි දරා සිටින්නන් අද සිය අවි අමෝරා ගන්නේ නීති කඩන්නන්ට එරෙහිව නොව රාජපක්ෂ පාලන විරෝධීන්ට එරෙහිව වීම අතිශයින් භේදනීය තත්වයක් නොවේද? පොලීසියට ජය ගෝසා නැඟූ ජනයා අද හූ හඬින් හා ගල් මුල්වලින් පොලීසියට පහර දෙන්නේ ඇයි?ෆොන්සේකා යනු "ඉඩි අමීන්" යැයි එදා කියූවෝ අද ෆොන්සේකාවත් හිරගෙට යවමින් සිටී.එසේ නම් මේ එළඹෙන්නේ ඉඩි අමීන්ටත් නොදෙවෙනි වූ පාලන සමයක් දැයි අපි නොදනිමු.එක දිගට ඡන්ද පවත්වා මහින්ද සෙවූයේ මේ ප්‍රජාත්‍රන්තවාදය ද?
27 වෙනිදා සිට එළඹෙනු ඇතැයි කිවූ සුබ අනාගතය මේ වේද?

Wednesday, January 20, 2010

මහින්දට හොඳනම්...සරත්ට මොකද..?

"දේශපාලනයේදී සදාකාලික මිතුරන් මෙන්ම සදාකාලික හතුරන් ද නැත" යන ප්‍රකාශය ලෝක දේශපාලනික ඉතිහාසය විසින් කිහිප විටක් සපත කර ඇත.පිනුම් ගැසීම්,කරණම්වලින් පිරුණු පිලු මාරු දේශපාලකයින් සිටින ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම මේ සඳහා අපට උදාහරණ සපයා දෙයි.2010 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූ දා සිට මේ වන තෙක්ම එකී පිල් මාරුවීම් නිමක් නැතිව සිදුවෙමින් තිබේ.ඒවා සිදුවන වේගය කෙතරම්ද කියතොත් මන්ත්‍රීවරයෙකුගේ නම කියා ඔහුගේ පක්ෂය ඇසුවහොත්,ඒ සඳහා එක් වරම පිළිතුරක් දීමද අපට අපහසු වන තරම්ය.මේ පිල් මාරු වඩා හාස්‍යයට හා උපහාසයට බඳුන් වන්නේ ,තමා අලුත් තැනට ආ විට පරණ අයට කියන කතා අසා සිටින විටය.මෑතකදීම අප එවැනි රංගනයක් දුටුවේ " මෑන් ඔෆ් ද මැච් සරත් ෆොන්සේකා" කියා සතියකින් ෆොන්සේකාට බනින්න පටන් ගත් ඇස්.බී.ගෙනි.එහෙත් මීට වඩා හොඳින් විහිළු සපයන්නන් සිටි බව බොහෝ අයට අමතකව ගොස් ඇත.
රවීගේ අලි මංකඩ කතාවත්,කිරිඇල්ලගේ ගොනාගේ කතාවත්,මංගලගේ ගැළවීමේ හමුදා කතාවත් නිසා ෆොන්සේකාට රෙදි ඇඳගෙන ඔවුන් සමඟ එකට හිට ගන්නට බැරියයි කියන ආණ්ඩුවේ අයට,ඊට වඩා අහන්න ප්‍රශ්න තිබෙන බව මෙහි මා දක්වන වීඩියෝව නැරඹීමෙන් සිහියට එනු ඇත.
ඊට පෙර රවී,මංගල හා කිරිඇල්ලගේ කතා ගැන මට හැඟෙන ලෙස වචන කිහිපයක් කියමි.රවී කරුණානායක යනු රට ගැන වචනයක් හෝ කතා කරන,"මව්බිම" වැනි වචනයක්වත් වේදිකාවකදී භාවිතා නොකරන,දූෂණය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති අයෙකු බව මම පිළි ගනිමි.එහෙත් ඔහු සිය ,"අලිමංකඩ-පාමංකඩ" කතාවෙන් ෆොන්සේකා මහතාට අපහාසයක් නොකළ බව එම ප්‍රකාශය නිවැරදිව සලකා බැලීමෙන් පෙනේ.ඔහු ප්‍රකාශ කළේ "මේ ආණ්ඩුව පාමංකඩ ගිහින් කියයි අලිමංකඩ ගියා කියලා-මැදවච්චියේ ගිහින් කියයි,කිලිනොච්චියේ ගියා කියලා" යනුවෙනි.ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව කරන්නේ එවැනි වැඩ බව මිසක හමුදාපතිවරයා ගැන නොවේ.ආණ්ඩුවට යුද්ධය අලෙවි කිරීමේ ගායක් තිබුණු බව පැහැදිලිය.සෑම ඡන්දයකටම යන්නට ඔන්න මෙන්න කියා යුධ ජයග්‍රහණයක් ලබා ගෙන ඡන්දයට යන්නට ආණ්ඩුවට ඕනෑ වුණු අවස්තා තිබුණි.මේ නිසා යුධ පෙරමුණ අනවශ්‍ය ලෙස හදිස්සියේ කලබල කර මෙහෙයවන්න හැදූ බවද එකල ඇතැම් පුවත්පත්වල වාර්තාවල සටහන් විණි.එබැවින් රවීගේ කතාව ඍජුවම ආණ්ඩු විරෝධීවීමක් මිස ෆොන්සේකා විරෝධී නොවූවකි.
කිරිඇල්ල පැවසුවේ "යුද්ධ කරන්න ඕනෙ ගොනෙකුට පුළුවන්.සාමය කරන්න තමා අමාරු" කියාය.ඔහු කීවේ ඇත්තය.ඉන් ප්‍රකාශ වන්නේ යුද බිමේදී රණ විරුවා විඳින දුෂ්කරත්වය හෝ කටුකත්වය පහසු දෙයක් බව නොවේ.යුද භූමිය තුළ සටන් වදින සෙබළා අනේක විධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු වන බවත්,එය අතිශයින් මාරාන්තික අඩවියක සිදු කෙරෙන වීර වික්‍රමයක් බවත් අපි දනිමු.එහෙත් යුද්ධෙ කරන්න පුළුවන් කියන්නේ ඒ සඳහා වන මුල් තීරණය ගැනීමයි.එක් අන්තවාදයක,එනම් තම මතයට පටහැනි වූ මතවාදයක සිටින විරුද්ධවාදීන් තලා පෙළා දමන්නට,මරා දමා ගැටළු විසඳන්නට අපහසු නැත.(එසේ කිරීමෙන් සියල්ල විසඳේනම්).එහෙත් එම අන්තවාදීන් තමාගේ මතයට ගෙන එන්නට හෝ මධ්‍යස්ථ මතයක් කරා ගෙන ඒම අතිශයින් සංකීර්ණවූත්,අපහසු වූත් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි.එයට ගත වෙන කාලය ද අධික විය හැකිය.ඒ පිළිබඳ අත්දැකීම් ද අපට ඇත.එබැවින් ලේ නොහළා විසඳුමක් ගෙන ඒම අපහසු කාර්යයක් බව කීම හමුදාවට අගෞරවයක් නොවේ.අනෙක් අතට,කිරිඇල්ල මහතා "ඕනෙ ගොනෙකු" කියා ෆොන්සේකා මහතාව අදහස් කළේ නම්,මේ යුද්ධය කළේ ෆොන්සේකා මහතා පමණක් බව ආණ්ඩුව පිළි ගැනීමක් ද කර තිබේ.අද ආණ්ඩුවේ මාධ්‍ය ෆොන්සේකා මහතා යනු එද කිරිඇල්ල කියූ "ගොනා" බව පෙන්නුම් කරන්නට උත්සාහ දරයි.
මෙහිදී ප්‍රශ්නයක් පැහැදිලිවම තිබේ නම්,ඒ මංගල කියූ කතාවය.හමුදාපතිවරයා ගැළවීමේ හමුදාවටවත් නුසුදුසු බව එදා ප්‍රකාශ කළ මංගලට අද ඔහුම රටේ ජනාධිපතිකමටත් සුදුසු යැයි කියන්නට වීම ඔහුගේ දෛවයේ සරදමකි.එහෙත් 2005 දී රනිල්ට මුව නොසෑහෙන්න බැන අද රනිල් එක්ක ඉන්න මංගලට මෙය මහ කජ්ජක් නොවිය හැක.එබැවින් ෆොන්සේකා ද මංගල මෙන්ම ඒ ප්‍රකාශ අමතක කරන්නට ඇත.
එදා මංගල මහින්ද දිනවන්නට මහත් වෙහෙසක් ගත්තේය.හිටපු ජනපතිනිය ද ඇතුළුව ඇතැම් ශ්‍රී.ල.නි.ප. නායකයින් කකුළෙන් අදින විටත්,අද කෑ ගසන ඇතැම්හු එදා රට හැර ගොස් සිටියදීත්,මංගල මහින්ද දිනවන්නට කටයුතු කළේය.අද මංගල විපක්ෂයේ සිටින්නේ සියලු ඇමති වරප්‍රසාද හා තාන්න මාන්න අත හැරලාය.
එහෙත් එදා මහින්දට "මෝඩයා","හොරා" කියා බැනපු,අදටත් තමා එ.ජා.ප.යේ සිටියදී සිදුවූ සාම ක්‍රියාදාමය විවේචනයක්ද නොකරන පිරිසක් අද මහින්දගේ ගුණ උදේ රැයේ වණමින් සිටින්නේ මහින්දගෙන් සියලු වරදාන,දොළ පිදේනි ලබා ගනිමිනි.එදා මහින්ද ජනපති නොකරන්න කියා ජනතාව ඉදිරියේ ඔවුන් බෙරිහන් දුන් ආකාරය දෙස බලන විට, (මෙතනින් බලන්න...) සරත් එ.ජා.ප.ය සමඟ සිටීම මෙතරම් කෑ ගසන්නට තරම් ප්‍රශ්නයක් යැයි නොසිතෙනු ඇත.


Wednesday, January 13, 2010

කළ දේ නොකියන මහින්දගේ දේශපාලන ඛේදවාචකය..

2010 ජනාධිපතිවරණය දවසින් දවස ළංවෙත්ම දේශපාලන පොරපිටිය කෙතරම් උණුසුම් වුවද,වත්මන් දේශපාලනික ප්‍රවණතාවයන් දියුණු වෙමින් පවතින ජාතියකට උරුම කර ගත යුතු දේවල් නොවේ.තමා ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් රට වෙනුවෙන් කරන්නාවූ ක්‍රියාවලිය ජනතාව හමුවේ තබා ඊට ජනතා කැමැත්ත ඉල්ලා සිටීමේ මහත්මා දේශපාලනය වෙනුවට අවි බලය,මැර බලය හා මඩ ‍බලය යොදා ගනිමින් අද ජනාධිපතිවරණ අපේක්ෂකයන් මේ නිරත වී ඉන්නේ ගැලරියේ දේශපාලනයක ය.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම දැනට දින කිහිපයකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයන් එළි දැක්වූ අතර,තවමත් ඒ ගැන කතිකාවතක් නිර්මාණය වීමට වඩා එකිනෙකා වෙත විසි කෙරෙන මඩ ප්‍රහාර දෙස බලා සිටින්නට ජනතාවට සිදු වී තිබේ.මෙය මෙරට ඡන්ද දායකයාට සිදු කෙරෙන මහත් වරදකි.සිය ඡන්දය භාවිතා කළ යුත්තේ කුමන ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන නායකයාටද යන්න තීන්දු කිරීමට වඩා,අඩුවෙන් චෝදනා එල්ලවෙන,නැතිනම් ටිකක් නරක අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කළ යුතුයයි මෙවර ඡන්ද දායකයාට හිතුනහොත් එය පුදුමයක් නොවේ.
2009 මැයි මාසය වන විට මහින්ද රාජපක්ෂ මහතා සිටියේ වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකුට කිට්ටුවන්නටවත් නොහැකි ලෙස ගව් ගණනක් දුරිනි.යුද්ධය මෙහෙය වූ පාර්ශවයේ ඉහළම බලධාරියා වූ ජනාධිපතිවරයාට එරෙහිව සටනට එන්නට තරම් ශක්තිමත් අයෙකු විපක්ෂය තුළ සිටියේ ද නැත.අනෙක් අතට මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලනය බිහි කළ තවත් සුවිශේෂී නායකයෙකි.ඔහු ගෙදර යවන්නට තරම් හේතුවක් මෙරට ජනයාට පෙනෙන්නට තිබුණේද නැත.තම පවුලට ටිකක් වැඩියෙන් සැලකීමත්,ඊට මහජන මුදල් යොදා ගැනීමත් යන චෝදනා රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වුවද,ඔහු රජ පුටුවෙන් නෙරපන්නට තරම් මෙරට දේශපාලන සාධක නිර්මාණය වී තිබුණේ නැත.
එහෙත් රාජපක්ෂ මහතා වරද්දා ගත්තේය.වරක් දෙවරක් නොව කිහිප විටක්ම දැන් වරද්දා ගෙන තිබේ.තවත් වසර දෙකක් ඉක්මගිය තැන තමාට අවාසිදායක වෙතැයි ජනාධිපතිවරයා හිතන්නට වූවා විය හැක.එය සාමාන්‍ය දේශපාලනික ඥානයට අනුව ස්වභාවිකය.එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවිය යුතුව තිබුණේය.
යුද්ධය නිමා කළ පසු රටට යහපත් යමක්,සහන සැලසෙන ආර්ථිකයක් උදාවීමේ පෙර නිමිති හෝ පෙන්විය හැකි වික්‍රමයක් ඉතිරි වසර 2 තුළ දක්වන්නට මහින්දට හැකි වූවානම්,ඔහුට ඊළඟ ඡන්දය අමාරු නොවන්නට ඉඩ තිබුණි.උතුරු නැගෙනහිර අවතැන්වූවන්ගේද සියළු පුනරුත්ථාපන කටයුතු නිමා කර යථා තත්වයට පත් කිරීමටද කටයුතු කළ හැකිව තිබුණි.ඔවුන් තවමත් අනාථ කඳවුරුවල සිටිද්දී,මට ඡන්දය දෙන්නැයි කීම වටින්නේ නැත.අද සුළු ජාතික ඡන්ද විශාල ලෙස මහින්දගෙන් ඈත් වන්නට පටන් ගෙන තිබේ.2005 දීද මහින්දට බහුතරයක් වැටුණේ සිංහල ඡන්ද ය.ගෙවී ගිය වසර 4ක කාලය තුළ ද සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගන්නට මහින්ද අපොහොසත් වී ඇති බවක් පෙනේ.වතුකරයේ ඡන්ද පවා තොණ්ඩමන් ද එකට සිටින ආණ්ඩුවෙන් ගිලිහී තිබේ.මේ සියල්ල නිවැරදි කරගන්න තිබු කාලයක් අනවශ්‍ය හදිසි වීමකින් මහින්ද අහිමි කර ගත්තේය.අනෙක් අතට විපක්ෂයට යුධ උණුසුම නිමවෙන්නට පෙර භූමියේ යුද සෙන්පතියා ජනපතිට එරෙහිව පෙළ ගස්සන්නට ඉඩ සලසා දුන්නේය.දැන් තනි අශ්වයාගේ රෙස් එක බලා සිටියවුන්ට දෙලෝ රත්වී තිබේ.දැන් මහින්ද තවත් වැරදි කරමින් සිටී.ඕනෑම මිනිසෙකු තුළ හොඳ මෙන්ම නරකද තිබිය හැකිය.එහෙත් නරක නොපෙන්වා සිටින තුරුම අපිට ඔහු හොඳය.දැන් මහින්ද කරන්නේ තම නරක පෙන්වීමය.
තමා කළ යුද්ධය වෙනුවෙන් මහින්ද ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවේය.ජනතාව අත දිග හැර දු‍න්නෝය.දැන් යුද්ධය ගැනම කියන්නට බැරි බව සැබෑය.එහෙත් වෙන කියන්නම දෙයක් නැද්ද?ගුවන් පාලම්,මං මාවත්,වරායන්,ගුවන් තොටුපළවල් හදමින් යන බවවත්,එය ඉදිරියට ගියහොත් රටට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවවත් මහින්ද නොකියන්නේ ඇයි?සිය ව්‍යාපෘති ගැන ජනතාවට වඩා ගැඹුරින් කරුණු පැහැදිලි කරමින් සිය ඉදිරි දැක්ම ජනතාව ඉදිරියේ නොතබන්නේ ඇයි?
ඒ වෙනුවට අද අන්ත අසික්ඛිත ලෙස රාජ්‍ය මාධ්‍ය හා ඇතැම් පුද්ගලික මාධ්‍ය ද භාවිතා කරමින් තිබේ.තමා කළේ කියනවා වෙනුවට,අරයට වඩා මං හොඳයි කියන්නට උත්සාහ කරමින් තිබේ.රාජපක්ෂ වටේ ඉන්නන් ද මඩවලින් තොර දෙයක් නොකියති."මාත් නරකයි,මට වඩා අරයා නරකයි,ඒ නිසා මට ඡන්දය දෙන්න" කියන්නාක් වැනි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.ජෙනරාල්ගේ වේදිකාවෙන් ද මඩ විසි නොවනවා නොවේ.එහෙත් රාජපක්ෂ මහතා ජනාධිපතිකම කළ අයෙකි.එබැවින් තමා යමක් කළ බව ඔහුට කියන්නට හැකි විය යුතුය.
එහෙත් දැන් තැපැල් ඡන්දයේ සිටම හොර ඡන්දේ පටන් ගෙන තිබේ.විරුද්ධ පාක්ෂිකයන් තළා,පෙළා,බිය වැද්දීමෙන් නොනැවතී ඝාතනය කරන තත්වයට පත්ව තිබේ.මේ සියල්ල ඉදිරියේ සංවේදී යැයි හඳුන්වන රාජපක්ෂ මහතා අසංවේදී වෙමින් සිටී.එබැවින් මීට පෙර මහින්දට එරෙහිව ඡන්දය දෙන්නට හේතුවක් නොතිබුණු ඡන්ද දායකයාටද මහින්ද හේතු සපයමින් සිටී.දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ පෙන්නුම් කරමින් සිටින්නේ සිය ගමන් මගේ ඛේදවාචකයකි.