If you can't read,please click on here.

Monday, March 15, 2010

ආණ්ඩුවේ ඉටු නොවන සිහිනය.. : 2/3 - 2

ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යවන්නේ නම්,එයට ජනතාවගෙන් 2/3 ඉල්ලා සිටිය යුතු නැත.එය එක් දුරකථන ඇමතුමකින් කළ හැක්කකි.විපක්ෂය එකග කර ගත් විට 2/3 පහසුවෙන් හිමි වේ.තම පක්ෂය නන්නත්තාර වුවත් හොද දෙයක් නම් ඊට පැනලා සහය දෙන ආකාරයේ විපක්ෂ නායකයෙකු සිටින රටක එය තවත් පහසුය.පසුගිය 2005 ජනාධිපතිවරණයෙන් පසුවද රටේ පොදු ප්‍රශ්න විසදීම සදහා වසර 2ක් රජයට සහය දීමට ද මේ විපක්ෂ නායකයා එකග වූ බව අද බොහෝ දෙනෙකුට මතක නැත.අය වැය පවා කොන්දේසි විරහිතව අනුමත කරන්නට එම එකගතාව තුළ විපක්ෂය කැමති වී සිටියේය.එබැවින් රටට හා ජනතාවට හිතකරවූත්,ජනතාව අනුමත කරන්නාවූත් ව්‍යවස්ථාවකට අත එසවීමට විපක්ෂය පැකිළෙනු ඇතැයි සිතිය නොහැකිය.එබැවින් 2/3 ඉල්ලා කෑ ගසනු වෙනුවට,තමා ඉදිරිපත් කරන්නට යන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න ජනතාවට කීම වඩා වටී.කෙසේ වුවද පවතින තත්වය යටතේ මේ රජයට 2/3 ලබා ගත නොහැකි වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට කැමැත්තෙමි.




අප මේ මැතිවරණයේ දී කවුරුන් ජය ගනු ඇත්දැයි කීමට වඩා අවසන් වරට පැවැති මැතිවරණයට අනුව සංසන්දනාත්මක විග්‍රහයක යෙදීම සුදුසු වේ.පසුගිය ජනාධිපතිවරණය යනු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උපරිමය වේ.ඊට වඩා මේ ඡන්දයේදී ඡන්ද අඩු වීම මිසක් වැඩි වීමක් සිදු වීමට කිසිදු තාර්කික හේතුවක් නැත.ගිය ජනාධිපතිවරණයේදී ද සැලකිය යුතු පිරිසක් ජනාධිපති මහින්දට මිස ආණ්ඩුවේ හොදකට ඡන්දය නොදුන් බව පැහැදිලිය.ආණ්ඩුව කිසි කමකට නැතත්,ජනාධිපති මහින්දම විය යුතු යැයි සිතූ පිරිසක් විය.තවද හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම හා මාධ්‍ය මර්දනය වැනි කරුණු නිසාද,රජය යම් අප්‍රසාදයකට ලක් වෙමින් තිබේ.මේ නිසා පසුගිය ජනාධිපතිවරණය යනු බුලත්කොළයට ලැබිය හැකි උපරිමය යැයි සිතීමේ වරදක් නැත.ඒ අනුව එම ඡන්ද ප්‍රතිඵලයට අනුව ආසන බෙදී යන ආකාරය ගත් විට ඒ දැක්වෙන්නේ වත්මන් රජයට ලබා ගත හැකි උපරිම ආසන ගණනයි.ඒ අනුව දිස්ත්‍රික් පදනමින් එය 111ක් විය හැකි අතර ඉතිරි ආසන 85 විපක්ෂය අතර බෙදී යනු ඇත.ජාතික ලැයිස්තුවේ 29ම ආණ්ඩුවට හිමි නොවන නමුත්,එසේ වුවද ගණන 140ක් වේ.පසුගිය ජනාධිපතිවරණයට අනුවම ඡන්ද ප්‍රකාශ වන්නේනම්,රජයට වැඩිම ආසන සංඛ්‍යාවක් ගම්පහින්(11ක්) හිමිවිය හැකි අතර විපක්ෂයට කොළඹින් (9ක්) උපරිම ආසන ගණනක් හිමි වීමට ඉඩ තිබේ.හම්බන්තොටින් වුවද විපක්ෂයට ආසන 2ක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.එහෙත් මට හැගෙන ආකාරයට වත්මන් දේශපාලන වාතාවරණය තුළ සන්ධාන ආණ්ඩුවේ උපරිමය 130ක් හෝ ඇතැම් විට 120ක් ද විය හැකිය.එබැවින් 2/3 සිහිනයක්ම පමණක් වනු ඇත.
එහෙත් තවත් අවස්ථාවක් රජයට තිබේ.එය ඔවුන්ට පුරුදුම ආකාරයයි.ඒ විපක්ෂ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමයි.දෙමළ සන්ධාන මන්ත්‍රීවරු හෝ කුසලාන යටතේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නන් රජයට එකතු වෙතැයි සිතිය නොහැක.මේ නිසා තීරණාත්මක වන්නේ අලියා ලකුණෙන් මැති සබයට පත්වෙන්නන්ය.රටට හිතකර නොවූ ව්‍යවස්ථාවකට යන්නට හෝ,2011න් පසුවත් රාජපක්ෂවරුන්ටම රජ කළ හැකි ආකාරයක් සකසා ඒකාධිපතිවාදයකට යන්නට හෝ කැසකවන ආණ්ඩුවට එය කළ හැකි වන්නේ අලි ටික ගොඩ දාගත්තොත් පමණි.එබැවින් මෙවර වැඩිම වගකීමක් ඇත්තේ අලියාට කතිරය ගසන ඡන්ද දායකයාට ය.දැනට මැතිවරණයෙන් පසු එ.ජා.ප.යෙන් ආණ්ඩුවට එක් නොවෙතැයි සිතිය හැක්කේ එක් අයෙකු පමණි.ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ය.එබැවින් රට ඒකාධිපතිවාදයකට හෝ පවුල් පාලනයකට නතු නොවීමට නම්,කොන්දක් හා ප්‍රතිපත්තියක් ඇති මහජන නියෝජිතයින් පත් කර යැවීමට ජනතාව බුද්ධිමත් විය යුතුය.එසේ නැතිනම්,ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවට 2/3 සිහිනයක් වුවත්,"අලි සෙල්ලම" සිදුවුවහොත් එය තව දුරටත් සිහිනයක් නොවීමට ද ඉඩ තිබේ.

ආණ්ඩුවේ ඉටු නොවන සිහිනය.. : 2/3

පරාජයෙන් හෙම්බත්ව සිටි විපක්ෂය නව පණක් ලැබූයේ ජෙනරාල් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමඟය.තනි අශ්වයකුගේ තරඟයක් වෙතැයි සිතා සිටි ජනාධිපතිවරණය ද්වන්ධ සටනක් බවට පත්නරගන්නට සමත්වූ විපක්ෂය ජෙනරාල් පසු පසින් නව ජන රැල්ලක් නිර්මාණය කරන්නට සමත් වූ බව දැකිය හැකි විය.එය රජය හා ජනාධිපතිවරයාද ‍කෙතරම් තැති ගැන්මට ලක් කළේද යන වග නාම යෝජනා දුන් දින‍යේ පටන් ඡන්දය පැවැත්වෙන මොහොත දක්වාම රජය මහජන දේපළ ඇතුළුව තමා සතු සියලු දෑ පහත් හා නින්දිත ලෙස ජෙනරාල්ට එරෙහිව යොදා ගත් ආකාරයෙන්ම පැහැදිලිය.විපක්ෂ අපේක්ෂකයාගේ ජය කෙසේ වෙතත්,මහින්ද රාජපක්ෂ මහතා යන්තමින් මිස පහසුවෙන් ජය නොගනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ මතය වුවද ,ඡන්ද ප්‍රතිඵලය අතිශයින් විශ්මය ජනකවූයේ ජනපති මහින්ද විපක්ෂ අපේක්ෂකයා අභිබවා වැඩි ඡන්ද 18 ලක්ෂයක් ලබා ගනිමින් ජය ගැනීමට සමත් වීමත් සමඟය.කොම්පියුටර් ජිල්මාට් ඇතුළු චෝදනා රැසක් විපක්ෂයෙන් එල්ල වුවද අද වන තුරුත් ඒ කිසිදු චෝදනාවකින් 2010 ජනපතිවරණ ප්‍රතිඵලය වෙනස් කරන්නට හැකි වී නැත.මේ පරාජයෙන් විපක්ෂය කබලෙන් ලිපට වැටුණි.පක්ෂ වශයෙන් භේද භින්න විණි.එය ජය කණුව පෙනෙන මානයට විත්,ඇද වැටුණාක් බඳු මානසිකත්වයක් විය.තැන දුටු තැන වල ඉහ ගත යුතුයැයි ආණ්ඩුව සිතෙන්නට ඇත්තේ මේ නිසාය.
විපක්ෂයේ අප්‍රාණිකත්වය ගැන ඉව වැටුණු ආණ්ඩුව දැන් ජනතාවගෙන් 2/3ක බලයක් ඉල්ලා සිටියි.තමාට එය කළ හැකි වෙතැයි සිහින මවමින් සිටී.එහෙත් මේ 2/3 ඉල්ලන්නේ කුමකට ද? රටට දැන් හදිසියේම අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ද?එවැන්නක් කිරීමට 2/3 අවශ්‍යම ද?මේ ඉල්ලන බලය දු‍න්නොත් ජනතාවට කුමක් සිදුවේද? ගහෙන් වැටුණු අපිට ගොනුන් අනිනු ඇත.හිඟන්නාගේ පාත්තරය වී ඇති අපේ රටට හෙනහුරා කඩා පනිනු ඇත.ඉන් එහා සුගතියක් නම් අත් නොවන බව පැහැදිලිය.මේ ව්‍යවස්ථා සංශෝධනය රට ගොඩ නැගීමට ද? බඩු මිල අඩුකිරීමටද?රැකියා බිහි කිරීමටද?නැතිනම් තනි පවුලක් ශ්‍රී ලංකාවේ සදාකාලික පාලකයින් වීමට ද?
විකාරරූපී මනාප ක්‍රමය නම් අහෝසි විය යුතු බැව් මේ දිනවල මග තොට යන කාටත් පසක් වී ඇතැයි සිතිය හැක.දත් විලිස්සාගෙන සිටින විකට මුහුණු හා ඊට කිසි ලෙසකින්වත් නොගැළපෙන රුවන් වැකි යොදා තාප්පවල ඇලවී සිටින අයවලුන් දුටු විට රාජකාරියට යන්නට වන්නෙත් ලේ රත් කරගෙනය.එහෙත් මනාප ක්‍රමය ඉවත් කිරීම ඇතුලු ජනතාව කැමති වන්නාවූ ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම්,ඒ සදහා රජය 2/3 ඉල්ලා සිටින්නේ ඇයි?එය පසුපස ඇත්තේ බියකරු සිහිනයකි.එනම් මේ ගෙනෙන්නට හදන්නේ කුමන පන්නයේ ව්‍යවස්ථාවක් ද යන්නයි.ත්‍රස්තවාදය නිමා වී තිබියදීත් හදිසි නීතිය පවත්වා ගනිමින්,විරුද්ධවාදීන් මර්දනය කරන මෙවන් රජයකින් යහපත් ව්‍යවස්ථාවක් පැතිය හැකිද?එහෙත් ජනතාවගේ වාසනාවට මේ ඡන්ද ක්‍රමයෙන් කිසිදාක තනි පක්ෂයකට 2/3ක බලයක් ලබා ගත නොහැක.එය මේ සන්ධාන රජයටත් එලෙසම පොදුය.


මතු සම්බන්ධයි.......