If you can't read,please click on here.

Wednesday, January 20, 2010

මහින්දට හොඳනම්...සරත්ට මොකද..?

"දේශපාලනයේදී සදාකාලික මිතුරන් මෙන්ම සදාකාලික හතුරන් ද නැත" යන ප්‍රකාශය ලෝක දේශපාලනික ඉතිහාසය විසින් කිහිප විටක් සපත කර ඇත.පිනුම් ගැසීම්,කරණම්වලින් පිරුණු පිලු මාරු දේශපාලකයින් සිටින ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම මේ සඳහා අපට උදාහරණ සපයා දෙයි.2010 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූ දා සිට මේ වන තෙක්ම එකී පිල් මාරුවීම් නිමක් නැතිව සිදුවෙමින් තිබේ.ඒවා සිදුවන වේගය කෙතරම්ද කියතොත් මන්ත්‍රීවරයෙකුගේ නම කියා ඔහුගේ පක්ෂය ඇසුවහොත්,ඒ සඳහා එක් වරම පිළිතුරක් දීමද අපට අපහසු වන තරම්ය.මේ පිල් මාරු වඩා හාස්‍යයට හා උපහාසයට බඳුන් වන්නේ ,තමා අලුත් තැනට ආ විට පරණ අයට කියන කතා අසා සිටින විටය.මෑතකදීම අප එවැනි රංගනයක් දුටුවේ " මෑන් ඔෆ් ද මැච් සරත් ෆොන්සේකා" කියා සතියකින් ෆොන්සේකාට බනින්න පටන් ගත් ඇස්.බී.ගෙනි.එහෙත් මීට වඩා හොඳින් විහිළු සපයන්නන් සිටි බව බොහෝ අයට අමතකව ගොස් ඇත.
රවීගේ අලි මංකඩ කතාවත්,කිරිඇල්ලගේ ගොනාගේ කතාවත්,මංගලගේ ගැළවීමේ හමුදා කතාවත් නිසා ෆොන්සේකාට රෙදි ඇඳගෙන ඔවුන් සමඟ එකට හිට ගන්නට බැරියයි කියන ආණ්ඩුවේ අයට,ඊට වඩා අහන්න ප්‍රශ්න තිබෙන බව මෙහි මා දක්වන වීඩියෝව නැරඹීමෙන් සිහියට එනු ඇත.
ඊට පෙර රවී,මංගල හා කිරිඇල්ලගේ කතා ගැන මට හැඟෙන ලෙස වචන කිහිපයක් කියමි.රවී කරුණානායක යනු රට ගැන වචනයක් හෝ කතා කරන,"මව්බිම" වැනි වචනයක්වත් වේදිකාවකදී භාවිතා නොකරන,දූෂණය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති අයෙකු බව මම පිළි ගනිමි.එහෙත් ඔහු සිය ,"අලිමංකඩ-පාමංකඩ" කතාවෙන් ෆොන්සේකා මහතාට අපහාසයක් නොකළ බව එම ප්‍රකාශය නිවැරදිව සලකා බැලීමෙන් පෙනේ.ඔහු ප්‍රකාශ කළේ "මේ ආණ්ඩුව පාමංකඩ ගිහින් කියයි අලිමංකඩ ගියා කියලා-මැදවච්චියේ ගිහින් කියයි,කිලිනොච්චියේ ගියා කියලා" යනුවෙනි.ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව කරන්නේ එවැනි වැඩ බව මිසක හමුදාපතිවරයා ගැන නොවේ.ආණ්ඩුවට යුද්ධය අලෙවි කිරීමේ ගායක් තිබුණු බව පැහැදිලිය.සෑම ඡන්දයකටම යන්නට ඔන්න මෙන්න කියා යුධ ජයග්‍රහණයක් ලබා ගෙන ඡන්දයට යන්නට ආණ්ඩුවට ඕනෑ වුණු අවස්තා තිබුණි.මේ නිසා යුධ පෙරමුණ අනවශ්‍ය ලෙස හදිස්සියේ කලබල කර මෙහෙයවන්න හැදූ බවද එකල ඇතැම් පුවත්පත්වල වාර්තාවල සටහන් විණි.එබැවින් රවීගේ කතාව ඍජුවම ආණ්ඩු විරෝධීවීමක් මිස ෆොන්සේකා විරෝධී නොවූවකි.
කිරිඇල්ල පැවසුවේ "යුද්ධ කරන්න ඕනෙ ගොනෙකුට පුළුවන්.සාමය කරන්න තමා අමාරු" කියාය.ඔහු කීවේ ඇත්තය.ඉන් ප්‍රකාශ වන්නේ යුද බිමේදී රණ විරුවා විඳින දුෂ්කරත්වය හෝ කටුකත්වය පහසු දෙයක් බව නොවේ.යුද භූමිය තුළ සටන් වදින සෙබළා අනේක විධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු වන බවත්,එය අතිශයින් මාරාන්තික අඩවියක සිදු කෙරෙන වීර වික්‍රමයක් බවත් අපි දනිමු.එහෙත් යුද්ධෙ කරන්න පුළුවන් කියන්නේ ඒ සඳහා වන මුල් තීරණය ගැනීමයි.එක් අන්තවාදයක,එනම් තම මතයට පටහැනි වූ මතවාදයක සිටින විරුද්ධවාදීන් තලා පෙළා දමන්නට,මරා දමා ගැටළු විසඳන්නට අපහසු නැත.(එසේ කිරීමෙන් සියල්ල විසඳේනම්).එහෙත් එම අන්තවාදීන් තමාගේ මතයට ගෙන එන්නට හෝ මධ්‍යස්ථ මතයක් කරා ගෙන ඒම අතිශයින් සංකීර්ණවූත්,අපහසු වූත් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි.එයට ගත වෙන කාලය ද අධික විය හැකිය.ඒ පිළිබඳ අත්දැකීම් ද අපට ඇත.එබැවින් ලේ නොහළා විසඳුමක් ගෙන ඒම අපහසු කාර්යයක් බව කීම හමුදාවට අගෞරවයක් නොවේ.අනෙක් අතට,කිරිඇල්ල මහතා "ඕනෙ ගොනෙකු" කියා ෆොන්සේකා මහතාව අදහස් කළේ නම්,මේ යුද්ධය කළේ ෆොන්සේකා මහතා පමණක් බව ආණ්ඩුව පිළි ගැනීමක් ද කර තිබේ.අද ආණ්ඩුවේ මාධ්‍ය ෆොන්සේකා මහතා යනු එද කිරිඇල්ල කියූ "ගොනා" බව පෙන්නුම් කරන්නට උත්සාහ දරයි.
මෙහිදී ප්‍රශ්නයක් පැහැදිලිවම තිබේ නම්,ඒ මංගල කියූ කතාවය.හමුදාපතිවරයා ගැළවීමේ හමුදාවටවත් නුසුදුසු බව එදා ප්‍රකාශ කළ මංගලට අද ඔහුම රටේ ජනාධිපතිකමටත් සුදුසු යැයි කියන්නට වීම ඔහුගේ දෛවයේ සරදමකි.එහෙත් 2005 දී රනිල්ට මුව නොසෑහෙන්න බැන අද රනිල් එක්ක ඉන්න මංගලට මෙය මහ කජ්ජක් නොවිය හැක.එබැවින් ෆොන්සේකා ද මංගල මෙන්ම ඒ ප්‍රකාශ අමතක කරන්නට ඇත.
එදා මංගල මහින්ද දිනවන්නට මහත් වෙහෙසක් ගත්තේය.හිටපු ජනපතිනිය ද ඇතුළුව ඇතැම් ශ්‍රී.ල.නි.ප. නායකයින් කකුළෙන් අදින විටත්,අද කෑ ගසන ඇතැම්හු එදා රට හැර ගොස් සිටියදීත්,මංගල මහින්ද දිනවන්නට කටයුතු කළේය.අද මංගල විපක්ෂයේ සිටින්නේ සියලු ඇමති වරප්‍රසාද හා තාන්න මාන්න අත හැරලාය.
එහෙත් එදා මහින්දට "මෝඩයා","හොරා" කියා බැනපු,අදටත් තමා එ.ජා.ප.යේ සිටියදී සිදුවූ සාම ක්‍රියාදාමය විවේචනයක්ද නොකරන පිරිසක් අද මහින්දගේ ගුණ උදේ රැයේ වණමින් සිටින්නේ මහින්දගෙන් සියලු වරදාන,දොළ පිදේනි ලබා ගනිමිනි.එදා මහින්ද ජනපති නොකරන්න කියා ජනතාව ඉදිරියේ ඔවුන් බෙරිහන් දුන් ආකාරය දෙස බලන විට, (මෙතනින් බලන්න...) සරත් එ.ජා.ප.ය සමඟ සිටීම මෙතරම් කෑ ගසන්නට තරම් ප්‍රශ්නයක් යැයි නොසිතෙනු ඇත.


Wednesday, January 13, 2010

කළ දේ නොකියන මහින්දගේ දේශපාලන ඛේදවාචකය..

2010 ජනාධිපතිවරණය දවසින් දවස ළංවෙත්ම දේශපාලන පොරපිටිය කෙතරම් උණුසුම් වුවද,වත්මන් දේශපාලනික ප්‍රවණතාවයන් දියුණු වෙමින් පවතින ජාතියකට උරුම කර ගත යුතු දේවල් නොවේ.තමා ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් රට වෙනුවෙන් කරන්නාවූ ක්‍රියාවලිය ජනතාව හමුවේ තබා ඊට ජනතා කැමැත්ත ඉල්ලා සිටීමේ මහත්මා දේශපාලනය වෙනුවට අවි බලය,මැර බලය හා මඩ ‍බලය යොදා ගනිමින් අද ජනාධිපතිවරණ අපේක්ෂකයන් මේ නිරත වී ඉන්නේ ගැලරියේ දේශපාලනයක ය.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම දැනට දින කිහිපයකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයන් එළි දැක්වූ අතර,තවමත් ඒ ගැන කතිකාවතක් නිර්මාණය වීමට වඩා එකිනෙකා වෙත විසි කෙරෙන මඩ ප්‍රහාර දෙස බලා සිටින්නට ජනතාවට සිදු වී තිබේ.මෙය මෙරට ඡන්ද දායකයාට සිදු කෙරෙන මහත් වරදකි.සිය ඡන්දය භාවිතා කළ යුත්තේ කුමන ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන නායකයාටද යන්න තීන්දු කිරීමට වඩා,අඩුවෙන් චෝදනා එල්ලවෙන,නැතිනම් ටිකක් නරක අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කළ යුතුයයි මෙවර ඡන්ද දායකයාට හිතුනහොත් එය පුදුමයක් නොවේ.
2009 මැයි මාසය වන විට මහින්ද රාජපක්ෂ මහතා සිටියේ වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකුට කිට්ටුවන්නටවත් නොහැකි ලෙස ගව් ගණනක් දුරිනි.යුද්ධය මෙහෙය වූ පාර්ශවයේ ඉහළම බලධාරියා වූ ජනාධිපතිවරයාට එරෙහිව සටනට එන්නට තරම් ශක්තිමත් අයෙකු විපක්ෂය තුළ සිටියේ ද නැත.අනෙක් අතට මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලනය බිහි කළ තවත් සුවිශේෂී නායකයෙකි.ඔහු ගෙදර යවන්නට තරම් හේතුවක් මෙරට ජනයාට පෙනෙන්නට තිබුණේද නැත.තම පවුලට ටිකක් වැඩියෙන් සැලකීමත්,ඊට මහජන මුදල් යොදා ගැනීමත් යන චෝදනා රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වුවද,ඔහු රජ පුටුවෙන් නෙරපන්නට තරම් මෙරට දේශපාලන සාධක නිර්මාණය වී තිබුණේ නැත.
එහෙත් රාජපක්ෂ මහතා වරද්දා ගත්තේය.වරක් දෙවරක් නොව කිහිප විටක්ම දැන් වරද්දා ගෙන තිබේ.තවත් වසර දෙකක් ඉක්මගිය තැන තමාට අවාසිදායක වෙතැයි ජනාධිපතිවරයා හිතන්නට වූවා විය හැක.එය සාමාන්‍ය දේශපාලනික ඥානයට අනුව ස්වභාවිකය.එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවිය යුතුව තිබුණේය.
යුද්ධය නිමා කළ පසු රටට යහපත් යමක්,සහන සැලසෙන ආර්ථිකයක් උදාවීමේ පෙර නිමිති හෝ පෙන්විය හැකි වික්‍රමයක් ඉතිරි වසර 2 තුළ දක්වන්නට මහින්දට හැකි වූවානම්,ඔහුට ඊළඟ ඡන්දය අමාරු නොවන්නට ඉඩ තිබුණි.උතුරු නැගෙනහිර අවතැන්වූවන්ගේද සියළු පුනරුත්ථාපන කටයුතු නිමා කර යථා තත්වයට පත් කිරීමටද කටයුතු කළ හැකිව තිබුණි.ඔවුන් තවමත් අනාථ කඳවුරුවල සිටිද්දී,මට ඡන්දය දෙන්නැයි කීම වටින්නේ නැත.අද සුළු ජාතික ඡන්ද විශාල ලෙස මහින්දගෙන් ඈත් වන්නට පටන් ගෙන තිබේ.2005 දීද මහින්දට බහුතරයක් වැටුණේ සිංහල ඡන්ද ය.ගෙවී ගිය වසර 4ක කාලය තුළ ද සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගන්නට මහින්ද අපොහොසත් වී ඇති බවක් පෙනේ.වතුකරයේ ඡන්ද පවා තොණ්ඩමන් ද එකට සිටින ආණ්ඩුවෙන් ගිලිහී තිබේ.මේ සියල්ල නිවැරදි කරගන්න තිබු කාලයක් අනවශ්‍ය හදිසි වීමකින් මහින්ද අහිමි කර ගත්තේය.අනෙක් අතට විපක්ෂයට යුධ උණුසුම නිමවෙන්නට පෙර භූමියේ යුද සෙන්පතියා ජනපතිට එරෙහිව පෙළ ගස්සන්නට ඉඩ සලසා දුන්නේය.දැන් තනි අශ්වයාගේ රෙස් එක බලා සිටියවුන්ට දෙලෝ රත්වී තිබේ.දැන් මහින්ද තවත් වැරදි කරමින් සිටී.ඕනෑම මිනිසෙකු තුළ හොඳ මෙන්ම නරකද තිබිය හැකිය.එහෙත් නරක නොපෙන්වා සිටින තුරුම අපිට ඔහු හොඳය.දැන් මහින්ද කරන්නේ තම නරක පෙන්වීමය.
තමා කළ යුද්ධය වෙනුවෙන් මහින්ද ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවේය.ජනතාව අත දිග හැර දු‍න්නෝය.දැන් යුද්ධය ගැනම කියන්නට බැරි බව සැබෑය.එහෙත් වෙන කියන්නම දෙයක් නැද්ද?ගුවන් පාලම්,මං මාවත්,වරායන්,ගුවන් තොටුපළවල් හදමින් යන බවවත්,එය ඉදිරියට ගියහොත් රටට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවවත් මහින්ද නොකියන්නේ ඇයි?සිය ව්‍යාපෘති ගැන ජනතාවට වඩා ගැඹුරින් කරුණු පැහැදිලි කරමින් සිය ඉදිරි දැක්ම ජනතාව ඉදිරියේ නොතබන්නේ ඇයි?
ඒ වෙනුවට අද අන්ත අසික්ඛිත ලෙස රාජ්‍ය මාධ්‍ය හා ඇතැම් පුද්ගලික මාධ්‍ය ද භාවිතා කරමින් තිබේ.තමා කළේ කියනවා වෙනුවට,අරයට වඩා මං හොඳයි කියන්නට උත්සාහ කරමින් තිබේ.රාජපක්ෂ වටේ ඉන්නන් ද මඩවලින් තොර දෙයක් නොකියති."මාත් නරකයි,මට වඩා අරයා නරකයි,ඒ නිසා මට ඡන්දය දෙන්න" කියන්නාක් වැනි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.ජෙනරාල්ගේ වේදිකාවෙන් ද මඩ විසි නොවනවා නොවේ.එහෙත් රාජපක්ෂ මහතා ජනාධිපතිකම කළ අයෙකි.එබැවින් තමා යමක් කළ බව ඔහුට කියන්නට හැකි විය යුතුය.
එහෙත් දැන් තැපැල් ඡන්දයේ සිටම හොර ඡන්දේ පටන් ගෙන තිබේ.විරුද්ධ පාක්ෂිකයන් තළා,පෙළා,බිය වැද්දීමෙන් නොනැවතී ඝාතනය කරන තත්වයට පත්ව තිබේ.මේ සියල්ල ඉදිරියේ සංවේදී යැයි හඳුන්වන රාජපක්ෂ මහතා අසංවේදී වෙමින් සිටී.එබැවින් මීට පෙර මහින්දට එරෙහිව ඡන්දය දෙන්නට හේතුවක් නොතිබුණු ඡන්ද දායකයාටද මහින්ද හේතු සපයමින් සිටී.දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ පෙන්නුම් කරමින් සිටින්නේ සිය ගමන් මගේ ඛේදවාචකයකි.

Tuesday, January 12, 2010

‍අහෝ සේනාධිනායකතුමනි ! ඔබේ සංවේදී බව කොහිද ?

රජ පුටුවේ ඉන්නට තව අවුරුදු දෙකක් තිබියදී ඡන්දය කැන්දාගත් වත්මන් ජනාධිපතිතුමා හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන ආගමනයත් සමඟ තැති ගැන්මකට ලක් වූ බව නොරහසකි.එය දවසින් සවස තීව්ර වන බව දැන් දැන් දක්නට ලැබේ.අද වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අධික ලෙස උත්සන්න වෙමින් පවතින අතර,එහි බරලතලකම මොනවට කියා පාමින් තිස්සමහාරාමයේ පැවැත්වීමට නියමිත ෆොන්සේකා මහතාගේ රැලියකට යමින් සිටි බස් රථයක් වෙඩි ප්‍රහාරයකට ලක්වී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ.ජනපතිවරයාගේ උරුමය සේ කියාපාන රුහුණේදී මෙවන් භේදනීය තත්වයක් නිර්මාණය වීම අතිශයින් අසංවේදී නායකයෙකුගේ නිහඬ බවත් ප්‍රජාත්‍රන්තවාදයේ මළගමත්  කියාපාන්නකි.අප උතුරේ ත්‍රස්තවාදය නිමා කළේ දකුණේ ත්‍රස්තවාදයකට හිස ඔසවන්නට නොවේ.රටේ ජනයාගේ දුක,ගමේ ගැමි සුවඳ හඳුනන නායකයාට විරුද්ධ පක්ෂයට සහයෝගය දුන් පමණින් අහිංසක වැසියන් එලොව යැවීම නොපෙනීම කෙතරම් අභාග්‍යයක් ද?
යුද්ධය ජයගත්තේ අප මහා සේනාධිනායක රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා යැයි අද රට පුරා ආණ්ඩුවට කහින්නන් කියා පාමින් සිටී.එහෙත් එවන් හමුදාවකට නායකත්වය දුන් සේනාධිනායකයා අද පොලිසීයේ නිර්ලජ්ජිත ක්‍රියාදාමයන් පාලනය කරන්නට අපොහොසත් වී තිබේ.පොලීසිය හැසිරෙන ආකාරය හා සිය ආධාරකරුවන් ජෝගි නටන විට ප්‍රජාත්‍රන්තවාදය රැක ගන්න බැරි නායකයෙක් යුද්ධයට නායකත්වය දුන්නේ කෙසේද යන්න දැන්නම් ගැටළුවකි.සියල්ල සිදුවූ පසු,මේ ගැන පරීක්ෂණ අරඹනවා කියා කීවාට පලක් නැත.මේවා රාජපක්ෂ මහතා නොදුනුවත්ව වෙන දේවල් යැයි කීමට ද හැකියාවක් නොමැත.වෙනදාට අප හොර ඡන්ද ගැන අසන්නේ ඡන්දය දවසේය.දැන් තැපැල් ඡන්දයේ ඉඳන්ම හොර ඡන්ද දමන්නට පටන් ගෙන තිබේ.ඡන්ද මධ්‍යස්ථානවලට විපක්ෂ නියෝජිතයින් යෑම මඟ අවුරා තිබේ.
රට වෙනුවෙන් උදාර සේවයක් කළේ නම්,මේ ඡන්දය බලෙන් ගහලා ගන්නට අවශ්‍ය නොවනු ඇත.ඉතිරි අවුරුදු දෙක හෝ වැඩක් කර ඡන්දයට ගියා නම් මීට වඩා හොඳය.දැන් මේ කියා පාන්නේ පරාජයේ වියරුවද? විපක්ෂය ආණ්ඩුවට දමා ගසන්නට ආයුධ සොයා සොයා ඉද්දී ඒවා ගෙදරටම ගෙනත් දෙන්නේ ආණ්ඩුවෙන්ම නේද?ඡන්දයට ඇත්තේ තව දින 14 කි.හරියටම සති දෙකකි.සියලු තීරණ ජනතාව අතට භාර කරමු!



 

Thursday, January 7, 2010

ආණ්ඩුව මවන බොරු හා මඩ - SF බෑනාගේ සමාගම

යුධ ජයග්‍රහණය අලෙවි කරමින් නිතරඟයෙන් මැතිවරණ ජයග්‍රහණය කරමින් සිටි ආණ්ඩුවට හදිසි ජනපතිවරණය කැඳවීමත් සමඟ මුහුණ දෙන්නට වූයේ හදිසි තත්වයකටය.අපේක්ෂා නොකළ පරිදි,යුද්ධයේ ප්‍රධාන සෙන්පති විපක්ෂය විසින් පොදු අපේක්ෂකයා ලෙස කරළියට ගෙන ඒමත්,ඒ වටා කිසිවිට එක වේදිකාවකට නොඑතැයි සිතූවන් එක් වීමත් නිසා ආණ්ඩුව දේශපාලනික වශයෙන් අවදානමකට ලක් විය.දැන් යුධ ජයග්‍රහණය පමණක් පෙරටු කරගෙන යන ගමනක් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට නැත.මේ නිසා ෆොන්සේකා යුධ හමුදාපතිවරයා වශයෙන් ලබා ගත් ජන ප්‍රසාදය පළුදු කළ යුතු බවට ආණ්ඩුව තීරණය කර තිබේ.
මුලින්ම ඔහු රට-දැය,රණ විරුවන් පාවා දෙන බවට ප්‍රචාරය කරන්නට විය.ඒ සඳහා යොදා ගැනුණේ,මීට පෙර ආණ්ඩුව විසින් කැලෑ පත්තරය යැයි හැඳින් වූද එහි ප්‍රධාන කතෘවූ ලසන්ත වික්‍රමත්‍රංග ගැන අසන විට,"ඒ මනුස්සයා කවුද?" කියා ඇසූවාවූද ආණ්ඩුවය.එහෙත් ෆොන්සේකා විසින් එම ප්‍රකාශය නිවැරදි කරන්නට වීමත්,රජයේ පාර්ශවකරුවන් ලෙස මහාචාර්ය රජීව් විජේසිංහ හා පාලිත කොහොන යන මහත්වරුන්ගේ අදහස් දැක්වීමත් නිසා තව දුරටත් "මහා පාවාදීම" නොවිකෙණෙන තත්වයට පත් විය.
මේ අතර පවතින රජය හා ජනාධිපතිවරයා අන්ත දූෂිත බවට විපක්ෂය මර හඬ දෙමින් කෑ ගසමින් සිටිද්දී රජය සිදු කරන්නේ එම චෝදනාවලට පිළීතුරු දීම පසෙකලා,විපක්ෂ අපේක්ෂකයාද හොරු ගොන්නට එක් කරන්නට වෑයම් කිරීමටය.එමගින් අප විතරක් නෙමේ එයත් හොරෙක් යැයි කීමටය.ඒ සඳහා හිටපු යුධ හමුදාපතිවරයා සිය බෑණා මාර්ගයෙන් ආයුධ ගෙන්වා කොමිස් ගැසූ බවට චෝදනා ගොනු කරන්නට විය.පෙරේදා මැති සභයට හදිසියේ කොළ කෑලි කිහිපයක් ගෙනා ආණ්ඩුවේ ඇමතිවරු ෆොන්සේකාට අවි ගනුදෙනු චෝදනාව නඟන්නට වූයේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද පවසමිනි.මේ සඳහා ආණ්ඩුව පෙර සිට සාක්ෂි එකතු කරමින් සූදානම් වන ආකාරයක් පෙනෙන්නට තිබේ.ෆොන්සේකා මහතාගේ බෑණාගේ යැයි පැවසෙන සමාගම කොළඹ හා ඇමෙරිකාව අතර සම්බන්ධ වෙමින් ටෙන්ඩර්වලින් ගසා කෑ බව රජය පැවසීය.ඔවුන් පැවසූයේ "හයිකෝප් ඉන්ටර්නැෂනල්"(Hicorp International) නමින් සමාගමක් පවත්‍වාගෙන යන බවයි.මෙය ඇසූ සැණින් මේ ගැන සොයන්නට වූ මාහට අදාළ සමාගමේ නමින් ඇති වෙබ් අඩවියක් සොයා ගත හැකි විය.

http://hicorp.us/index.htm

එහි මුල් පිටුවේම "දනුන තිලකරත්න" හෙවත් ෆොන්සේකා මහතාගේ බෑනාගේ නමින් ප්‍රකාශයක් සටහන් වී තිබේ.එහි පැවසෙන්නේ ශ්‍රී ලංකා රජයේ හමුදාවලට අවි සැපයූ බවත්,ඒ සම්බන්ධ සියලු වගකීම් තමා බාර ගන්නා බවත්ය.ඒ අනුව එම ප්‍රකාශය රජයේ ස්ථාවරය තහවුරු කර තිබේ.මා මොහොතකට එහි සඳහන්ව තිබූ ලිපිනය පිරික්සා බැලුවෙමි.එය "No 7 , Siebel Avenue , Colombo 5" ලෙස සටහන්ව තිබුණු බැවින් මා පුදුමයට පත්වූයේ එය මට නුදුරින් මා නොදැනුවත්ව ඇති බැවිනි.උදෑසන කාර්යාලයට පැමිණෙන විටත් එම ලිපිනය පසු කර ආ මට දැක ගත හැකි වූයේ වෙනත් ආයතනයක් එම ස්ථානයේ ඇති බව හා එහි ලිපිනය හා දුරකථන අංක අදාළ වෙබ් අඩවියේ දක්වා ඇති ආතාරයයි.මෙය ඉතා සූක්ෂම ලෙස කරන ලද්දක් විය හැකිය.එහෙත් මා දුටු දෑ මේ ඉදිරිපත් කරන්නේ හුදී ජනයාගේ පහන් සංවේගය සඳහාය.

පහත මුල් ඡායාරූපයෙන් අදාළ වෙබ් අඩවියත්,අනෙක් ඡායාරූපයෙන් දැනට එම ලිපිනයේ(මා දන්නා කාලයේ සිට) එම ස්ථානයේ පවතින සමාගමත් දක්වා ඇත.

මෙය තමාගේ ඇසේ පරාලයක් ඇති රාජපක්ෂවරුන්ට ,ෆොන්සේකාගේ ඇසේ රොඩ්ඩ හොයන්නට උඩගෙඩි‍දන්නන්ගේ ක්‍රියාවක් විය හැකිය.







Tuesday, January 5, 2010

කැලෑ නීතියේ හෝරාව

2010 වසර එළඹෙන්නේ ජනාධිපතිවරණ උණුසුමින් රටම ගිනියම් වී ඇති මොහොතකය.මැතිවරණයක් පැවැත්වෙන සෑම අවස්ථාවකම රට පුරා පූර්ව හා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම දැන් අපට නුහුරු දෙයක් නොවේ.චන්ද්‍රිකා රජයේ වයඹ ඡන්දය අපව එබඳු අවස්ථාවන්වලට අනුගත කළා යැයි කිව හැකිය.මෙවර මැතිවරණය මැරවරණයක් බවට පත්වීමේ සියලුම පෙරනිමිති පහළ වී තිබේ.පසුගිය ජනාධිපතිවරණයේ මුළු ඡන්ද කාලයටම වාර්තා වූ සිදුවීම් ගණන මේ වන විටද ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය මෙල්ල කරගෙන රටේ නිදහස ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාව මේ ගමන් කරමින් තිබෙන්නේ කොහේද?
දවසින් දවස නීතිය අවනීතිය බවට පත්වෙමින් තිබේ.නීතිය සුරැකිය යුත්තන් අවනීතියේ ජඩ කැලට හිස නමමින් සිටී.මෙවන් තත්වයක් තුළ ජනතාවගේ බලාපොරොත්තුව කුමක් විය යුතුද?
මෙවන් ජාතික මැතිවරණයකදී දෙපාර්ශවයම යුද්ධයකට පැටලීම දක්නට ලැබෙතත්,මෙවර බලහත්කාරයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් යුධ ප්‍රකාශ කරන ආකාරයක් දක්නට ලැබේ.මැතිවරණය ප්‍රකාශයට පත්වූ දා සිටම රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ස්වකීය ඒකාධිපතිත්වය මුදා හළ වත්මන් බලය හොබවන්නන් දිනෙන් දින විපක්ෂය තළා පෙළා පොඩි පට්ටම් කර දමන්නට අර අදින බවක් පෙන්වා තිබේ.මහින්ද රාජපක්ෂ මහතාගේ යෝධ කටවුට් හා බැනර් පමණක් ඉතිරි කොට විපක්ෂ අපේක්ෂකයාගේ පුවරුවලට බෝම්බ පවා ගසමින් වපුළ ත්‍රස්තවාදය දැන් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ දියත් වෙමින් තිබේ.මේ සියල්ල ඉදිරියේ නීතිය නිහඬ වීම යුගයේ ඛේදවාචකයකි.කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් කල,මාතර පොලීසිය ඉදිරිපිටම සවිකර ඇති මහින්ද මහතාගේ යෝධ පුවරු පමණක් ඉතිරිවන්නේ කුමන නීතියටද යන්න පැහැදිලි නැත.
කිරිබත්ගොඩදී විපක්ෂය අත් පත්‍රිකා බෙදමින් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරමින් සිටි විට ඊට පහර දීමට ආණ්ඩුවේ මැරයින් පැමිණියෝය.රටේ නීතිය හා සාමය රකින්නට හැඳ පැළඳ සිටින පොලිස් මහත්තුරුද ඒ අසල සිටි අතර,ඔවුන් අදාල විපක්ෂ පිරිස් වෙත කියූයේ පහර දීමට මැර පිරිස් සිටින බැවින් ඉදිරියට නොයන ලෙසය.නීතිය ඇස් හමුවේ අමු අමුවේම වල් වැදෙමින් තිබේ.පොලීසිය ආයුධ සන්නද්ධ මැර පිරිස් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ගේ අනතුරු ඇඟවීම් විපක්ෂය වෙත ගෙන යන පණිවුඩකරුගේ භූමිකාව නිරූපනය කරමින් සිටී.ඊයේ කැම්බල් පිටියේ පැවැති විරෝධතා රැළිය විසුරුවන්නට අවසර ඉල්ලා පොලීසිය උදෑසනම උසාවි ගියේය.දැන් අසම්භාව්‍ය හා තවමත් සිදු නොවූ දේ ගැනද ක්‍රියාත්මක වන්නට තරම් පොලීසිය දුර දිග බලමින් වැඩ කරති.එහෙත් සිදුවූ දෙවල් ගැනනම් පොලීසියට ඇහැක් ඇර බලන්නටවත් තවම හිතී නැත.
 එක් පැත්තකින් විපක්ෂය ජනතාව හා වීදි බැසීම නිහඬ කරන්නට රාජ්‍ය මැරයින්ට රිසිසේ ඉඩ හරිමින් තිබේ.අවනෙක් පැත්තෙන් මැතිවරණ කොමසාරිස්ගේ අණ නොතකා විපක්ෂ අපේක්ෂකයා මඩින් නහවන්නට රාජ්‍ය මාධ්‍ය කටයුතු කරමින් තිබේ.තවත් පැත්තකින් විපක්ෂ වේදිකාවේ කෑ ගසන්නන් කූඩුවේ දමා අගුළුලන්නටද මෙහෙයුමක් ක්‍රියාත්මක බව පෙනේ.දඹර අමිල හිමි කළා යැයි කියන වංචාව සටහන් වන්නේ අද ඊයේ වූවක් ලෙස නොවේ.එහෙත් උන්වහන්සේව අත්අඩංගුවට පත්වන්නේ ‍ෆොන්සේකා මහතාගේ වේදිකාවට ගොඩ වූ පසුවය.දයාසිරි ජයසේකර මහතාටද බොරු චෝදනා යටතේ කූඩු කිරීමට ගත් උත්සාහයක් දක්නට ලැබුණි.මේ සියල්ල තුළ හොල්මන් කරමින් තිබෙන්නේ කැලෑ නීතියයි.ජෙනරාල් ෆොන්සේකා පවසන්නේ තමා විනයානුකූල හමුදාවක් පාලනය කළ බවයි.ඔහු අද රජය සමඟ නැත.ආරක්ෂක අංශ කෙරෙහි වූ බලයක් ඔහුට නැත.එහෙත් සියල්ලට ඉහළින් බලය ඇති සේනාධිනායක වූ ජනාධිපතිවරයා සිටී.ලොව කුරිරුම ත්‍රස්තවාදය නිමවන්නට අණ දුන් සේනාධිනායකතුමන්ට රට තුළ සිවිල් නීතිය හා ආරක්ෂාව පවා සුරක්ෂිත කරන්නට නොහැකි වී තිබේ.විපක්ෂයෙන් ජනාධිපතිවරයාට නැඟෙන ප්‍රබල චෝදනාවක් වන්නේ ජනාධිපතිවරයා කළ එකම දෙය යුද්ධය ජය ගැනීමත්,එයත් ජෙනරාල් ෆොන්සේකා සිටි නිසා කළ බවත්ය.අනෙක් සියල්ලෙදී මහින්ද අසාර්ථකවී ඇතැයි විපක්ෂය කියයි.මේ සේනාධිනායක ලෙස මහින්ද පෙන්වන්නේ ඔහු රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී අසමත් වී ඇති බවද?ජනතාවගේ හදවතේ සදා නිදන්වන්නට තරම් ජනතා සේවයක් කළ නායකයෙකුට කටවුට් බැනර්වලින් පිම්බෙන්නට අවශ්‍ය නැත.එහෙත්" හැළිය රත්වෙන විට කකුළුවා උඩ පනිනවා" යැයි කියන්නට විපක්ෂයට ඉඩ දී ඇත්තේ මන්ද?
මේ ඡන්දය කවුරුන් දිනනවද යන්න පසෙකින් තබමු.එහෙත් ඕනෑම දේශපාලන මතවාදයකට ප්‍රජාත්‍රන්තවාදය ඇතැයි කියන රටක ඉඩක් තිබිය යුතුය.නීතිය හා සාමය ආරක්ෂා විය යුතුය.(රාජාණ්ඩුවකින් එසේ විය නොහැකි බව සැබෑවකි.).එහෙත් අද ගතවෙමින් තිබෙන්නේ අවනීතියේ හෝ කැලෑ නීතියේ හෝරා කිහිපයකි.එහෙත් වැටත්,නියරත් ගොයම් කන විට අහිංසක අපි කුමක් කරමුද?