If you can't read,please click on here.

Thursday, December 31, 2009

නොකී දේ කළ,කී දේ නොකළ මහින්ද

සෑම මැතිවරණයකදීම ඊට ඉදිරිපත්වෙන්නන් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනු ලබයි.කාලයත් සමඟ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් හුදු පොරොන්දු ගොන්නක් බවට පත් වන ආකාරයක් දැක ගන්නට ලැබුණි.අවසන් වරට පැවැති ජනාධිපතිවරණයට ද මේ ආකාරයෙන් ප්‍රධාන අපේක්ෂකයින් දෙනොගෙන්ම ප්‍රකාශනයන් ජනතාව අතට පත් විය.මුලින්ම රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබූ අතර,ඉන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ද "මහින්ද චින්තනය" නමින් සිය ප්‍රකාශනය ඉදිරිපත් කළේය.ජනතාව ඡන්දය දිය යුතු වන්නේ ප්‍රතිපත්ති මාලාවන්ට අනුකූලව වුවද ලංකාවේ තවමත් බහුතරය ඡන්දය පාවිච්චි කරනුයේ එවැනි පදනමක සිට නොවේය.කෙසේ වුවද 2005 ජනාධිපතිවරණයේදී වඩා සැලකිල්ලට ලක් වූයේ ප්‍රතිපත්ති හෝ පොරොන්දු නොව,ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින්ගේ පුද්ගල පෞරුෂය හා ප්‍රතිරූපයන් බව දක්නට ලැබුණි.වෙනත් මැතිවරණ වලදී මෙන්ම මෙහිදීද උතුරේ අර්බුදය මුල් තැන ගත්තේය.
එහිදී විමල් ප්‍රමුඛ ජ.වි.පෙ. ද මහින්ද සමඟ සිටි අතර ඔවුන් ඉතා සාර්ථකව මහින්දගේ ප්‍රතිරූපය ඉහළ නංවන්නටත් රනිල්ගේ ප්‍රතිරූපය තළා පෙළා විනාශ කර දමන්නටත් සමත් වූහ.විශේෂයෙන්ම සටන් විරාම ගිවිසුම සමඟ ගිය රනිල්ගේ සාම ගමන දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර රටට හිතැති නායකයා ලෙස අවසානයේ ජනතාව පිළි ගනු ලැබුවේ මහින්දය.එහෙත් මේ සියලු විවේචන හා ප්‍රහාර හමුවේ රනිල් ද ඡන්ද ලක්ෂ 47ක් ලබා ගනිමින් මහින්දට කිට්ටු කළේය.කෙසේ වුවත් අවසානයේ මෙරට 5වන විධායක ජනපති වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය.ඔහු විසින් ජනතාවට දුන් "මහින්ද චින්තනය" ප්‍රතිපත්ති මාලාව වලංගු වන්නේ එතැන් සිටය.

මෙහිදී මුලින්ම උතුරේ අර්බුදය සම්බන්ධයෙන් මහින්ද චින්තනය ක්‍රියාත්මක වූයේ කෙසේද?මහින්ද උතුරේ අර්බුදය ගැන ක්‍රියා කරනු ලැබුවේ ඔහුගේ චින්තනයට අනුව නොවේ.ඔහු කළේ නොකී දෙයකි.ඉහතින් දැක්වෙන්නේ උතුරේ අර්බුදය ගැන මහින්දගේ තිබු චින්තනයයි.එහිදී සටන් විරාම ගිවිසුම දිගටම පවත්වා ගෙන යෑම පමණක් නොව කොටි නායකයා පෞද්ගලිකව හමු වීමට පවා ජනපතිවරයා තීරණය කර තිබුණි.ඒ අනුව ආණ්ඩුවේ ඇමතිවරුන්ද ජිනීවා යමින් කොටි සමඟ සාමය සාකච්ඡා කළෝය.එහෙත් කොටියාට සාමය ඕනෑ නැත.කොටියා සාමයට ආවේ යුධමය වශයෙන් ශක්තිමත්වීමට පමණි.එහෙත් රාජපක්ෂ රජය ද සාමයට ගියේය.කොටි සාමයට කැමති නැත.රනිල්ව කොටියාට එපා වූයේද මේ ඇද ඇද යන සාමය නිසාය.එයින් තමා ඉන්න තැනින් බිම් අඟලක් හෝ එහාට එන්නට බැරි බව ත්‍රස්තවාදීන් දන්නා නිසාය.කොටි උතුරේ ඡන්ද නවතා මහින්දට එන්න ඉඩ දුන්නේද යුද්ධය ඉල්ලා ගන්නටය.මහින්ද යුද්ධය දෙන්නේ නැති බවක් පෙනුණේය.අන්තිමට කොටියාම යුද්ධය ඉල්ලුවේය.ඒ මාවිල්ආරු සොරොව්වෙනි.ඒත් මහින්ද යුද්ධ කරන්න කැමති වූයේ නැත.මන්ද එය මහින්ද චින්තනයේ තිබුණේ නැත.ජ.වි.පෙ. නායකයා කිහිප විටක් ප්‍රසිද්ධියේ කියා ඇති පරිදි යුද්ධ කරන්න කියන්න ගිහින් මහින්දගෙන් ඔවුන් කුණු හරුප අසා ගෙන ඇත.ඔහුගේ වචනවලට අනුව "නාවන්න ගෙන යන බල්ලෙකු සේ" ජනාධිපතිවරයාව යුද්ධයට ඇද ගෙන ගිය බවක් ප්‍රකාශ කර ඇත.මහින්ද වටා සිටි ජ.වි.පෙ. හා හෙළ උරුමය යුධවාදීව ක්‍රියාත්මකවීමට ඈලි මෑලිව සිටි මහින්දව යුද්ධයට ඇද ගෙන ගියේය.එතෙක් රටේ ගොඩනැගී තිබුණු ආකල්ප නිසා යුද්ධය කියන වචනයවත් මිනිසුන් අහන්න අකමැති වෙතැයි මහින්ද මහත්තයාට සිතුණා විය හැක.එහෙත් ජන මනස යුද්ධය වෙනුවෙන් අත්පුඩි ගසන තැනට ගෙනෙන්නට එකී බලවේගවලට හැකියාව ලැබුණි.

කොටි මාවිල්ආරුවට ගහන විටත් කරුණා අම්මාන් එල්.ටී.ටී.ය. හැර දමා ගොස් තිබුණි.කොටි වැඩිපුරම පිරිස් බලය පවත්වා ගැනීමට භාවිතා කරනු ලැබුවේ නැගෙනහිරයි.එහෙත් කරුණාගේ වෙන්වීම කොටි පිරිස් බලය ශක්තිමත් කිරීම අතිශයින් අඩාල කළේය.ආයුධ කොතරම් තිබුණද යුද්ධ කරන්නට මිනිස්සු ඕනෑය.බලහත්කාරයෙන් එල්.ටී.ටී.ය.ට බඳවා ගැනීම් වඩා තීව්ර කරන්නට එල්.ටී.ටී.ය.ට සිදු විය.එය එක් අතකින් දෙමළ ජනයා වෙතින් කොටි අප්‍රසාදයට පත් වන්නට ප්‍රබල හේතුවක් ද විය.කෙසේ වුවද යුද්ධය දිනෙන් දින ජයග්‍රහණ ලබමින් ඉදිරියට යන්නට විය.යුධ ජයෙන් රටම උදම් වෙමින් තිබුණි.තවද කොටියාගේ ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිංසක වැසියන්ගේ ලේ හැලෙද්දී යුද්ධය අවසානයක් දකින තුරු ගෙන යන ලෙස ජනතාවද ඉල්ලුවෝය.සේනාධිනායක ලෙස ජනපතිට කළ යුතුව තිබුණේ යුද්ධය දිගටම කරනවාද,නැද්ද කියා අණ දෙන්නට පමණි.ඒ අනුව රිසිසේ කොටියාට ගහන්නට මහින්ද ඉඩ දුන්නේය.තවත් විදියකින් කියතොත් වැල යන අතට මැස්ස ගැසුවේය.මහින්ද චින්තනයෙන් නොකීවත්,මහින්ද මේ කළ දේ අගනේය.එය රටට යහපත් විය.කලින් නොකීවද යහපත් දේ කිරීම කාගෙත් පැසසුමට කරුණක් වන්නකි.

උතුරු ගැන කලින් නොකී ලෙස කළද,මහින්ද චින්තනයෙන් කියූ තිබූ බොහෝ දෑ ඉටු වූයේ නැත.එය කරුණු වශයෙන් දිග හරින්නට ගියොත් සිය ගණනක ලැයිස්තුවක් බවට පත් වේ.ජනාධිපතිතුමාම ඊයේ පෙරේදා ජන හමුවකදී කීවේද,කරුණු වශයෙන් ඒවා ඉටු වූවේද කියා නොබලා රට එක්සේසත් කළ බව ගැන සිතා සතුටු වන ලෙසය.මන්ද මහින්ද කී දේ මහින්ද නොකළ බවත්,නොකී දේ කී බවත් කාටත් වඩා හොඳින් දන්නේ ඔහු නිසාය.

උදාහරණ කිහිපයක් පමණක් දක්වතොත්;ගැබිණි මවගේ පෝෂණ මල්ල,ළමුන් වෙනුවෙන් වූ වෙනම අමා‍ත්‍යාංශය,සියලු සරසවි සිසුන්ට නේවාසිකාගාර,රජයේ පාසල්වල සියලු ස්වේච්ඡා ගුරුවරු ස්ථිර කිරීම,"යොවුන් දිරිය" වැඩසටහන ඔස්සේ 2006 වසරේ 50,000කටද,2007 වසරේ තවත් 50,000 කටද ඉහළ වැටුප් සහිත රැකියා ලබා දීම,විදේශ රැකියාවල නිරතවූවන් වෙනුවෙන් වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම ආදිය වේ.මේ කිහිපයක් පමණි.

එහෙත් කරනවා යැයි නොකී බොහෝ දේ මහින්ද කළේය.බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරන බව මහින්ද කීවේ නැත.එහෙත් 112ක ඇමති මණ්ඩලයේ අද බුද්ධ ශාසන අමාත්‍යාංශය නැත.ජනතාවට දැරිය නොහැකි තරම් බදු පනවන බව කීවේ නැත.රාජ්‍ය මාධ්‍ය තුච්ඡ හා නින්දිත ලෙස මඩ යන්ත්‍ර බවට පත් කරන බවක් කීවේද නැත.විපක්ෂයට දේශපාලනය කිරීමට තිබෙන අයිතියට බලපෑම් කරමින් ප්‍රජාත්‍රන්තවාදය උල්ලංඝනය කරන බවක් කීවේද නැත.තම රජයක් යටතේ මිනිස් ජීවිත අනතුරේ හෙළන සෞඛ්‍යය අමාත්‍යාංශයක් ඇති කරන බවට පොරොන්දු වූයේ ද නැත.ජාතික මට්ටමේ විභාග ප්‍රශ්න පත්‍ර පවා යළි පවත්වන අධ්‍යාපනයක් තම රජය යටතේ පොරොන්දු වුයේ ද නැත.අද මේ සියල්ල මහින්ද කර තිබේ.එසේ නැත්නම් සිදුවෙන්නට ඉඩදී තිබේ.

මේ නව වසරේ කවුරු ජනාධිපති වුවද පත්විය යුත්තේ කළ හැකි දේ කියන,කී දේ කළ හැකි නායකයෙකි.අද විපක්ෂයේ පොදු අපේක්ෂකයාද විවධ පොරොන්දු ලබා දෙමින් සිටී.ඇතැම් ඒවා කරන ආකාරයද කියා තිබේ.අවශ්‍ය වන්නේ කළ හැකි දේ පමණක් කියා තමා කී දේ කිරීමය.ප්‍රේමදාස මහතා "නැති බැරි අය-ඇති හැකි අය" කිරීමට කටයුතු කළේය.එහෙත් ඔහු කළේද නැති අය ඇති අය කිරීමට රජයෙන් පිනට දීම පමණි.සිදු විය යුත්තේ එය නොවේ.මූල්‍ය හෝ භෞතික සම්පත් ප්‍රදානය මඟින් පමණක් රටක් හැදිය නොහැකිය.ජනතාව රටට නිෂ්පාදන ලබා දෙන්නන් ලෙස සවිබල ගැන්වීම කළ යුතුව තිබේ.සරලව කියතොත් කළ යුත්තේ බැරි අය හැකි අය කීරීමය.එවිට නැති අය ඇති අය වෙනු ඇත.කවුරුන් මී ළඟ ජනාධිපතිවරයා වුවද සිතිය යුත්තේ ඒ ගැනය.

Tuesday, December 29, 2009

සුභ අනාගතයක් ඇයි ?

රට පුරාම ඇළවුණු පෝස්ටර් හා යෝධ කටවුට් මීට පෙර නොතිබුණ ද කොයි කාගෙත් ප්‍රාර්ථනය සුභ අනාගතයක් වූ බව හැබෑය.ප්‍රශ්නය කාගේ අනාගතය සුභ වුවත්,මේ රටේ ජනතාවට සුභ දවසක් උදා නොවීමය.වත්මන් ජනාධිපතිතුමාගේ මූලික පාඨය වී ඇත්තේද "සුභ අනාගතයක්" යන්නය.එය අලුත් අදහසක් නොවේ.ජනපතිවරයා 2005 දී මෙරට නායකයා ලෙස ජනතාව විසින් පත් කර ගනු ලැබුවේද අසුභ අනාගතයක් වෙනුවෙන් නොවේ.එදත් ජනතාවට සුභ අනාගතයක් ඕනෑ විය.එහෙත් එසේ පත් කළ ජනාධිපතිවරයා තමාට තව වසර 2ක් තිබියදී ජනතාවට සුභ අනාගතයක් උදා කිරීමට යළි ජනවරමක් ඉල්ලා සිටී.එදා අනාගතයව තිබූ කාලය අද වර්තමානය බවට පත් වී තිබේ.ජනපතිවරයා පවසන්නේ "දැන් ඉතිං රට හදමු" කියාය.නැතිනම් "සුභ අනාගතයක්" කියාය.
රට හදන්නට එතුමාට වසර දෙකක් ඉතිරිව තිබුණි.එය කළා නමි සුභ අනාගතයක් ගෙන ආ හැකිව තිබුණි.එහෙත් දැන් රට හදන්නට යන්නේ මෙතෙක් කල් රට කාපු නිසාද?(මෙතෙක් කල් යුද්ධ කරපු නිසා නම්,ඉතිරි වසර2 අත හැරියේ මොකටද?) සුභ අනාගතයක් අවශ්‍ය වන්නේ වර්තමානය අසුභ නිසා ද? වර්තමානය අසුභ නම්,අනාගතය සුභ වන්නට වර්තමාන පාලකයාම පත් විය යුතු ද?මේවා ජනතාව සිතිය යුතු ප්‍රශ්නය.එක්කෝ වර්තමානය අසුභ වී ඇති බව ජනාධිපතිවරයාම පිළි ගන්නවා විය හැකිය.නැත්නම් කෙනෙක් සමු ගන්නා විට කරන සුභ පැතුමක් ලෙස මෙය කියනවා විය හැකිය.හැම දේම දැන ගන්න වෙන්නේ ජනවාරි 26 න් පසුවය.
එදාට පසු මොකක් වුනත්,අපිට තවමත් නොලැබුණු සුභ අනාගතයක බලාපොරොත්තුව ඉටු වුනොත් හොඳය.

Friday, December 18, 2009

අපට අහිමි කළ ප්‍රජාත්‍රන්තවාදය..

"ප්‍රජාත්‍රන්තවාදය" යනු අද කණෙන් කොනෙන් නිතරම ඇහෙන වචනයකි.විශේෂයෙන්ම එය මේ දිනවල මෙරට දේශපාලන වේදිකාව තුළ නිරන්තරයෙන් කියැවෙනු දක්නට ලැබේ.ප්‍රජාත්‍රන්තවාදය යන්න ග්‍රීක බසින් එන "ජනතාවට බලය" යන අදහසින් එන වචනයක් වේ.ප්‍රජාත්‍රන්තවාදය තුළ ජනතාවට බලය ලැබිය යුතුය.එනම් තම බලය භාවිතා කිරීම සඳහා වූ අයිතිය ලැබිය යුතුය.සැබැවින්ම ප්‍රජාත්‍රන්තවාදී රටක ජනයාට අයිතිය හා නිදහස තිබිය යුත්තේය.තම දේශපාලනික,ආගමික,සංස්කෘථික ආදී වශයෙන් වූ මතයන් ඇදහීමට,අනුගමනය කිරීමට,ප්‍රකාශ කිරීමටද සෑම අයෙකුටම අයිතියක් හා නිදහසක් ප්‍රජාත්‍රන්තවාදය පවතින රටක තහවුරු විය යුතුය.තවද තමාගේ මෙන්ම අන්‍යයන්ගේ මතවලටද ඉඩක් දීම හා ගරු කිරීමත්,අන්‍ය මත ඉවසීමත් දියුණු වූ ශිෂ්ඨාචාරගත ජන කොට්ඨාශයකට හොබනේය.එහෙත් ප්‍රජාත්‍රන්තවාදී පාලන ක්‍රමයක් පවතින රටක් ලෙස හඳුනා ගෙන තිබෙන මෙරට වර්තමානය තුළ සැබෑ ප්‍රජාත්‍රන්තවාදයක් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.
විශේෂයෙන්ම මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඒ බව මනාව පැහැදිලි වෙමින් තිබේ.
ආණ්ඩුව කියන්නේ පවතින ප්‍රජාත්‍රන්තවාදය රැකගත යුතුයි කියාය.විපක්ෂය කියන්නේ නැවත ප්‍රජාත්‍රන්තවාදය ඇති කළ යුතුයි කියාය.
එහෙත් රජය මෙවර මැතිවරණයට නාම යෝජනා භාර දීමටත් පෙර සිටම ප්‍රජාත්‍රන්තවාදය මරා දමන ඒකාධිපති ස්වරූපයකට පත් වී සිටියේය.ජනාධිපතිවරයාගේ රුව රැගත් අති විශාල ප්‍රමාණයේ යෝධ කටවුට්වලින් ගම් නගර වසා දමනු ලැබ තිබුණි.කොළඹ නගරයේද අති විශාල ප්‍රමාණයේ බෝඩ් සවිකර තිබූ අතර,ඒවා යටින් මීට පෙර "කුමා ස්ටිකර්ස්" යනුවෙන් සඳහන්ව තිබු අතර දැන් එය මකා දමා ඇත.කෙසේ වුවද ගැටළුව වී තිබෙන්නේ මේ සියල්ලට අවසර තිබෙන්නේ ජනාධිපති රුවට පමණක් වීමයි.විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයාගේ පෝස්ටර් ඇළවීම,ළඟ තබා ගිනීම පහර කෑමට හා පොලිස් කූඩුවේ ලැගීමට තරම් වරදක් වී ඇති අතර තම අපේක්ෂකයාගේ ජය පතා රැස්වීම් පැවැත්වීමද අවලංගු කෙරෙමින් තිබේ.
ෆොන්සේකා මහතාගේ සියලු කටවුට් හා පෝස්ටර් එක රැයකින් අතුරුදහන් කරවමින් එම ස්ථානවලද පසු දා සිට යෝධයෙකු සේ නැගී සිටින්නේ රාජපක්ෂ මහතාය.නාම යෝජනා දෙන තුරු රිසිසේ පෝස්ටර්,බැනර්,කටවුට් හා බෝඩ්වලින් ජය ගෙන සිටි රාජපක්ෂ මහතා පොලීසියට අණ කරනු ලැබ ඇත්තේ තමාගේද ඇතුළුව සියලු කටවුට් ගලවා ඉවත් කරන ලෙසයි.ඇත්තෙන්ම ඉවත් කිරීමට ඉතුරුව තිබුණේද එතුමාගේ ප්‍රචාරක පුවරු පමණි.කොළඹ පමණක් මේ කටයුත්ත තරමක් හෝ පොලීසිය විසින් සිදු කර ඇති නමුදු කොළඹින් බැහැර පුදේශවල අපූරුවට තවමත් රාජපක්ෂ මහතා බලන බලන අත හිනැහෙමින් සිටී.තවද පොලීසිය මෙන්ම යුධ හමුදාවද මෙතෙක් නොවූ විරූ ලෙස දේශපාලනීකරණය වී ඇත.
මාධ්‍ය භාවිතය අතින් රාජ්‍ය මාධ්‍ය ගෙන යන්නේ අන්ත පිළිකුල් හා තුච්ඡ මාධ්‍ය කලාවකි.අවම වශයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා නාම යෝජනා භාර දුන් බවවත් නොපෙන්වන්නට හා නොකියවන්නට තරම් රාජ්‍ය මාධ්‍ය තම පක්ෂග්‍රාහී බව පෙන්වා තිබේ.ඒවායේ බලධාරීන් හ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක ධුරයන් උසුලන්නෝ වෙති.දැන් මෙය ඒක පාර්ශවික මැතිවරණයක් වන තරමට ගෙන එමින් තිබෙන්නේ ඒ අනුවය.මේ ගැන පැමිණිලි කළ විට මැතිවරණ කොමසාරිස්වරයා නිවේදන හෝ නියෝග නිකුත් කිරීම හැර වෙනත් යමක් සිදු වන බවක් පෙනෙන්ට නොමැත.මේ අනුව අද අපිට අහිමි වී තිබෙන්නේ ප්‍රජාත්‍රන්තවාදයයි.ඊයේ පෙරේදා ආණ්ඩුවට පැන්න ඇතැම් අය කියන්නේ ජෙනරාල්වරයා බලයට පත්වුවහොත් මෙරට ප්‍රජාත්‍රන්තවාදය නැති වන බවකි.එහෙත් පැදුරේ සිටින්නාට වැටෙන්න තැනක් නැත.අහිමි වන්නට,දැන් අපට හිමි වූ ප්‍රජාත්‍රන්තවාදයක් ද නැත.
දැන් මුළු රටම ඉල්ලා සිටින්නේ ප්‍රජාත්‍රන්තවාදයයි.එබැවින් කවුරුන් ජය ගත්ත ද ප්‍රජාත්‍රන්තවාදය ජය ගත යුතුව තිබේ.නැතිනම් පරදින්නේ ජනතාවය.

Sunday, December 13, 2009

'ජොහොර' ඇදහිල්ලෙන් දැරියක් මිය යයි,"ශ්‍රී දේශය" නිහඬයි!

'ජොහොර' නැමැති ඇදහිලි ක්‍රමයකට අනුව ‍රෝග සුව කිරීමට ගොස් කොබෙයිගනේ තාරකා හංසිනී නැමති 14 හැවිරිදි දැරියක් මිය ගිය බව පසු ගිය සතියේ ජන මාධ්‍ය තුළින් දැකිය හැකි විය.මිය ගිය දැරිය දැඩිව රෝගීව සිට ඇති අතර ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී ඇයගේ රෝගය සුව කිරීමට මෙම ඇදහිලි ක්‍රමයට අනුව පිළිවෙත් කර ඇති අතර,අවසානයේ ඇය මිය ගොස් ඇත.රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන්ට අදහස් දක්වමින් මෙම මියගිය දැරියගේ සොහොයුරා පැවසුවේ ‍,මෙම ඇදහිලි ක්‍රමය ගැන තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවත්,තම නැගණිය කොහේ සිටියත් මිය යන්නේ නම්,එය නොවැළැක්විය හැකි බවත්ය.තවද ඉදිරියටත් තම විශ්වාසය එලෙසම පවතින බවද ඔහු පැවසීය.භික්ෂුන් වහන්සේලාද මෙයට සහභාගී වී ඇති බව රූප රාමුවල දක්නට ලැබුණු අතර,කාන්තාවක් පැවසූයේ මෛත්‍රී බුදුන්ගේ අනුහසින් රෝග සුව වෙන බවය.දැනටම මෙම 'ජොහොර' ඇදහිලි ශාඛා 25ක් පමණ ඇති බවත් වාර්තා විය.
මීට සති කිහිපයකට පෙර ක්‍රිස්තියානි දේව මෙහෙයකදී මිය ගිය කාන්තාවන් ගැන මහත් හඬක් අවදි කළ "ශ්‍රී දේශය" නම් බ්ලොග් අඩවිය මෙම රෝග සුව කිරීම හා මිය යෑම ගැන වචනයක්වත් නොලිවීම ගැන මම පුදුම නොවෙමි.එයට හේතුව මෙම බ්ලොග් අඩවිය ක්‍රිස්තියානි-විරෝධී ආගමික අන්තවාදයත් ප්‍රකාශ කිරීමක් මිස,සැබෑ ලෙස බෞද්ධ උරුමය රකින්නට හෝ මෙවැනි ආගමික කල්ලිවලට එරෙහි වීමක් හෝ නොකරන බැවි කල් තියා අවබෝධ කර ගත හැකි වූ නිසාය.ක්‍රිස්තියානි හෝ වෙනතු ආගමක හෝ මූලධර්මවාදීන් හෝ වෙනත් ආගමික කල්ලි රටට වින කරන්නේනම්,ඒවාට එරෙහිව කතා කිරීම සාධාරණය.එහෙත් "ශ්‍රී දේශය" උත්සාහ කළේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ගැනද,චරිතය ගැනද පදනම් විරහිත හා මනස්ගාත ලියා ඇති පොත්වල කරුණු ගෙන ක්‍රිස්තියානි විරෝධී අදහස් දැක්වීමය.උන්වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නොවන බවට දැන් පොත් පත් කිහිපයක්ම පළවී ඇති අතර,මා සතුවද ඒ අතරින් එකක් තිබේ.එබැවින් මෙය හුදෙක් ආගමික අන්තවාදය කරා ගමන් කිරීමකි.ක්‍රිස්තියානි මෙහෙයක් වූ නිසා පමණක් මීට පෙර රෝගියෙකු මිය ගිය විට කතා කිරීමෙනුත්,දැන් නිහඬව සිටීමෙනුත් පෙනී යන්නේ එයයි.
එබැවින් මා මුල සිටම ඉල්ලා සිටියෙත්,දැනුදු ඉල්ලා සිටින්නේත්,තමා තුළ ඇති ආගමික වෛරය මෙවැනි අදහස් ප්‍රකාශකිරීම්වලදී මුදා නොහරින ලෙසය.ජාතිය මුල් කරගෙන ඇති වූ ඩබරය නිසා අප පුංචි ශ්‍රී ලංකාව වසර 30ක් වධ විඳ තිබේ.අපි හැමදාම එක් තැන ඉන්නට වී ඇත්තේ එකී අර්බුදය නිසාය.දැන් එය යන්තම් නිම වූවා පමණි.තවත් ජාතික හෝ ආගමික බෙදීම් නැමති විෂ බීජ මේ රටට අවශ්‍ය නොවේ.මෙය මීට පෙර මා පෙන්වා දුන් විට එය තර්ජනය කිරීමකැයි ඇතැම්හු නිර්වචනය කළහ.මා ලංකාවට ආදරය කරන තවත් එක් පුරවැසියෙක් පමණි.මට එවැනි තර්ජනයක් කිරීමේ බලයක් ‍හෝ අයිතියක් මෙන්ම,ඕනෑකමක් ද නැත.මට අවශ්‍ය වන්නේ මේ පුංචි ශ්‍රී ලංකාව තුළ හැම ජාතියක්ම,හැම ආගමක්ම සහයෝගයෙන් අත්වැල් බැඳගෙන එකට ජීවත් වනු දැකීමය.ඊට බාධා කරන මතවාදයන් අප සමාජයට යහපත් නොවේ.
අතීතයේද බුදු දහමට විවිධ තර්ජන එල්ල විය.සුබද්‍ර වැනි භික්ෂූන් ශාසනය තුළ සිටි‍මින් එය තුළට වැරදි දේ ඔබ්බවන්නට උත්සාහ කළහ.එවිට ධර්ම සංගායනා පවත්වා එවැනි භික්ෂූන් ශාසනයෙන් නෙරපා බුදු සසුන පවිත්‍ර කරනු ලැබීය.බුද්ධ දර්ශනයට හානි පමුණුවන හැම අවස්ථාවකදීම එවැනි සංගායනා මඟින් ශාසනය පිරිසිදු කරනු ලැබීය.අද එවැනි සංගායනා පැවැත්වෙන්නේ නැත.එහෙත් මේවා ගැන කතා කිරීම පසෙක තබා අන්‍යාගම්වලට දොස් නැගීම ඵලක් නොවේ.
ඉතිහාසයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය සිටින රටේ අද බුද්ධ ශාසන අමාත්‍යංශයක් නැත.මේ ගැන කතා කරන්නට කෙනෙක් නැත.එල්ලාවල මේධානන්ද හිමි අතේ පැළවෙන බොරු කියා පංච ශිලයද කඩ කරද්දීත්,මත් පැන් බීම ගැන ජනමාධ්‍යට විහිළු සපයද්දීත්,කතා කරන්නට කෙනෙක් නැත.රතන හිමි අල්පේච්ඡ ජීවිතය පසෙක තබා කෝටි ගණන්වල මාළිගා හදද්දීත් "ශ්‍රී දේශය" ද නිහඩය.ධර්ම රාජ්‍යය හදන්න ගිය ගිහි ඇමතීන් තුන්වන හා පළවෙනි සිල් පද කඩමින් තම පවුලවත් රැක ගන්නට අපොහොසත් වෙද්දීත්,සමහරුන්ගේ කටවල් නිහඬය.ඒවා පෞද්ගලික කාරණා බව කෙනෙකුට කිව හැකිය.එය සැබෑවකි.එහෙත් ප්‍රශ්නය අද වැඩිපුරම කෑ ගසන්නේත්,මෑතදී වූ සිද්ධියේදී වියරුවෙන් මෙන් හැසිරෙමින්,සෙනඟ කුපිත කරවමින් දේවස්ථාන කඩා බිඳ දමන්නට ඉදිරිපත් වන්නේත්,මේ අයම වීමය.එබැවින් වරද නිවැරදි විය යුත්තේ එතැන් සිටය.බොරුවට කෑ කෝ ගසමින් ආගමික් යුද්ධයක් ඇති කිරීමෙන් නොවේය.
අදටත් බුදු බණය එලෙසින් පිළි පදින බෞද්ධ භික්ෂූන් වහන්සේලා අප රටේ සිටිති.බුද්ධ ශාසනයට වින කරමින් තමා බෞද්ධ යැයි පෙනී සිටින්නන්ගෙන් මුලින්ම බෞද්ධයින් බේරා ගත යුතුය.("ශ්‍රී දේශය" වැනි බ්ලොග්කරුවන්ද අයත් වන්නේ එම ගනයටය.)ඉන් පසු කුමන හෝ ආගමික කල්ලියක් සදාචාර විරෝධීව හෝ මෙරට ආගමික සහජීවනයට හානි කරන්නේ නම්,ආගම් බේදයකින් තොරව අප එයට එරෙහි විය යුතුය.අපගේ මේ මාතෘ භූමිය සුන්දර කර ගත හැකි වන්නේ එවිට පමණි.

Friday, December 11, 2009

මගේ ඡන්දෙ ඉවරයි - ෆොන්සේකා දිනුම් ?


සාමාන්‍යයෙන් ඡන්ද කරන්නේ මැතිවරණ කොමසාරිස්තුමාය.ඡන්දයක් ප්‍රකාශයට පත්වූ මොහොතේ සිට දිවා රෑ වෙහෙසෙමින් අවසාන නිල ප්‍රතිඵලය දක්වා එතුමාට විශාල කාර්යභාරයක් පැවරේ.එහෙත් නවීන තාක්ෂණයේ දියුණුව නිසා දැන් අපි වගේ අයටත් ඡන්ද තියන්නට පුළුවන.මමත් එහෙම ඡන්දයක් කළා.මේකෙන් කිසිම විටක රටේම මතය නම් නිරූපනය වෙන්නේ නෑ.කොහොම වුනත් මං තියන්න හිතපු මේ ඡන්දෙදි මං ඇහුවෙ,මී ළඟ ජනාධිපතිවරණයේදී ඔබ තුමන්ලා ඡන්දෙ දෙන්නේ කාටද කියලායි.මුළු අන්තර් ජාලය පුරාම මෙවැනි ඡන්ද (polls) රාශියක් පැවැත්වෙද්දී,මගේ පුංචි මත විමසීමේදී ඡන්දය පාවිච්චි කළ 190 දෙනාට මම ස්තුති වෙමි.එහි ප්‍රතිඵලයන් අනුව
ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද 106 ක් හෙවත් 55%ක්
ද,
මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්ද 82 ක් හෙවත් 43%
ක්ද
ලැබී තිබුණි.2% වෙනතු අපේක්ෂකයන් ලෙස සටහන් විය.

එක් අයෙකු මගේ ඡන්ද විමසීමේ දී අපූරු comment එකක් ලියා තිබුණි. ඔහු ඇසුවේ මෙයින් වැඩි පුර ඡන්ද ගන්නාට ජනාධිපතිකම දෙනවාද කියාය.අනේ එහෙම දෙන්න විදියක් නම් නැති බව හැබෑය.අනෙක් අතට මෙය ඡන්ද 200ක්වත් පාවිච්චි වී නැති අවස්ථාවකි.එසේම මීට පිවිසෙන්නේ අන්තර් ජාලය භාවිතා කරන අය අතුරෙනුත්,සිංහල බ්ලොග් කියවනය වෙත එන අය පමණි.එබැවින් මෙය තවත් එක් මත විමසීමක් පමණි.එහෙත් මෙහි ඡන්දය භාවිතා කිරීමට විවෘත වූත්,නිදහස්වූත් අවස්ථාවක් තිබුණු බැවින් මෙම ප්‍රතිඵලය යමෙකුට පක්ෂපාතී වීමට හැකියාවක් තිබුණේ නැත.දැනට ප්‍රතිඵලය නම් ඔන්න ඕකය.ඒ කියන්නේ,සිංහල බ්ලොග් කියවනයට පිවිසෙන්නන් අතරින් බහුතරයක් ෆොන්සේකා මහතාට කැමැත්තක් පළ කර ඇත.එය එසේම මුළු රටේම වේදැයි අපි නොදනිමු.ඒක ඉතිං අපේ ඡන්ද කොමසාරිස්තුමා කරන ඇත්ත ඡන්දෙන් පස්සෙ බලා ගන්න පුළුවන් වේවි.මාතෘකාව අගට ප්‍රශ්නාර්ථයක් තැබුවේද ඒක නිසාය.

ඔබට ජය !

Thursday, December 10, 2009

2010 ජනාධිපතිවරණයේදී ඔබේ තීන්දුව ප්‍රකාශ කරන්න






ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ විවිධ සමීක්ෂණ පැවැත්වෙමින් තිබේ.
ඉතින් එළඹෙන 2010 මැතිවරණයේ දී ඔබ තෝරාගන්නේ කුමන අපේක්ෂකයාද යන්න තෝරන්න තවත් අවස්ථාවක් මේ:

http://ems-enochindi.blogspot.com/

ස්තුතියි.


දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද? - අනේ අපේ අප්පච්චිට ඡන්දෙ දෙන්න

දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද? තරුණයින්ගේ අපේක්ෂාව කුමක්ද කියා දින කීපයකට පෙර රට පුරා දහස් ගණනක් පෝස්ටර් ඇළවී තිබුණි.දැන් එයට පිළිතුර වී ඇත්තේ "සුභ අනාගතයක්" යන්නය.එම වාක්‍යය පමණක් මුද්‍රණය කර පෙර තිබූ පෝස්ටරයම යළි රට පුරා අළවා තිබේ.සැබැවින්ම රටේම ජනතාව බලාපොරොත්තු වන්නේ අනාගතය සුභ කරගැනීමටය.එය ලක්ෂ ගණන් මුදල් වැය කර පෝස්ටර් අලවා රටට කිව යුතු පණිවුඩයක් නොවේ.මෙවැනි විකාර වැඩවලට අද සල්ලි වැය කරන්නට රජයට සල්ලි තිබේ.රටේ ජනතාවට සහන දෙන්නට සල්ලි නැත.හැබැයි ලෝක වෙළඳපලට ඕනෙ විදියට බඩුමිල පාලනය කරන්න ආණ්ඩු මොකටද කියා කවුදෝ එදා ඇසුවේය.අපි ප්ලග් ගලවනවා කියා කීවේය.දැන් එතුමන්ලා මොනා ගලවගෙන දැයි අපි දන්නේ නැත.ලෝකවෙළඳ පොලේ මිල ඉහළ යද්දී තෙල් මිල ඉහළ දැමූ ආණ්ඩුව,තෙල් මිල පහල යද්දී එය පහල නොදැමූයේ අධිකරණ තීන්දු පවා නොසලකමිනි.
තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් මොනාද කියා පසු ගිය දිනවල දකින්නට ලැබුණි.දරු දැරියන්ගේ අවශ්‍යතා ගැන පසුගිය කාලයේ විභාග ලියූ දරුවන්ගෙන්ම අසා ගත හැක.
එහෙත් අද ජනපති පුත්ගේ අපේක්ෂාව වන්නේ නම් තව වරක් තමාගේ පියා ජනාධිපති කරවා ගැනීමටය."තාරුණ්‍යයට හෙටක්" යනුවෙන් අටවා ගෙන ඇති ඊනියා සංවිධානය අද මුළුමනින්ම ජනාධිපතිවරණ ප්‍රචාරක ඒකකයක් බවට පත්ව තිබේ.සමාගමක් ලෙස ලියාපදිංචිකර ඇති,විනිවිද භාවයක් සහිත ව්‍යුහයක් හෝ ගිණුම් විශ්ලේෂණයක් නොමැති මේ සංවිධානය අද ක්‍රියාත්මක වෙන්නේ තාරුණ්‍යයට හෙටක් තනන්නද යන්න මේ රටේ තරුණ තරුණියන් අද ඇස් හැර බැලිය යුතුය.මේ සංවිධානය කිසි විටෙක මේ රටේ තරුණ්‍යයයේ අනාගතය වෙනුවෙන් යමක් කර නොමැති බව ඔවුන්ගේම වෙබ් අඩවියට ගිය විට වුවද පසක් වෙයි.බණ වැඩසටහන් ,අවුරුදු උත්සව,ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමට නාමල් රාජපක්ෂම අවශ්‍ය නැත.එය ගමේ තරුණ සමිති හරහා ද කළ හැකි දේවල්ය.මේවාගෙන් තරුණයින්ට හෙටක් තනන්නේ කෙසේද කියා මටනම් තේරුම් නොයයි.මේ රටේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය විනාශ වෙද්දී ,ඒ වෙනුවෙන් කටක් අරින්නට නාමල් රජපුත් අසමත් වී තිබේ.තරුණයෝ රැකියා ඉල්ලා පාර දිගේ කඳුලු ගෑස් කද්දී ,මේක රජයේ වරදද නැත්නම් ඒ තරුණයන්ගේ වරදද යන්නවත් සොයා බලන්නට මේ "තාරුණ්‍යට හෙටක්" ආවේ නැත.සරසවි ශිෂ්‍ය ප්‍රශ්න ගැන කතාකරන්නට මේ නාමල් මහත්තයාට නිකමටවත් හිතුණේ නැත.එබැවින් මේ වැඩ කරන්නේ කාගේ හෙටක් වෙනුවෙන්ද?
අද තම පවුල්වාදයේ උපරිමයට පැමිණෙමින් සිටින රාජපක්ෂවරු ඒ සඳහා මෙරට කලාකරුවන් පවා යොදාගන්නට කටයුතු කර තිබේ.රජයේ නාලිකාවල නොමිලයේ ප්‍රචාරය කරන මේ දැන්වීම්,අති විශාල මුදල් ගෙවමින් පෞද්ගලික නාලිකාවලද ප්‍රචාරය කරනු ලබයි.තාම නාමයෝජනා භාරදීමවත් අවසන් වී නැත.රු.ලක්ෂ 5ක් වැනි මුදලක් ලබාගෙන තම ජනප්‍රියත්වය පාවාදෙන්නට තරම් මේ රට කලාකරුවන්ද ආර්ථික අහේනියකට පත්ව ඇත්නම් ඒ සඳහාද වගකිවයුත්තේ මේ රජය නොවේද?කලාකරුවෙකුට ඕනෑම දේශපාලන මතයක් දැරීමේ නිදහසක් තිබේ.(අනර්කලී ආකර්ශා,රොජර් සෙනෙවිරත්න,රන්ජන් රාමනායක ඡන්දයට ආවේද ඒ අයිතිය අනුවය).එහෙත් මුදල් ගෙවා ප්‍රචාරය කෙරෙන මෙවැනි දේශපාලන වෙළඳ දැන්වීමක් සඳහා පෙනී සිටීම කෙතරම් උචිතදැයි මම නොදනිමි.අනෙක් අතට මේ අය කියන්නේ "ඔබේ ඡන්දයෙන් ,මව්බිම දිනවන්න" කියාය.ඉතිං මහින්ද රාජපක්ෂ පමණක් නොව,සරත් ෆොන්සේකා ද මව්බිම දිනා දුන්නෙකි.එබැවින්ම නාමල් මේ කියන්න හදන්නේ කුමක්දැයි තවම පැහැදිලි නැත.ප්‍රභාකරන් පුතා තියාගද්දී ,මම රට වෙනුවෙන් පුතා දුන්නා කියා මහින්ද මහත්තයා කීවේය.අන්තිමේදී ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී පුතා තම පියා සමඟම වෙඩි කා මරු තුරුලට ගියේය.හැබැයි රජපුතා වෙඩි වදින මායිමකටවත් ගෙන නොයන්නට වග බලාගෙන තිබුණි.අද එතුමා ද(රට වෙනුවෙන් නාවික හමුදාවට බැඳුණු) "ප්‍රීමා" ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි.රනිල්ට දරුවෝ නැති එකත් ජනපතිකමට නුසුදුසුකමක් බව ගිය වර මැතිවරණයේදී ප්‍රචාරණයක් ලෙස යොදාගත් සන්ධානය,අද ජනපති මහින්දට පුතුන් සිටීම කෙතරම් ප්‍රයෝජනවත්දැයි පෙන්වා තිබේ.රාජපක්ෂ පුත්‍රයන්ගේ අපේක්ෂාව කුමක්ද?
"අපේ පියා යළි ජනපති කරන්න".

Tuesday, December 8, 2009

S.B. දේශද්‍රෝහියෙක් - ආණ්ඩුව S.B. දේශප්‍රේමියෙක් - විපක්ෂය..

එ.ජා.ප.යේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ ඇස්.බී.දිසානායක මහතා ඊයේ එ.ජා.ප.යේ සියලු තනතුරුවලින් ඉවත් වෙමින් ශ්‍රී.ල.නි.ප.ය.ට එක්විය.ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ උණුසුම්වී ඇති දේශපාලන පොරපිටිය තුළ සිදුවූ මේ කරණම ඊයේ සියලු ජනමාධ්‍යවල අවධානය දිනා ගත්තේය.
කෙසේ වුවද ඔහුගේ මේ දේශපාලන පිනුම් ගැසීම හා ඔහු දැක්වූ කරුණු යළිත් "දේශප්‍රේමී" හා "දේශද්‍රෝහීන්" අර්ථකතනයන් කරන්නන්ට නැවතත් සත්‍යය පහදාගන්නට අවස්ථාවක් දී තිබේ.
S.B. යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම දේශපාලඥයෙකි.වර්තමාන දේශපාලන වේදිකාව තුළ ඉතිරිව ඇති පරිණත යැයි කිව හැකි දේශපාලකයන් අතළොස්සෙන් S.B.ද කෙනෙකි.කටට තිරිංග නැති වුවද S.B. බොහෝ විට ඇත්ත ඇති සැටියෙන් කතා කරන්නනෙකි.එහෙත් දැන් දින කිහිපයකට පෙර "අපි සරත් ෆොන්සේකා කරේ තියාගෙන ගොස් දිනවනවා" යැයි කී S.B.ට එක පාරම මහින්ද අයියා ළඟට එන්න වුනේ ඇයි?
"අලියා" ලකුණ හෝ එ.ජා.ප. නම නැතිවීම ගැන මෙච්චර S.B.ගේ හිත රිදුණා ද?එහෙමනම් 1994 ශ්‍රී.ල.නි.ප.ය නොව පොදු පෙරමුණ විය.අත නොව පුටුව විය.අද පුටුවද නැත.පොදු පෙරමුණද නැත.සිරිමාවෝට "අත" ද,චන්ද්‍රිකාට "පුටුව" ද,මහින්දට "බුලත් කොළය" ද විය.එහෙත් ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයා නහයෙන් ඇඬුවේ නැත.කියන පක්ෂෙට,කියන ලකුණට කතිරය ගැසුවේය.ඡන්ද දින්නේය.අදත් ශ්‍රී.ල.නි.ප.යක් නැත.ශ්‍රී.ල.නි.ප.ය නමින් මෙරට කිසි දිනෙක ආණ්ඩු පිහිටුවා නැත.එහෙත් එ.ජා.ප.ය එසේ නොවේ.එහෙත් මේ මොහොතේ විපක්ෂයෙන් මහින්දට තරඟයක් දිය හැක්කෙක් නැත.එබැවින් තරඟයක් දිය හැක්කෙකු ලෙස හඳුනා ගත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකාය.එබැවින් ඔහු දැන් ඉදිරිපත් කර තිබේ.එහෙත් S.B.ට අවශ්‍ය වූයේ කුමක්ද?
තමා පක්ෂයේ නායකත්වය ලබා ගැනීමටත්,ඉන් පසු මේ රටේ ජනාධිපති වීමටත් සිහින දකින බව S.B. මෑතකදී කීවේය.මෙවර රනිල් එන්නේ නැත්නම් තමා මහින්දට එරෙහිව සටන් වදින බවද S.B. කීවේය.අද S.B. ඡන්දයට ඉදිරිපත් වී සිටියේ නම්,මහින්ද අයියාව වේදිකා මත පලු යන්න පතුරු ගසනු ඇත.S.B. අහන්නේ සරත් ෆොන්සේකාට මහින්ද මොන වරද කළාටද කියාය.එහෙනම් S.B. ඡන්දයට ඇවිත් මහින්දට එරෙහි ඡන්දය මෙහෙයවන්නට අවශ්‍ය වන්නේද මහින්ද මොන වරද කළාටදැයි අපි නොදනිමු.සමහරවිට මහින්ද ජනපති වූ විට තමාව එක පෑන් පහරකින් නිදහස් කළ හැකිව තිබුණ ද ,එය නොකළ නිසා විය හැක.
අද මිනිසුන්ට ආදරය කරන යුගයේ මිනිසා හා එක් වීමට S.B. තීරණය කරන්නේ රනිල් ඉන්න තුරු පක්ෂයේ නායකත්වය හිමි නොවන බව දන්නා නිසාත්,තම බලාපොරොත්තු ඉටු කර ගත නොහැකි වන නිසාත්ය.සැබැවින්ම රනිල්ට පක්ෂ නායකත්වයේ සිටීමට අවශය බව පෙනේ.අනෙක් අතට ඔහු ඉවත් කරන්නට කොතරම් කෑගැහුවත් තවම කෘතියාධිකාරී මණ්ඩලයේවත් බහුතරය ලබා ගැනීමට පක්ෂයේ පෙරළිකාරීන් අසමත් වී තිබේ.රනිල් කියන්නේ පාක්ෂිකයින් තාමත් තමන්ට යන්න කියා නැති බවයි.එහි සත්‍යය අසත්‍යයතාවය දැක ගත හැකි වන්නේ පක්ෂ මහා සම්මේලනයකදී "රනිල් ඕනෙද?එපාද?" කියා පාක්ෂිකයන්ගෙන් ඇසීමෙන්ම පමණි.
කෙසේ වෙතත් මැරෙනකම් එ.ජා.ප.යේ ඉන්න බවට පුරසාරම් දෙඩූ S.B.ට අන්තිමේදී මහින්ද මහත්තයා ළඟට යන්නම විය.එහි ගොස් ඔහු කරන ප්‍රකාශ සැලකිල්ලට ගන්නා විට දැන් කරුණු කිහිපයක් ගම්‍ය වේ.
අද බොහෝ මහින්දවාදීන් පවසන්නේ විපක්ෂය යනු දේශද්‍රෝහීන් බවයි.කරුණා අම්මාන්,පිල්ලෙයාන් ගැන ඇසූ විට ,කරුණාලා,පිල්ලෙයාන්ලා දැන් බෙදුම්වාදය හා කොටි ප්‍රතික්ෂේප කරන බැවින් ප්‍රශ්නයක් නැතැයි ඔවුහු මේ බ්ලොග් අඩවි හරහා ද කියෙව්වෝය.දැන් මම දේශප්‍රේමීන්ගෙන් ප්‍රශ්නයක් අසමි.එනම් S.B. ඊයේ සිට ඔබට "දේශප්‍රේමියෙක්" ද?මෙතෙක් තිබූ අර්ථකතනවලට අනුව නම් ඔහු දේශප්‍රේමියෙකු විය නොහැක.මන්ද ඔහු සටන් විරාම ගිවිසුම කිසිසේත් දේශද්‍රෝහී හෝ ජාතිද්‍රෝහී ක්‍රියාවක් ලෙස තමා නොසලකන බව කීවේය.එනම් රනිල් කොටි සමඟ අත්සන් කළ ගිවිසුම දේශද්‍රෝහී නොවන්නකි.එසේ පිළිගන්නා S.B. අද රජය සමඟ ය.දැන් දේශද්‍රෝහී වන්නේ රජය ද?S.B. ද? රජයේ හා මහින්දවාදීන්ගේ අර්ථකතනය අනුව නම් S.B. දේශද්‍රෝහියෙකු විය යුතු අතර,විපක්ෂයේ අර්ථකතනය අනුව නම් S.B. දේශප්‍රේමියෙකු වේ.විපක්ෂය කියන්නේ රාජපක්ෂවරුන්ට එක්වීම දේශප්‍රේමය බවයි.S.B.ගේම වචන අනුව විපක්ෂ අර්ථකතනයට අනුව S.B. දේශප්‍රේමියෙකු වෙයි.ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ඔබේ බලාපොරොත්තුව රටේ නායකයා වීම දැයි දිසානායක මහතාගෙන් විමසූ විට ඔහු බොක්කෙන්ම තම හදවතේ ඇති පිළිතුර දුන්නේය :"නැහැ.රාජපක්ෂවරුන්ට සේවය කිරීම මගේ එකම බලාපොරොත්තුවයි".(http://epaper.lankadeepa.lk/index.php?option=com_flippingbook&view=book&id=621).ඔහු පැවසුවේ රටට සේවය කිරීම තමාගේ එකම බලාපොරොත්තුව කියා නොව රාජපක්ෂවරුන්ට සේවය කිරීම එකම බලාපොරොත්තුව බවයි.දැන් කාරණය පැහැදිලිවේ.ඉල්ලන ඕනෙම දෙයක් අරගෙන එල්ලීගෙන ගොස් රාජපක්ෂවරුන්ට සේවට කිරීමට S.B. සූදානම්ය.හැබැයි ඔහු පවසන්නේ තමා මේ කරන්නේ එ.ජා.ප. පාක්ෂිකයන් ආරක්ෂා කිරීම බවයි.එය සිදුවන්නේ කොහොමදැයි මට නම් නොතේරේ.එහෙත් එතුමා පරිණත දේශපාලඥයෙකු වන බැවින් එහෙම ක්‍රමයක් අපි නොදන්නවාට එතුමා දන්නවා ඇත.කෙසේ වුවද මේ සංක්‍රමණයෙන් යළිත් පහත සමීකරණය ඔප්පු කර පෙන්වීමට S.B. මහත්තයාටද හැකි විය.

දේශප්‍රේමීන් = රාජපක්ෂ ගැති/රාජපක්ෂට සේවය කිරීම
දේශද්‍රෝහීන් = රාජපක්ෂ ගැති නොවූ/රාජපක්ෂට එරෙහිවීම

ඡන්දෙ කාලෙට අප සොයා එන විජාතික කුමන්ත්‍රණ

2010 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ විජාතික බලවේග,අධිරාජ්‍යවාදී ක්‍රමන්ත්‍රණ වැනි වචන ඇති විමල් වීරවංශගේ හා පැරණි ජ.වි.පෙ. ශබ්දකෝෂයේ පිටු යළිත් පෙරළෙමින් තිබේ.මෙය ඡන්දයක් ළංවෙන හැම විටකම ඇති වන්නකි.මේ අනුව විජාතිකයන් හා අනෙක් රටවල සිටින්නන් බලා සිටින්නේ ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ කොයි මොහොතේද කියාය.ඒ තමාට කුමන්ත්‍රණය කිරීම සඳහාය.ඒ අනුව මෙවරත් ඔවුන් කුමන්ත්‍රණය කරයි.
මේ කථාව හොඳින්ම ජනතාවට ඒත්තු ගන්වන්නට සමත්කම් දක්වන්නේ ජ.වි.පෙ.ය.ජ.වි.පෙ.ට අනුව එ.ජා.ප.ය බලයට ගෙන ඒම සඳහා කරන ඕනෑම ක්‍රියාවක් කුමන්ත්‍රණයකි.එහෙත් අද ජ.වි.පෙ. හා එ.ජා.ප.ය එක් අපේක්ෂකයෙකු වටා ගොනු වීම නිසා කුමන්ත්‍රණ කතාව කියා ගන්නට ජ.වි.පෙ.ට බැරිය.ඒත් මේක හොඳින්ම කරන්නට ජ.වි.පෙ. විශේෂ පුහුණුව ලත් විමල් මැතිතුමා වෙලාවට අද සිටින්නේ ආණ්ඩුව සමඟය.නැත්නම් ආණ්ඩුව අනාථය.
2004 මැතිවරණයකට යාමට පාර කපා ගන්නට එදා හැකි වූයේද ජ.වි.පෙ. නිසාය.එහෙම නැත්නම් පැවති රජයට එරෙහිව ඇඟිල්ලක් දිඟු කරගෙන කියන්නට තරම් දෙයක් එදා මහින්ද මහත්තයාලට තිබුණේ නැත.ජ.වි.පෙ. ඒ මොහොතේ පෙරට විත් එ.ජා.ප.ය වටා ඇති කුමන්ත්‍රණයක් ගැන කීවේය.අලි-කොටි ගිවිසුමක් ගැන කීවේය.කියන්න දෙයක් නැතිව හිටිය පොදු පෙරමුණු මන්තිරියොද අලි-කොටි එකට දමා ගෙන ඔහේ කෑ ගැසුවෝය.දේශපාලන වේදිකාවේදී හා රූපවාහිනී සංවාදවලදීද,ජ.වි.පෙ. මෙය ජනතාවට වඩා ප්‍රත්‍යක්ෂ කරනු පිණිස විවිධ කරුණු කියා පෑවද එසේ කියන්නට තරම් දෙයක් පො.එ.පෙ.ට නොවීය.2004 ඡන්දයෙන් දිනූ පසු ස්වර්ණවාහිනියේ පැවැති "කිණිහිර" සංවාදයට එක්වූ ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයෙකු වූ දි.මු.ජයරත්න මහතාගෙන් වැඩසටහන මෙහෙය වූ ශාන් නිවේදක ශිල්පියා ඇසුවේ මේ ඔබ කියන අලි-කොටි ගිවිසුම කුමක්ද කියාය.ඔහු ගත් කටටම පහසු උත්තරයක් දුන්නේය."එහෙම එකක් නෑ.ඒවා ඉතිං ඡන්දෙ කාලෙට කියන කතානේ" කියා කීවේය.එම සාකච්ඡාවට සහභාගිව සිටි විමල් වීරවංශ මහතාගෙන් එවිට නිවේදකයා විමසා සිටියේ:ඔබත් මේවා කියන්නේ ඡන්ද කාලෙට විතරක්ද කියාය.එවිට වීරවංශ මන්ත්‍රීවරයා අප නොදන්නා ව්‍යක්ත වචන හරඹයන් දමා අප එවැන්නක් කීවේ මේ මේ හේතු නිසා යැයි කියමින් තම චෝදනාව සාධාරණීකරණය කර ගත්තේය.
නැවත 2005 දීද රනිල්ට පලු යන්නට බැන්න ජ.වි.පෙ. ඇතුලු සන්ධානය මහින්දව දිනවිය.ඒත් එච්චර කරද්දීත් රනිල්ට ලක්ෂ 47ක් ජනතාව ඡන්දය දී තිබුණි.එසේ වුවත් කුමන්ත්‍රණ කතාව එදාත් නැගලා ගියේය.
දැන් ආයෙත් සුපුරුදු කතාව කරළියට ඇවිත් තිබේ.ෆොන්සේකා පිටුපස සිටින්නේ විජාතික කුමන්ත්‍රණකරුවන්.ඒ ආණ්ඩුව ජ.වි.පෙ.න් ඉගෙන ගත් සුපුරුදු සෙල්ලමට අනුව කියන කතාවය.එහෙත් එවැනි දෙයක් කියන්නට යද්දී වීරවංශ වැන්නෙකු සමඟ නොයාමේ වරදින් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහා ඇන ගත්තේය.මොනවද ඔය කියන විජාතික බලවේග හා කුමන්ත්‍රණ යනුවෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් ඇසීය.සිරිසේන අමාත්‍යවරයා දත් විලිස්සා සිනාසුණේය.ඉන්පසු තටම තටමා කීවේ "ඡන්දෙ කාලෙට ඉතිං මෙවැනි කුමන්ත්‍රණ එනවා.ඒවා නම් වශයෙන් සඳහන් කළ යුතු නෑ" කියාය.
ඇත්තමට මේවා එන්නේ ඡන්ද කාලෙටය.මේ ඡන්දයෙන් පසුව හෝ ඒවා හඳුනා ගත්තොත් ඊ ළඟ ඡන්දේදී කුමන්ත්‍රණකරුවන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකිය.

Monday, December 7, 2009

තුහ් ! නොදකින් ජන මාධ්‍ය

මාධ්‍යයක් යනු යම් තැනකින් තවත් තැනකට යමක් ගෙනයෑමට ඉවහල් වෙන්නකි.මෙහිදී අපි ජන මාධ්‍ය හඳුනා ගන්නේ එය ජනතාව අතරට තොරතුරු හා දත්ත ළඟා කරවීම සඳහා යොදාගන්නා වූ මෙවලමක් ලෙසය.වෙහෙසට පත්ව සිටින ජන මනස සිහිලින් නිවා දමන්නටත්,ඈලි මෑලි වී සර්ව අසුභවාදයේ ගැලී සිටින්නන් පුබුදුවා කෙලින් සිටුවන්නටත්,භාවනායෝගීව සිටින්නෙකු වුවද නිද්‍රාවෙන් මුදා ආවේගශීලී කරන්නට මෙන්ම අවශ්‍ය නම් ජන මනස විකෘති කරන්නට තරම් ද වූ බලයක් ජනමාධ්‍ය සතුය.එය ලිඛිත,ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය කියා වෙනසක් නොමැත."කඩුවට වඩා පෑන බලවත්" යැයි පැරැන්නෝ කීවේද කට කහනවාට නොවේය.
එබැවින් ජන මාධ්‍යයේ භාවිතාව පිළිබඳ එය මෙහෙයවන්නන් අතිශයින් ප්‍රවේශම් විය යුතුය.විවිධ සංස්කෘතීන්වල එල්බගත් අපේ සංස්කෘතියට හානිකර වැඩසටහන් ප්‍රචාරය,කාමය රාගය අවුළුවන රූප රාමු හා විවිධ වැඩසටහන් ගැන සමාජයේ කතිකාවන් නිර්මාණය වන්නේත් මේ නිසාය.එහෙත් වර්තමානය වන විට ජන මනස දේශපාලනික වශයෙන්ද විකෘති කරන්නට තරම් ජන මාධ්‍ය ප්‍රචණ්ඩකාරී වී තිබේ.මිනිසා ලිංගික හා දේශපාලන සත්වයෙකු බව අප අසා ඇත.එබැවින් ජන මාධ්‍යයන්ද වැඩි පුරම මිනිසාගේ මනස ආක්‍රමණය කරන්නේ ලිංගික හා දේශපාලනික වශයෙන් බව දැකිය හැකිය.මේ දෙකේදීම ජනමාධ්‍ය වගකිව යුත්තන් ලෙස හැසිරෙන්නට කටයුතු නොකළහොත් එහි ප්‍රතිවිපාකයන් ඛේදනීය වේ.මන්ද දේශපාලනික වශයෙන් මහ ජනයා මං මුළා වුවහොත් එය රටක ඉදිරි ගමන තීරණය කිරිමේ දී ඡන්ද දායකයා නොමඟ යැවිය හැකි බැවිනි.
ශ්‍රී ලංකාවේ අප දන්නා කාලයේ සිට රාජ්‍ය මාධ්‍ය භාවිතාව නිරන්තරයෙන් පවතින රජයට පක්ෂපාතී විය.ප්‍රේමදාස ජනපතිතුමාගේ කාලයේ එය "One Man-show" ලෙසත් ,චන්ද්‍රිකා මැතිණියගේ කාලය තුළ එය "One woman-Show" ලෙසත් හඳුනා ගත්තේ මේ නිසාය.එහෙත් වර්තමානයේ රජයේ ජනමාධ්‍ය මින් බොහෝ එහා ගොස් ඇති බවක් පෙනේ.එය දැන් වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම "One family-Show" වී ඇත.
උදෑසන හඩ්සන් ගේ මහා දේශපාලන විචාරය ඇසීමේදී ගුවන් විදුලි‍ය නිපදවූ එල්මෝ මාර්කෝනීගේද දෙමව්පියන් සිහි කරවන්න තරම් එය අගනේය."ස්වාධීන" යන වචනයේ තේරුම හෝ නොදත් රූපවාහිනී නාලිකාව විසින් කරන පුවත් විකාශය සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව ගෙවන්න ගෙනා ටී.වී. එකද පොළොවේ ගසන්නට හිතෙන තරම් ආවේගයෙන් ප්‍රේක්ෂකයා පුරවන්නට සමත්ය.(එක් දේශපාලන පක්ෂයකට ගිලී අන්ධ වී එහි කිමිදෙන්නන්ට මෙය බලපාන්නේ නැත).රජයේ මුද්‍රිත මාධ්‍ය ගැනද වෙනම කතා කළ යුතු නැත.එහෙත් තවමත් බොහෝ ප්‍රදේශවල(ගම්බද ප්‍රදේශවල) ජනයාට දෘෂ්‍ය මාධ්‍ය ලෙස සුසර කර ගත හැකිවන්නේ රජයේ නාලිකා පමණි.එබැවින් මෙය ජන මනස තුළ අසංතුලිත දේශපාලනික චින්තනයක් ඔබ්බවන්නකි.පෙර සිටි ජනපතිවරුන් මෙන්ම වත්මන් ජනපතිවරයාවද උදේ සිට රෑ වන තුරු පෙන්වීම හෝ එතුමාගේ ගුණ උදේ සිට රෑ වන තුරු වැයීම ද ගැටළුවක් නොවේ.ප්‍රශ්නය වන්නේ ඉතා අසික්ඛිත හා පහත් වූත්,පිළිකුළ් සහගත වූත් ලෙස විපක්ෂ දේශපාලකයින්ට හා පක්ෂවලට මඩ ගැසීමයි.තමා කළ දේ ජනතාවට කියන්නට මේ මාධ්‍ය යොදාගැනීම සුභවාදීය.එහෙත් තම දේශපාලනික විරුද්ධවාදීන්ට එරෙහිව කඩු මුගුරු ඔසවන්න හිතෙන තරම් වෛරයක් වපුරවන්නට රජයේ මාධ්‍ය ක්‍රියා කිරීම අතිශයින් පිළිකුල් සහගතය.විපක්ෂ අපේක්ෂකයාගේ පළමු මාධ්‍ය හමුව ආවරණය කරන්නට රාජ්‍ය මාධ්‍ය පැමිණ තිබුණි.ඒ ඔහුගේ හොඳට නොවේ.මුළු කතාවම අසා සිට එහි වාක්‍යයක ව්‍යාකරණ දොෂයක් හෝ හොයා ගන්නටය.එසේ හොයා ගන්නා දෝෂ රජයේ රූපවාහිනී මාධ්‍ය නාලිකාවල සිරස්තල බවට පත්වේ.ඉන් අනතුරුව ඒවා ගැන විද්වතුන්(විමල් වීරවංශ,මහා චක්‍රවර්තී මේධානන්ද හිමි වැනි) දැරූ අදහස් මී ළඟ සිරස්තල බවට පත්වේ.එවැනි අවස්ථාවල ජනපතිතුමගේ පුවතකට හෝ කාලය සොයා ගත නොහැකි තරම් පුවත් මැවේ.මෙය අතිශයින්ම තුච්ඡ,පිළිකුල්,පහත් හා නින්දිත මාධ්‍ය භාවිතයකි.
අප විශ්ව විද්‍යලයේ සිටින කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීත්වය විවේචනය කළෙමු.ඒ පිටුපස ජ.වි.පෙ. සිටින බව ප්‍රසිද්ධ රහසක් වූ අතර,මේ සඳහා අප පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලට රාජ්‍ය මාධ්‍ය නොපැමිණියේය.ඔවුන් සිතුවේ අප එ.ජා.ප. යට සම්බන්ධ ශිෂ්‍ය සංගමයක් කියාය.එහෙත් එක් මාධ්‍ය හමුවකදී ඇමතිවරයෙකුට දුරකතනයෙන් කතා කර,මෙය එ.ජා.ප. ශිෂ්‍ය සංගමයක් නොවන බවත්,ජ.වි.පෙ. අන්තරය පිටුපස සිටිමින් කරන ක්‍රියාවලිය ගැන අප අදහස් දැක්වීමට යන බව කියා සිටි සැණින් ස්වාධීන රූපවාහිනියේ හා ජාතික රූපවාහිනියේ වාර්තා කණ්ඩායම් අප මාධ්‍ය හමුවට ළඟා වූයේ ෆැක්ස් හෝ ලිපි පවා නොමැතිවය.එදා ජ.වි.පෙ. නම සඳහන් කොට කතා කළ කොටස් පුවත් විකාශයේ මුල්ම ශීර්ෂපාඨය විය.එබැවින් මේ පහත් මෙහෙය වීම අතිශයින් ජන මනසට හානි කර බැව් කිව යුතුය.සජීවී වැඩසටහන්වලදී ප්‍රශ්න අසන්නන්ට විවෘත දුරකථනයද ලැබෙන්නේ රාජපක්ෂ පවුලට ප්‍රශස්ති ගී ගයන්නන්ට පමණි.
පෞද්ගලික මාධ්‍ය අතරින් ගත් විට,සිරස විපක්ෂයේ පුවත්වලට තරමක් වැඩි ඉඩකඩක් ලබා දෙන බැව් පෙනී යයි.එහෙත් සිරස රජයේ මාධ්‍ය තරම්ම පහත් තත්වයට තවමත් වැටී ඇතැයි කිව නොහැක.(එහෙත් යුද්ධය පැවති කාලය තුළ කටයුතු කළ ආකාරය අනුමත නොකරමි).ඔවුන් ජනපතිවරයාට මඩ ගසන ආකාරයේ කිසිදු පුවතක් පල නොකරන අතර,එතුමාගේ කතාවන් හා එතුමා සහභාගී වන අවස්ථාද පුවත් විකාශයෙන් තවමත් බැහැර කොට නැත.ඉඳ හිට මර්වින් ආචාර්යතුමාට ඔච්චම් කිරීම සාධාරණයැයි නොකියමි.ඊයේ පුවත් විකාශයෙන්ද බන්දුල ඇමතිවරයා සිරස විවේචනය කළ කොටසක් ප්‍රචාරය කර,ඉන් අනතුරුව හිනාවෙන හඬක් ඇසෙන්නට සැලැස්විණි.එවැනි දෑද බාළ බොළඳ මාධය භාවිතයකි.කෙසේ වුවද ඉහත කී මේ කුමන ආකාරයේ හෝ මාධ්‍ය භාවිතයක් රටකට උචිත නොවේ.මාධ්‍ය නිදහස ගැන කෙතරම් කතා කළද,මෙලෙසින් සිදුවන නින්දිත මාධ්‍ය භාවිතය ගැන කතා නොකිරීම අර්ථශුන්‍ය වේ.මෙය වෙනස් විය යුතුමය.එහෙත් ජනපතිවරණයට ආසන්නවෙත්ම මෙය තව දුරටත් බලා සිටින්නට බැරි වනු විනා මෙය නිවැරදි වනු ඇතැයි නම් බලාපොරොත්තු තියා ගත නොහැක.එවිට කළ හැක්කේ "අනේ ,තුහ් නොදකින්" කියා අහක බලා ගැනීම පමණය.

Monday, November 30, 2009

සිංහලයාගේ මතකය-අලි+කොටි ගිවිසුම හා ෆොන්සේකාගේ ‍තෝරාගැනීම

මේ රටේ සිංහලයින්ට යමක් මතක තිබෙන්නේ සති දෙකක් පමණ යැයි කීවේ මෙරට බිහි වූ අමානුෂිකමවූත්,කෲරවූත්,ම්ලේච්ඡවූත් ත්‍රස්තවාදී නායකයාය.අද එම ත්‍රස්තයා ජීවතුන් අතර නැතත්,එම ප්‍රකාශය සත්‍යයක් බව යළි යළිත් මේ ලක් පොළොව මතම තහවුරු වෙමින් තිබේ.එම ප්‍රකාශය කළ ත්‍රස්තවාදී නායකයා යළි කිසිදු ප්‍රකාශයක් නොකරන්නට වග බලා ගත් හමුදා සෙන්පතියාව මේ රජයට අමතකව ගිය ආකාරය මෑතම උදාහරණය වුවද රාජපක්ෂ මහාතාගේ පදවි ප්‍රාප්තිය හා ඊට ප්‍රථම සිදුවූ බොහෝ දෑද ඇතැමුන්ට අමතක වී ඇති සෙයක් පෙනේ.
අද සරත් ෆොන්සේකා මහතා එ.ජා.ප.යේ හා ජ.වි.පෙ. සහයෝගය සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට ඔහුට එරෙහිව නැඟෙන ප්‍රධාන චෝදනාවලින් පෙනී යන්නේද බොහෝ දෙනෙකුට බොහෝ දේ අමතකවී ඇති බවකි.එහෙත් රදපස යුගය මෙරට ජනයාට අමතක නොවී තබා ගන්නට ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛ මාධ්‍ය ඉටු කරන කාර්යය කෙතරම්ද යන්න පැහැදිලි වන්නේද අනෙක් සියල්ල අමතකව ගියද රාජපක්ෂ සමාගම මතක හිට්ටවන්නට එම මාධ්‍ය සමත් නිසාය.
එ.ජා.ප.යේ 17 වසරක පාලනය නිමා කරලීමට මේ රටේ ජනයා තීරණයක් ගනු ලැබුවේ 1994 දීය.ඒ චන්ද්‍රිකා මැතිණියගෙන් ලද සුන්දර බලාපොරොත්තු සමුදායද හද පුරවා ගෙනය.මෙරට පැවැත්වූ ජනාධිපතිවරණ අතර ඉහළම ප්‍රතිශතයකින් ඇය ජයගත්තේ වාර්තාගත ලෙසය.එතුමිය රට භාරගන්නා විට එ.ජා.ප.ය කොටි ත්‍රස්තාවාදීන්ට එරෙහිව යුද්ධ කරමින් සිටියේය.ඩී.බී.විජේතුංග ජනාධිපතිවරයා සේනාධිනායකයා වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන්ද එම යුධ ක්‍රියාදාමයන් මෙහෙයවමින් සිටියෝය.
එහෙත් චන්ද්‍රිකා මැතිණිය සැමට සාමය පොරොන්දු විය.ඇය "සුදු නෙළුම" පුබුදුවන්නට විය."තවලම" රට වටා ගෙනයන්නට විය.සුදු පරෙවියන් නිල් අහසේ ඉගිළී යන රූප රැගත් ගීත රූපවාහිනියේ නිතර දැක ගත හැකි විය.එහෙත් මේ කිසිවක් මේ රටට සාමය ගෙන ආවේ නැත.එ.ජා.ප. රජය සිය පාලනයේ තබා ගෙන පොදු පෙරමුණු ආණ්ඩුවට භාර දුන් මුලතිව්,පුනරීන්,අලිමංකඩ වැනි කඳවුරු යළි කොටියාට නතු විය.බෝම්බය රට ඇතුලටම පැමිනුණේය.රට බෝම්බ භීතියෙන් ඇළලෙද්දී විදෙස් ආයොජකයින් ශ්‍රී ලංකාව හැර ගියහ.ආධාර නැති විය.යුධ ආධාර පවා ලබා දීම ප්‍රතික්ෂේප කෙරුණි.රට අරාජික විය.භාණ්ඩාගාරය හිස් වී ගියේය.ආර්ථිකය ඉතිහාසයේ මුල්වරට ඍණ අගයකට ඇද වැටුණි.

වසර 6කින් පොදු පෙරමුණු රජය ජනතාවට තිත්ත විය.චන්ද්‍රිකා රජය අසරණ විය.ඇය යළිත් සාම ගිවිසුමකට සැරසුණේය.දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා අදාළ ගිවිසුම පිළියෙළ කර තිබුණි.එහෙත් එයට අත්සන් තබන්නට පෙර පොදු පෙරමුණු රජය ජනතාව විසින් බලයෙන් පහ කරනු ලැබිණි.ඉන් පසු බලයට පැමිණි වික්‍රමසිංහ මහතා විසින් අදාළ ගිවිසුමම,රජයේ හමුදාවන්ට මුහුදේදී රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට හැකි ලෙස වැකියක්ද ඇතුළත් කොට අත්සන් කිරීමට කටයුතු කළේය.මන්ද බලයට පත්වූ විගස කොටියාට ගහන්නට තියා අප හමුදා සෙබළුන්ට පුහුණු වීම් සඳහා වූ පතරොම්වත් නොතිබුණි.ප්‍රභාකරන් නිරුපද්‍රිතව ජීවතුන් අතර සිටියේය.එහෙත් යුද්ධය මඳකට නැවතුණි.බෝම්බ බිය පහව ගියේය.තැන්තැන්වල ගිවිසුම සුළු වශයෙන් උල්ලංඝනය වුවද සමස්ථයක් ලෙස එය සැබෑ සටන් විරාමයක් බවට පත්ව තිබුණි.එහෙත් කොටියා මීට පෙර සටන් විරාමවලදී මෙන්ම,තම යුධ ශක්තිය වැඩි කර ගනිමින්,ආයුධ හා පිරිස් බලයද තීව්ර කරමින් සිටියේය.එහෙත් යුද්ධයෙන් මඳකට ලැබූ අස්වැසිල්ල තුළ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබුණි.රැකියාවක්වත් දෙන්නට බැරි තැනක රට තිබූ නිසා රැකියා ලබා දීම නවතා තිබුණද, ආර්ථිකය යළි නංවා වසර දෙකක් ගතවන විට රාජ්‍ය සේවකයාට අංක 4ක පඩිවැඩිවීමක් ලබා දීමට කටයුතු කෙරුණි.හිඟන ආර්ථිකය යළි පණ ගන්වා රැකියා දෙන්නට හැකි තත්වයකට රට ඔසවා තැබුවද එහි ප්‍රයෝජනය හා ලකුණු ගන්නට හැකි වූයේ පසුව පත්වූ රජයටයි.(යොවුන් සේනාංකයේ ගිණුමෙන් මුදල් ගෙන අලුත් රජය රැකියා දුන්නේය.)
මේ සියල්ල සිදුවන අතර යුධ භටයාට අවශ්‍ය පතරොමේ සිට අනෙකුත් අවශ්‍යතාවයන් සපුරමින්ද,පුහුණුවීම් වර්ධනය කරමින්ද තිබුණි.ඇමෙරිකාව හා ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුම්වලට අත්සන් තැබීමටද සූදානම් විය.ඇමෙරිකාව මෙරටට යුධ ආධාර නවතා දැමූ තත්වයෙන් මිදී යළි ඒ සඳහා කැමැත්ත පළ කරද්දී,එය සංකේතවත් කිරීමට යුධ නැවක් ද තෑගි ලැබුණි.එයින් ප්‍රයෝජන ගත්තේ ද ලකුණු දා ගත්තේද පසුව පත් වූ රජයයි.
මේ අතර කාලයක් යුද්ධ නොකිරීම හා සාම සාකච්ඡා මේසයට හුරු වීම නිසා ඇතැම් කොටියන්ගේ යුධ මානසිකත්වය ගිලිහෙමින් තිබුණි.ඇතැම් සාමාජිකයින් විවාහවෙමින්ද,සුව සහසු දිවියකට ඇතුල්වීමේ ආකල්පයන් තුළට යමින්ද සිටියහ.මෙකී තත්වයන් හා ප්‍රවණතාවන් මඟින්,ප්‍රභාකරන් නොමැති සාකච්ඡා මේසය උඩ පෙරළිකාර තීරණයක් ගන්නට කරුණා පෙළඹවනු ලැබ සිටියේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර වසා තිබූ භයංකර කොටි බලය ප්‍රභාට අහිමි විය.කරුණා අම්මාන් සමඟ දහස් ගණනක් ප්‍රභා-විරෝධීන් බිහිවිය.එයින් ප්‍රභාට තම දකුණු අත අහිමි වූවක් පමණක් නොව එතෙක් කොටි හමුදාවට වැඩිම පිරිස් බඳවා ගනු ලැබුයේ නැගෙනහිරින් බැවින් සෙබළ බඳවා ගැනීම් දැඩි‍ ලෙස අවහිර විය.එහි ප්‍රතිඵලයක් වූයේ කිසිදු සදාචාරයකින් හෝ මානුෂිකත්වයකින් තොරව බලහත්කාරයෙන් තම හමුදාව ශක්තිමත් කිරීමට එල්.ටී.ය.ට සිදු වීමයි.මෙමඟින් එල්.ටී.ටී.ය උතුරේ දෙමළ ජනයා අතරේ මහත් ලෙස අප්‍රසාදයට පතවන්නට පටන් ගත් බව මානුෂීය මෙහෙයුමෙන් මිදී ආ පවුල්වල පිරිස් ද පසුව කියා තිබුණි.එතෙක් ප්‍රභාකරන් ගැන මොනයම් හෝ පැහැදීමක සිටියවුන්ද ප්‍රභාගේ තරම තේරුම් ගන්නට විය.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී රනිල් රජය මහ මැතිවරණයෙන් පසු පැවති පලාත් පාලන මැතිවරණයේදී විශිෂිට ජයක් ලැබීය.පළාත් පාලන ආයතන 248 කින් පොදු පෙරමුණට ජය ගත හැකිවූයේ 5ක් හා ජ.වි.පෙ. ට තිස්සමහාරාම පමණි.එවකට තිබූ පාලනය ජනතාව විසින් අනුමත කරනු ලැබුවේ අත්තනගල්ලෙන්ද බණ්ඩාරනායකවරු පරාජය කරමින් මෙන්ම ,හම්බන්තොටදී එ.ජා.ප.ය ට 88%ක් හා රාජපක්ෂවරුන්ගේ පොදු පෙරමුණට 7%ක් ලබා දෙමිනි.අද මහින්දගේ යුද්ධයට ජනතාව ඡන්දය දුන්නාටත් වඩා ඉහළින් එදා රනිල්ගේ සාමයට ජනතාව ඡන්දය දුන්නේය.ජනතාව වැඩි පඩි ඉල්ලා වීදියට බැස්සේ නැත.අහස උසට බඩු මිල වැඩි වුණා යැයි කීවේ නැත.සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදවලින් පිරුණේ නැත.ප්‍රශ්න පත්‍ර,රටේම ප්‍රශ්න බවට පත්ව තිබුණේ නැත.රජයට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහිමිව තිබුණේ ද නැත.(වෙනත් පක්ෂ කඩා එක්කර ගැනීම් නොකළද).ජනපතිනිය විසින් හදිසියේම අමාත්‍යාංශ 3ක් පැහැර ගන්නා ලදී.එහෙත් එතුමියගේ වැය ශීර්ෂ අනුමත කරන්නට තරම් විපක්ෂය කාරුණික විය.මේවාට එරෙහි වන්නට අද ආණ්ඩුවේ සිටින රාජිත මහත්තයාලට ඕනෑ වුවද රනිල් මහත්යාගේ ‍දේශපාලන සහජීවනය නිසාත්,සීමා ඉක්මවන ඉවසීම(ලංකාවේ දේශපාලනයට නොගැළපෙන) නිසාත් අද රනිල් විපක්ෂයේ තබා රාජිතට ඇමති වන්නට හැකි විය. විමල් වීරවංශලාගේ ජ.වි.ප. ය හා එල්ලෙන්නට වැල් නැතුව සිටි මහින්ද මහත්තයාලට අවස්ථාවක් දෙමින් චන්ද්‍රිකා මැතිණිය බහුතරය තිබූ, ජනතාව විසින් අනුමත කර තිබූ රජය විසිරුවන ලද්දේය.එයට හේතු ලෙස දැක්වූයේ රාජ්‍ය ආරක්ෂාවට තරජනයක් ඇති බව කියමිනි.එහෙත් රාජ්‍ය ආරක්ෂාවට වැඩිම තර්ජනය තිබුණේ 2000වන විට බව බොහෝ අයට අමතකව ගොස් තිබුණි.අලි-කොටි ගිවිසුම නමින් ජ.වි.පෙ. ගෙනා සංකල්පයේම පොදු පෙරමුණත් එල්බ ගත්තේය.ඒත් ඒ මොකක්ද කියාවත් කියා ගන්නට පොදුපෙරමුණු මන්ත්‍රීවරු නොදත්හ.ජ.වි.පෙ. එවැන්නක් කියන නිසා ඔවුන් ද අලි-කොටි එකට දමා කීවේය.එහෙත් එවැන්නක් ඔප්පු කළ හැකි කිසිවක් පොදු රෙමුණට තිබු‍ණේ නැත.එය වඩා හොඳින් පැහැදිලි කිරීමට ශ්‍රී.ල.නි.ප.යේ අති ප්‍රබලයෙකු වන දි.මු.ජයරත්න මහතා 2004 මැතිවරණය ජය ගැනීමෙන් පසු ස්වර්ණවාහිණියේ "කිණිහිර" සාකච්ඡාවේදී කළ ප්‍රකාශයක් සෑහේ.එය මෙහෙය වූ ශාන් විජේතුංග නිවේදක ශිල්පියා ඇසුවේ අලි-කොටි ගිවිසුම ගැනයි.එවිට දි.මු.ජයරත්න මහතා එක් වනම කීවේ,එවැන්නක් නැති බවත්,එය ඡන්ද කාලෙට කියන කතාවක් පමණක් බවත්ය.එහෙත් ඒ වන විටත් ඡන්ද දායකයා අලි-කොටි ගිවිසුමට එරෙහිව ඡන්දය පාවිච්චි කර තිබුණේය.
ඉන් අනතුරුව පැවති පළාත් සභා ඡන්දයෙන්ද සන්ධානය පහසුවෙන් ජය ගත්තේය.එහිදී එ.ජා.ප.ය මුළු මැතිවරණයෙන්ම ලබා ගෙන තිබුණේ ඡන්ද ලක්ෂ 22ක් විය.රනිල්=ප්‍රභාකරන් ලෙස ජ.වි.පෙ. හා රනිල් විරෝධීන් සමීකරණ තුලිත කර තිබියදීත්,මහින්ද වටා බොහෝ පක්ෂ පේළි සැදෙද්දීත් ජනයා පෙරට විත් රනිල්ට ද ඡන්දය දෙන්නට විය.එබැවින් ලක්ෂ 22 තිබූ ඡන්ද ගොඩට තවත් පක්ෂ 25ක්ම එක්කරගනිමින් රනිල් 47 ලක්ෂයක ඡන්ද ගොන්නක් ලබා ගත්තද,තමාට උණ්ඩයට කළ හානියට වඩා,සාමයේ නාමයෙන් වින කළ බැවින් රනිල් යළි රජ නොවිය යුතුයැයි තීරණය කරනු ලැබුවේ ප්‍රභාකරන්ය.උතුරේ ඡන්ද ලත් තැනම ලොප් විය.මහින්ද 50.29%ක් හෙවත් මෙතෙක් ජනපතිවරණවලදී අවම ප්‍රතිශතය ලැබූ ජනපතිවරයා ලෙස තේරී පත්විය.රනිල් යුගය එසේ නිමා විය.

මහින්ද පාලන සමය ඇරඹිණි.රට හදන්නට මහින්ද අනිත් අයට එන්න කීවේය.රනිල් ගියේය.දෙදෙනා අතර රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකඟතාවයකට අත්සන් තැබුණි.එය ශ්‍රී ලංකාවාසීන් මහත් ප්‍රමෝදයට පත් කළ ආරංචියක් විය.පත්තරවල මුල් පිටු මහින්ද-රනිල් ඡායාරූපවලින් සැරසුණි.කතුවැකි ඒ වෙනුවෙන් ප්‍රශංසා ගී ගැයූහ.මහනාහිමිවරඅ අලුත් යුගයක ඇරඹුමට ආසිරි එක් කළහ.කොන්දේසි විරහිතව රාජපක්ෂ රජයේ ඊළඟ අය-වැය අනුමත කරන්නට පවා රනිල් ඓතිහාසික එකඟතාවයකට පැමිණ තිබුණේය.එනම් රටේ විපක්ෂය වශයෙන් රට මුහුණ දී ඇති ප්‍රධානම ප්‍රශ්නයන් විසඳන්නට විපක්ෂය සිය පූර්ණ සහයෝගය රජය වෙත පල කළේය.එහෙත්......සියල්ල වෙනස් වූයේ අද වා‍ගේමය.සාම ගිවිසුමෙන් රනිල් රටේ පොදු සතුරා වූ කොටියා දෙකඩ කළද රනිල්-මහින්ද ගිවිසුමෙන් එ.ජා.ප.ය දෙකඩ විය.පසුව ජ.වි.පෙ.ට ද මුස්ලිම් කොංග්‍රසයට ද ඒ ඉරණමම අත් වුණි.මහින්ද මහත්තයාගේ පොදු දේශපාලනික සතුරන් දෙකඩ වී දුර්වලව ගියේය.ප්‍රජාත්‍රන්තවාදය ලෙඩ ඇඳට වැටුණේය.එදායින් පසු විපක්ෂය රජයට එ‍රෙහිව කියන සියල්ල යුධ විරෝධී හා ජාතිද්‍රෝහී,දේශද්‍රෝහී ප්‍රකාශයන් ලෙස හුවා දක්වන ලද්දේය.රනිල් ප්‍රමුඛ විපක්ෂය යුද්ධයට එරෙහි බවත්,කිසිම සහයක් නොදුන් බවත්,කකුළෙන් අදින බවත් පමණක්ම මතුර මතුරා කියන්නට විය.එ.ජා.ප.ය දේශද්‍රෝහීන් විය.
සටන් විරාම ගිවිසුම දවා අළු කරන්නට,පුළුස්සන්නට මැතිවරණ වේදිකාවල කතා කිව්වද,එය එලෙසම ක්‍රියාත්මක විය.(එය දින 14ක දැන්වීමකින් ඕනෑම මෙහොතක අවලංගු කළ හැකිව තිබුණි).ඩිලාන් පෙරේරා මන්ත්‍රීන් යුධ විරෝධී පෙරමුණු හදාගෙන සිටියහ.ජ.වි.පෙ. දිගමට යුද්ධය....යුද්ධය.... කියද්දීත් ජිනීවාවල කොටියා සමඟ සාම කතා පැවැත්විණී.මහින්ද චින්තනයේ කිසිම තැනක යුධ ක්‍රියාදාමයක් ගැන සඳහන්ව නොතිබුණු අතර,යුද්ධයට එක පයින් කැමතිවන්නට මහින්ද මහත්තයාට "ගට්ස්" නොතිබුණි.එහෙත් කොටියා මාවිල්ආරු සොරොව්ව ඇල්ලුවේය.හැමෝම යුද්ධයට අත වැණුවේය.මහින්ද මහත්තයා "හා", කිව්වේය.ශාන්ත කෝට්ටේගොඩ හිටපු හමුදාපතිවරයා තානාපති ධුරයක් දී විශ්‍රාම ගන්වා විශ්‍රාම යන්නට සිටි සරත් ෆොන්සේකා කැඳවන්නට සිදු විය.ඔහුගේ සේවා කාලයද දිඟු කරන ලද්දේය.කරුණා නැති නැගෙනහිර ‍කොටියා අසරණ වෙද්දී,අප හමුදාවෝ පහසුවෙන් ජය කෙහෙළි නැංවූහ.උතුරට ඇඳුණු හමුදා සේනාවන්ට නිදි යහන මත සිතියම් දිග හැරගෙන එළිවන තුරු උපදෙස් දුන් සටන් නායකයා ප්‍රභාගේ ආයුෂ ප්‍රමාණය තීරණය කළේය.යුද්ධය නිමා විය.අවසානයේ විපක්ෂයේ කිසිදු සහයක් නොමැතිව යුද්ධය ජයගත් බව කියවිණි.
තමන්ට සිටින්නේ ලොව හොඳම යුද හමුදාපතිවරයා බව ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්වරයා ද කීවේ මීට හය මාසයකට කලිනි.දැන් මේ සියල්ල අමතක වූවන් රදපස වන්දනාවේ යෙදෙමින් සිටිති.එහෙත් මේවා සියල්ල සරත් ෆොන්සේකා නම් වූ ඒ යුධ විරුවගේ සිහියෙන් තොරවී නැත.එම නිසා එ.ජා.ප.ය හා ජ.වි.පෙ. සමඟ සරත් ෆොන්සේකා එක් වන්නේ මේ සියලු කාරණා මැදය.ඔහු තම අපේක්ෂකත්වය තහවුරු කරමින් පැවසුවේද ඇතැම් සුළු සුළු හා පෞද්ගලික කාරණා නිසා විපක්ෂය හා එක්ව සටනට එක් වීමට බාධාවක් නොවන බවය.ඔහුගේ තේරීම සාධාරණීකරණය වන්නේ අඩුම තරමේ 2005 සිට මේ දක්වා වූ සිදුවීම් පෙළවත් හරි හැටි මතක ඇති ශ්‍රී ලාංකිකයන්ට පමණි.

Thursday, November 26, 2009

මහින්දට ගැළපේ....සරත්ට නොගැළපේ.....

ශ්‍රී ලංකාවේ දේශපාලනය කාලගුණයටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතී.අද තිබෙන්නේ මීට මාස 6කට පමණ පෙර තිබූ දේශපාලන තත්වය නොවේ.යුධ ජයත් සමඟ රජය ශ්‍රීඝ්‍ර ලෙස මැතිවරණ ජය ගනිමින් ඉදිරියට යමින් සිටියේය.එහෙත් දකුණේ ඡන්දය යමක් රජයට නැවතී හිතන්නට බල කළේය.එහෙත් ඒ සියල්ලේදී රජයට කෙසේ වෙතත් මහින්දට අභියෝගයක් ගෙනෙන යමක් පෙන්නුම් කර තිබුණේ නැත.ඒ සියල්ල සති කිහිපයකින් වෙනස් වී තිබේ.තමන්ට තරඟයක් දිය හැකි ප්‍රතිවාදියෙක් විපක්ෂයට නොසිටිද්දී රාජපක්ෂලා විසින්ම අභියෝගයක් කැන්දවා ගත්තේය.මෙතෙක් කල් යුධයේ ජයග්‍රහණය විකුණමින් ලද ජය දෙකඩ කළ හැකි අපේක්ෂකයෙක් තරඟ බිමට පැමිණ තිබේ.මේ ආගමනය රාජපක්ෂ රෙජිමය කෙතරම් සලිත කළේද යත් මෙතෙක් කල් දිය නොහැකි යැයි කී සහන ගලා ගෙන එන්නට විය.හිටි හැටියේම රණවිරු වැටුප් වැඩි විය.එහෙත් රණවිරු ස්මාරක ඉවත් විය.එදා මහරජාණෝය.අද විරුවාණෝය.එදා රටට නායකත්වය දුන් ජනපතිය.අද රට රකින වීරයාය.මේ සියල්ල සිදු වූයේ මාස කිහිපයක් තුළය.
කෙසේ වුවද යුද්ධය හැරෙන්නට දෙයක් නොකළ රාජපක්ෂ රෙජිමයට දැන් අලුතින් හිතන්නට වී තිබේ.අලුත් සටන් පාඨ අවශ්‍යව තිබේ.හදිසියේ මැතිවරණයක් කැඳවූයේ ඇයි යන්නට හේතුවක්වත් කියා ගන්නට බැරි වී තිබේ.මන්ද සැබෑ හේතුව ජනතාවට කිව නොහැකි බැවිනි.එනම්,"මේ යන විදියට ගියොත් 2011 දී මහින්දට දිනන්න බැරි වෙයි කියා බය සිතුනු නිසා" යන්නය.
දැන් රජයට සරත්ට එරෙහිව ඇති සටන් පාඨය කුමක්ද?ඔවුන් කියන්නේ සරත් එකතු වී සිටින්නේ වැරදි පිලට බවයි.මෙහිදී රජයට ජ.වි.පෙ.ට ඇඟිල්ල දිඟු කළ නොහැක.ඒ රජය යුද්‍ධෙට තල්ලු කළේද ජ.වි.පෙ. වන නිසාය.එහෙත් එයට පිළිතුරු දෙන්නට විමල් තබා තිබේ.විමල් කියන්නේ ජ.වි.පෙ. යූ.ඇන්.පී.යට එකතු වෙලා කියාය.ආණ්ඩුව කියන්නේ සරත් යූ.ඇන්.පී.යට එකතු වෙලා කියාය.ආණ්ඩුවේ අලුත්ම ප්‍රචාරණ විධියක් වී ඇත්තේ සරත්ට ගැහීම නොව සරත් වටේ සිටින එවුන්ට ගැසීමය.එතකොට සරත්ටත් වදිනු ඇත.
දැන් ප්‍රශ්නය සරත් එකතු වී සිටින්නේ තමාට නොගැළපෙන පිරිසටද යන්නය.එහෙම නම් සරත් හරි යන්නේ ද නැත.තව විදියකින් කියතොත් දේශද්‍රෝහීන්ට එකතු වූ නිසා සරත් ද දේශද්‍රෝහියෙකි.මීට කලින් මේ රටේ දේශප්‍රේමී-දේශද්‍රෝහී වෙන් කර තිබුණේ වෙන ආකාරයකටය.දැන් බෙදුම් රේඛාව ගහන්නේ අලුත් නිර්වචනයකට අනුවය.රාජපක්ෂ තුන්කට්ටුවට වැඳ නමස්කාර කරන එහෙය්යන් හා එසේ නොකරන අයට පිළිවෙලින් ‍දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් යැයි කියනු ලැබේ.
දැන් සරත්ට නොගැළපෙන්නේ කුමක්ද?යුද්ධයට විරුද්ධව ප්‍රකාශ කළ අය හා සරත් එක් වෙන එක හොඳද?රණවිරුවන් හෑල්ලුවට ලක් කළා යැයි කියවෙන අය හා එක් වීම හරිද?කොහොම වුනත් සරත් එක් වී ඉන්නේ මහජන ඡන්දයෙන් පත්වූ දේශපාලකයින් පිරිසක් සමඟය.ඔවුන් කී දෑ ගැන ප්‍රශ්නයක් තිබෙන බව හැබෑය.ඒත් එතකොට මහින්දට එකතු වූ අය මහින්දට ගැළපෙන්නේ කොහොමද?මහජන ඡන්දයෙන් පහළටම වැටුන ආචාර්ය තුමා රාජපක්ෂ රජයේ ඇමතිවරයෙකි.වසර ගණනක් මෙරට සිවිල් වැසියන් හා භික්ෂුන්ද ඝාතනය කළ ත්‍රස්තවාදී නායකයා ඇමතිතුමෙකි.ඔහු ජාතික ලැයිස්තුවෙන් විත් දැන් ශ්‍රී.ල.නි.ප. උප සභාපතිවරයෙකි.හමුදාවට අවමන් කළ කාලය නිමා කළා යැයි මහින්ද කියන විට,අපේ රණවිරුවෝ අද කරුණා අම්මාන් එන විට එකත් පස හිඳ සැලුට් ගසති.ඒ රණවිරුවන්ට අලුතින්ම ගෙන දුන් අභිමානයයි.
අනෙක් අතට එදා සටන් විරාම ගිවිසුම හදනකොට ඒ ආණ්ඩුවේ ඇමතිකම් කරපු අය,දැන් මේ ආණ්ඩුවෙත් ඇමතිවරුය.එදා රනිල් සටන් විරාමයෙන් කොටියා පූසෙකු කළ බව කී අය,මහින්දට "සුනාමි හොරා" කියපු අය,යුධ විරෝධී පෙරමුණු හදාගෙන පා ගමන් ගිය අය අද ඉන්නේ සාටකේ එල්ලී ගත්ත ගමන්ය.මහින්දට මේ අය ගැළපෙද්දී,සරත්ට අර අය නොගැළපෙන්නේ ඇයි?සරත්ට ගෙදර කියා යන්නට ඉතිරිවී ඇත්තේද යූ.ඇන්.පී. ආණ්ඩුවකින් රණවිරුවන්ට ලැබුණු ඉඩමකටය.සරත්ලාව යුධ අධිකරණයට ගෙනයන්න බැරි වී තිබෙන්නේ 2002 රනිල් යුධාධිකරණ ගිවිසුමට අත්සන් නොකළ නිසාය.ඉතිං දහස් ගණන් මිනිස්සු මරපු කොටියන්ට එකතු වෙනවට වඩා රනිල් හොඳයැයි සරත්ට හිතුනා වෙන්නට පුළුවන.
දැන් ආණ්ඩුව කියන විදියට එයාට අරයලාව ගැළපෙන්නේත්,මෙයාට මෙයාලව නොගැළපෙන්නේත් කොහොම ද?

Tuesday, November 24, 2009

හදිසි ජනාධිපතිවරණයට හේතු දැක්වීම

වසර 2011 වන තුරු ජනපති ලෙස ධූරය දැරිය හැකිව තිබූ වත්මන් ජනපතිවරයා වසර 4ක් නික්මෙන විටම ජනාධිපතිවරණයක් කැඳවා තිබේ.යුද්ධය ජයගත් පසු මහත් ජනාදරයට පත් වූ වත්මන් ජනපතිවරයා හදිසියේම තම ධූර කාලය අඩු කරගනිමින් මෙලෙස ජනාධිපතිවරණයක් කැඳවා තිබෙන්නේ ඇයි?.ඊට හේතු දක්වමින් ජනපතිවරයා සඳහන් කර ඇති කරුණු අතිශයින්ම අතාත්විකය.අතාර්කිකය.ජනපතිවරයා මෙවැනි බොළඳ හේතු දැක්වීමක යෙදෙනු ඇතැයි අපි කිසිවිටෙක බලාපොරොත්තු නොවුනෙමු.
ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ ජනපතිවරණය කැඳවා ඇත්තේ පසු ගිය මැතිවරණවලදී ඡන්දය දෙන්න නොහැකි වූ බොහෝ පිරිසක් වූ ජනතාවට තම ඡන්දය පාවිච්චි කිරීම සඳහා අවස්ථාව ලබා දී ඡන්ද අයිතිය සුරැකීමට බවයි.හදිසියේම තම ධූර කාලයද අඩු කර ගෙන ජනපතිවරයා මේ හදන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමටද?උතුරු නැගෙනහිර ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ විශාල පිරිසකට දැන් ඡන්දය භාවිතා කිරීමට හැකි බැවින් ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට මෙමඟින් හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.ඔහු පවසන ආකාරයට එතුමා බලා ගෙන සිට ඇත්තේ යුද්ධය නිම වූ පසු කොයි මොහොතේ තම වසර 4 සම්පූර්ණ වෙයිද කියාය.මන්ද ඉක්මනින් ජනපතිවරණය පැවැත් විය යුතු නිසාය.(4කට පෙර ඡන්දයට යන්න ව්‍යවස්ථාවෙන් බලය තිබුණේ නම් මීටත් කලින් ඡන්දයට යා හැක.)එහෙත් මෙම තීරණය ගැනීමට ආණ්ඩුව දැක් වූ අපහසුතාවය දෙස බලන විට නම් එය එසේ යැයි සැලකිය නොහැක.අනෙක් කාරණය වන්නේ ඡන්දය දීමට නොහැකි වූ අයට ඡන්දය දීමට ළඟදීම වඩාත් සුදුසු අවස්ථාවක් මහ මැතිවරණය හරහා ලැබෙන්නට තිබෙන නිසා ‍හදිසියේ ඡන්ද අයිතිය සුරැකීමට ජනාධිපතිවරණයකට යා යුතු ද?ඒ වන විට යළි පදිංචි කිරීම්ද මුළුමනින්ම අවසන් වනු ඇත.එවිට සැබැවින්ම සියළුම දෙනාට ඡන්දය පාවිච්චි කළ හැක.ඡන්ද අයිතිය සුරැකිය හැක්කේ හැකි තරම් මැතිවරණ පැවැත්වීමෙන් නොවේ.ඡන්ද දායකයාට සිය අයිතිය නිදහසේ පාවිච්චි කිරීමට අවැසි වට පිටාව සකසා දීමෙන් එය කළ හැකිය.
තව දුරටත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ තමා වසර 6කට පොරොන්දු වූ මහින්ද චින්තනයෙන් 90%ක් වසර 4කදී නිම කළ හැකිවූ බවයි.එසේ නම් එතුමාට තවත් ඉතිරිව ඇත්තේ 10%කි.ඒ සඳහා තවත් වසර දෙකක් එතුමාට ජනතාව ඉතිරි කර තිබියදී එතුමා පවසන්නේ තමා ඉදිරි කටයුතු සඳහා ජනවරමක් ඉල්ලා සිටින බවයි.මෙය මහ බහුභූත කතාවක් නොවේද?ජනතාව රට කරවන්ට වසර 6කට බලය දුන් විට,වසර 4කින් 90%ක් කළ බැවින් ඉතිරි 10% සඳහා ජනවරමක් ඉල්ලා සිටිය යුතු නැත.එතුමා කළ යුතුව තිබුණේ ඉතිරි 10% ඉදිරි වසර දෙකේදී නිම කර,තමා ජනතාවට දුන් සියල්ල ඉටු කළ ජයග්‍රාහී අපේක්ෂකයෙකු ලෙස මී ළඟ ජනාධිපතිවරණයට පැමිණීමයි.හදිසි ජනපතිවරණයකට යෑම ගැන දක්වන හේතු අතාත්විකයැයි මා පවසන්නේ මේ පදනම මතය.
එදා ශ්‍රී.ල.නි.ප. මහ සමුළුවේදී එතුමා පැවසූයේ තමාගෙන් ජනතාව ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නට සූදානම් බවයි.එවිට ජනපතිවරයා මෙසේ ද කීවේය;"තමුන්වහන්සේලාට මොනාද ඕනෙ කියලා කට ඇරලා කියන්නකෝ.....".මා සිතුවේ ජනතාව පඩි වැඩි කරන්න ඉල්ලාවි කියාය.රැකියා ලබා දෙන්න කියා ඉල්ලයි කියලාය.ජීවන වියදම අඩු කරන්න ඉල්ලයි කියාය.එහෙත් ජනතාව ඉල්ලන්නට මත්තෙන් තමා දෙන්නට ඉන්නේ මොනවාද කියා ජනපතිවරයා කීවේය.තමා ජනතාව ඉල්ලන ඕනෑම දෙයක් ලෙස අදහස් කර ඇත්තේ මැතිවරණ බව මටත් පසුවට තේරැම් ගියේය.ජනතාවට තියෙන්නේ මොන මැතිවරණයද කියා තෝරා ගැනීමට පමණය.දැන් ජනතාවට ඕනෑවී ඇත්තේ මැතිවරණ ද?ශ්‍රී.ල.නි.ප. සමුළුව යනු සියලු රට වැස්සන්ගේ කැමැත්ත නියෝජනය කරන අවස්ථාවක්ද?එහි සිටියේ සාම්ප්‍රදායික ශ්‍රී.ල.නි.ල.ප. පාක්ෂිකයින්,නිකං දෙනවනම් මොන බස් එකේ හිරි කොළඹ එන්න සිටි අය,කරටි කැඩෙන්න බී ගෙන වැටෙන්න කැමති අයය.මේ අයට මැතිවරණ අවශ්‍ය වීම යනු රටටම එය අවශ්‍ය බවද?සිරිපාල ඇමතිවරයාට අනුවනම්,බත් කන ජනතාව ඉල්ලන්නේ ජනාධිපතිවරණයකි.ඒ නිසා තමා කැඳවූ හදිසි මැතිවරණය සාධරණීය කිරීමට පුහු හේතු නොදක්වා ජනපතිවරයාට කීමට තිබුණේ, "බත් කන ජනතාව එක හඬින් ජනාධිපතිවරණයක් ඉල්ලූ නිසා මම ජනාධිපතිවරණයක් කැඳවූයෙමි" කියාය.එය වඩා සාධාරණ හේතුවක් වීමට ඉඩ තිබුණි.

Friday, November 20, 2009

කිතුණුවනි අවදිවව් ! කිතු සසුන රැක ගනිව් !

යාඥාවෙන් සුවවෙන්නට ගොස් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය සිදු වීම ගැන සමාජයේ නිර්මාණය වූ කතිකාව තවම නිමවී නොමැත.ඒ පිළිබඳ කරුණු බයිබලය හා ක්‍රිස්තුස් වහන්සේගේ වචන ඇසුරින් විග්‍රහ කරමින් මා මීට පෙර මෙම බ්ලොග් අඩවියෙන්ම ලිපියක් ඉදිරිපත් කළෙමි.එමඟින් මා පෙන්වා දුන්නේ රෝගීන් උදෙසා යාඥා කිරීම හෝ සුභාරංචිය ප්‍රකාශ කිරීම බයිබලට එකඟ බවත්,එය ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමට කිසි ලෙසකින්වත් පරස්පර නොවන බවත්ය.(මතෙව් 10:8 හා මාර්ක් 16:17 හා 18 පද)කරුණා කාරණා එසේ නම්,මෙයින් වඩා අසරණභාවයට පත් වන්නේ කිතුණුවන් ය.සමාජයම මේ අයට විරුද්ධ වෙද්දී කිතුණුවන් ලෙස අප කුමක් කරමුද කියා තුෂ්නිම්භූතව බලා සිටිමු ද?මන්ද මේ මෙහෙයන් පැවැත් වූ අයද භාවිතා කළේ යේසුස් යන නාමයයි.ඔවුන්ගේ අතේ වූයේ ද බයිබලයයි.ඔවුන් පවසන්නේ ද දෙවියන් වහන්සේ ගැනයි.කිතුණුවා තුළ ඇති දෙවියන් වහන්සේ ගැන වූ ගරු බිය නිසාම මෙවැනි සිද්ධීන්වලදී ඔවුන් අසරණවීම ස්වභාවිකය.එබැවින් මා මේ ලිපියෙන් පෙරට වඩා එහා ගිය අදහසක් මතු කරන්නට උත්සාහ ගනිමි.මීට පෙර ලිපියේ දී මා;
"දැන් තවත් ගැටලුවක් තිබේ.මේ ලංකාවේ මෙවන් දෑ සිදු කරන සියලු දෑ නිවැරදිද යනුයි.මක්නිසා ද ක්‍රිස්තුස් වහන්සේ මා මීට පෙර පැවසූ දෑ ප්‍රකාශ කළා සේම තවත් වැදගත් දෙයක් කී සේක.එනම් අන්තිම කාලයේ උන්වහන්සේගේ නාමයෙන් බොහෝ දෙනෙකු පැමිණෙන බවත්,ඔවුන් රෝගීන් සුව කරමින්,යක්ෂයන් දුරු කරමින් ක්‍රියා කළ ද ඔවුන් ජනතාව මුළා කරන්නන් බවයි.එනම් දෙවියන් වහන්සේ දුන් බලය තම ලාබය උදෙසා භාවිතා කරන්නන්ය.එහෙත් මෙම කොස්වත්ත,බත්තරමුල්ලේ පාස්ටර්තුමා ද එම ගනයටම ඇතුලත් කරන්නට මම ඉක්මන් නොවෙමි.මන්ද ඔහු විසින් කරන සේවය ගැන භික්ෂූන් වහන්සේලා ද අගය කරන බව මා අසා දැක ඇති බැවින් ද,මීට පෙරත් මෙවැනි සුව කිරීමේ මෙහෙයන් ඔහු පවත්වා ඇති බැවින්ද,(එහිදී කිසිවෙකු සුව නොවූ යේ නම්,තවදුරටත් මෙවන් දෑ කළ නොහැකියයි මම සිතමි),මා දන්නා පරිදි ඔහු යේසුස් වහන්සේ පැවසූ ආකාරයේ ජනයා මුළා කරන්නෙකු බව කීමට මා සතුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවිනුත්ය.එබැවින් මෙවැන් කරුණු කාරණා හා පුද්ගලයන් ගැන කතා කිරීමේ දී අන්‍යාගමිකයින්ට වඩා කිතුණුවන්ද ප්‍රවේශම් සහිත විය යුතු බව මම අවධාරණය කරමි."
යනුවෙන් කොටසක් ලියා ඇත.එහිදී මා ප්‍රකාශ කළේ යේසුස් වහන්සේ ප්‍රකාශ කළ අනාවැකියට අනුව ලොවට බිහිවන මුළා කරන්නන්ගේ ගනයට අදාළ සිද්ධියට සම්බන්ධ පාස්ටර්වරුන් අයත් වේ යැයි කියන්නට තරම් ඒ වන විට මා හට ප්‍රමාණවත් කරුණු නොමැති බවයි.එහෙත් දැන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ හමුවේ කරුණු රැසක් අනාවරණය වෙමින් තිබේ.එම නිසා මෙම කරුණ ගැන පෙරට වඩා ගැඹුරෙන් බැලීමට මටද හැකියාව ලැබී තිබේ.
මා මෙම දේවස්ථානයට කිසි විටෙක ගොස් නොමැති අතර එක් දිනක් මීට ඉහතදී විහාර මහා දේවී උද්‍යානයේම පැවැත් වූ මෙහෙයකට සහභාගි වී ඇත.එහෙත් එදින එහි ඇතුළු වන කිසිවෙකුගෙන් කිසිම අය කිරීමක් කරනු ලැබුවේ නැත.එහෙත් දැන් කරුණු අනාවරණය වන අන්දමට මෙම සිද්ධිය සිදුවූ මෙහෙයට පැමිණෙන සැමගෙන් රු.20 බැගින් අය කළ බව කියවේ.තවද රැස්ව සිටින අයගෙන් මුදල් එක් රැස් කිරීම හා 20ට වැඩි ගණනක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද සාක්ෂිවලදී කියවී ඇත.මේ අනුව මෙය සේවයක් නොව ව්‍යාපාරයක් බවට පත් ව ඇති බවක් පෙනේ.අනෙක් අතට මෙය සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවද වාර්තා වේ.මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී යමක් පැහැදිලි වේ.මොවුන් මේ පෙන්වන්නේ සැබෑ දේව සේවයක් නොවේ.දෙවියන් වහන්සේගේ බලය යොදා ගෙන එය ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය කර ගෙන ඇති බවක් මෙමඟින් අවබෝධ වේ.
ක්‍රිස්තියානි සභා ලෙස හා දේවස්ථාන නමින්ම මෙරට ලියාපදිංචි වූ බොහොමයක් ස්ථාන තිබේ.ඒවා සමාගම් නොවේය.එම ස්ථානවලද මෙවැනි මෙහෙයන් පැවැත්වීම හා රෝගීන් උදෙසා යාඥා කිරීම සිදුවේ.එහෙත් මෙලෙස විශාල ක්‍රීඩාංගණවල මෙහෙයන් නොපවත්වන අතර,බොහෝ විට එම දේවස්ථානයේම පැවැත්වේ.මන්ද මෙවැනි විශාල මෙහෙයන් සංවිධානය කිරීමට විශාල මුදලක් අවශ්‍ය වේ.එබැවින් ගැටළු මතුවන්නේ මෙවැනි සමාගම් හා තනි පුද්ගලයන් විසින් මෙහෙයවන මධ්‍යස්ථාන නිසාය.මේවාට නිශ්චිත දර්ශනයකට වඩා අදාළ පුද්ගලයාගේ හිතුමනාපයට කටයුතු කිරීමට යාමෙන් කිතුණු ඉගැන්වීමට විරුද්ධ දේ ඇතුළු වන බව මගේ හැඟීමයි.
මී ළඟ ගැටලුව මතු වන්නේ මෙම ස්ථානවල සිදුවන සුව කිරීම් සම්බන්ධවයි.සැබෑ ලෙසම මෙහි රෝග සුවකිරීම් සිදුවී ඇති බව බොරුවක් නොවේ.එය බොරුවක් විය නොහැකි බව මෙම ස්ථානයට වැල නොකැඩී පැමිණෙන පිරිස්වලින්ම සිතාගත හැකිය.එසේ පැමිණෙන අය සුව නොවුනි නම්,ඉන් පසු පැවැත්වෙන මෙහෙයට සිටියාටත් වඩා අධික් පිරිසක් සහභාගී වීම ප්‍රායෝගික කාරණයක් නොවේ.තවද මෙතෙක් අදාළ දේවස්ථානයේ පැවති මෙහෙය සෑම සෙනසුරාදාවකම විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වීමට හේතු වී ඇත්තේද එහි පැමිණෙන පිරිසට ඉඩ නොමැති වීම නිසාය.එබැවින් මෙම ස්ථානය තුළ සුවකිරීම් විශාල වශයෙන් සිදුවී ඇති බව මෑත සිදුවූ මරණයන් දෙක නිසා වෙන් පමණක් බොරු කළ නොහැක.මන්ද මෙවැනි කියමනක් තිබේ.එනම්;"එක් අයෙකු බොහෝවරද,බොහෝ දෙනෙකු එක් වරද රැවටිය හැක.එහෙත් බොහෝ දෙනෙකු බොහෝ වර රැවටිය නොහැක" යනුවෙනි.
එසේ නම් වරද කාගේද?ශු.බයිබලයට අනුව දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ අනුගාමිකයන්ට විවිධ දීමනා දෙනු ලබයි.ඒවා නම්;රෝග සුව කිරීම,යක්ෂයන් දුරු කිරීම,අනාගත වාක්‍ය පැවසීම ආදී තවත් විවධ හැකියාවන්ය.(බයිබලයේ මේවා තලෙන්ත ලෙස ද හඳුන්වයි,මාර්ක් 16 පරිච්ඡේදය 11 සිට 20 පදය දක්වා).මේ කිසිවක් අදාළ පුද්ගලයගේ හැකියාවක්,බලයක් හෝ හොඳකමක් නොව දෙවියන් වහන්සේ විසින් අනෙක් මිනිසුන්ට සේවය කිරීම සඳහා දෙන වරයන් වේ.එහෙත් මේවා ලබාගත් පසු කාලයත් සමඟ ඇතැම් පුද්ගලයන් මේ බලය අනිසි ලෙස භාවිතා කරන්නට පටන් ගනී.එවැන්නන්ට වැඩි දුරක් යෑමට ඉඩ නොලැබෙන බව මේ සිදුවීමෙන් තහවුරු වී තිබේ.එබැවින් දෙවියන් වහන්සේ දුන් වරය තමාට මුදල් උපයා ගැනීමට යමෙකු භාවිතා කරන්නේ නම්,ඔහුට මේ රටේ නීතිවලින් කෙසේ වෙතත් දෙවියන් වහන්සේගෙන් සුදුසු විපාකය ලැබෙනු ඇත.ඇතැම් දේශකයින් තමාට ලැබුණ එම වරය තමාගේ බලයක් ලෙස හුවා දක්වමින් දේශනා කරනු මා විවධ මාධ්‍යවල ද දැක තිබේ.මේවා දේව වචනයට එකග නොවේ.එබැවින් යමෙක් ‍සුවකිරීමේ මෙහෙයකට හෝ වෙනත් සුභාරංචි මෙහෙයකට එන්නන්ගෙන් සතයක් හෝ අය කරන්නේ නම්,ඒ ගැන කථා කිරීමට දෙයක් ඉතිරි නොවේ.ඔවුන් පැහැදිලිවම ‍කරන්නේ ව්‍යාපාරයකි.දෙවියන් වහන්සේට අවශ්‍ය සේවකයින් මිස ව්‍යාපාරිකයන් නොවේ.තවද යම් දේශකයෙකු හෝ පිස්ටර්වරයෙකු යැයි කියා ගන්නා අයෙක්;මා වෙතට රෝගීන් ගේන්න,මම සුව කරමි,මම මෙය කරමි,මම එය කරමි,මට පුළුවන් යනුවෙන් පුරසාරම් දොඩයි නම්,ඔහු තවදුරටත් දේව සේවකයෙකු ලෙස සැලකිය නොහැක.රෝගීන්ට පහර දීම,බෙලි මිරිකීම,ශාරීරික තාඩන පීඩන කර රෝග සුව කරන ක්‍රමයක්ද බයිබලයේ සඳහන් නොවේ.එබැවින් මොවුන් රෝගීන් සුව කරතත්,බයිබලය අතේ තබා ගෙන සිටියත්,යක්ෂයන් දුරු කරතත් එබඳුවූවන් ගැන සමාජය දැනුවත් කිරීමේ වගකීම කිතුණුවා ඍජුව භාර ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.නැතිනම් එමඟින් අන්තවාදී ආගම්වාදීන්ට හා මුළුමනින්ම කිතුණු විරෝධීවූ සුළුතරයට අප මෙරට කිතු සසුනට එරෙහි වන්නටත්,ආගම්වාදය පෝෂණය කරන්නටත් රුකුල් දෙනු ඇත.එය මෙරට ආගමික සහජීවනයට මරු පහරක් වනු ඇත.
එබැවින් ක්‍රිස්තුස් වහන්සේ මෙබඳුවූවන් ගැන කල් තියා ප්‍රකාශ කර ඇති බව කිතුණුවන් මනා කොට අවබෝධ කර ගත යුතුය.(මාර්ක් 13:22,23 හා මතෙව් 7:22,23 ).මා ද මීට පෙර මෙම ස්ථානය ගැන වැඩිපුර කරුණු දැන සිටියේ නැත.අනෙක් අතට ඇතැම් ආගමික අන්තවාදීන් ගොඩනඟන බොරු චෝදනා ද වන බැවින් මේ සියල්ල ගැන එක වර නිගමනයකට ඒමට අපහසුය.
එබැවින් ඉදිරියේදී හෝ මෙවැනි ස්ථාන හා පුද්ගලයන් සම්බන්ධයෙන් කිතුණුවන් ලෙස අවබෝධ කරගැනීමේ හැකියාව අප සතු විය යුතුය.මෙවන් සිදුවීම් සිදුවීමට ඉඩදීමෙන් අගෞරවයට ලක්වන්නේ සමස්ථ ක්‍රිස්තියානි සභාවයි.තනි පුදගලයන් ඉස්මතු වෙමින් පවත්වා ගෙන යන මෙවැනි විශාල ජනකායන් රැස් කරන තවත් සංවිධාන/සමාගම් කීපයක්ම තිබේ.එබැවින් මේවා බයිබලය සමඟ සසඳා ඊට එකඟ වේද නැද්ද යන්න අපටම තීරණය කළ හැක.එය අද සිදු විය යුතු කාලීන අවශ්‍යතාවයක් වේ.එබැවින් හතු පිපෙන්නාක් මෙන් ඇතිවෙන මෙවැනි මධ්‍යස්ථාන නවතා සැබෑ කිතුණු සභාව රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස මම සියලු කිතුණුවන්ට ආදරයෙන් ඇරයුම් කරමි.

Wednesday, November 18, 2009

ලංකාවේ ජනපතිට වසර 6ක් දුන්නේ මොකට ද?

වත්මන් රජයේ නිල කාලය අවසන් වන්නේ ලබන අප්‍රේල් මාසයේ දීය.මේ අනුව කාර්තුවකට සැරයක් මැතිවරණ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මී ළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ එළඹෙන අප්‍රේල් මස මැති සබය විසුරුවා හැරීමෙන් පසුවය.එහෙත් කනින් කොනෙන් කියවුනු මතය තහවුරු කරමින් ඊට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බැව් කියැවේ.එහෙත් වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය නිම විය යුත්තේ 2011 දීය.එසේ නම් දැන්ම ජනපතිවරණයකට යා යුත්තේ ඇයි?
මෙය නම් පුදුම කරුමයකි.පවට පින දෙන්න බැරිය.වසර 6ක් ලැබුනද අපේ රටේ ජනපතිවරුන්ට වසර 6ක් ඉන්නම බැරිය. 2005 දී මහජනයාගේ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනපති පුටුවේ වාඩි කරනු ලැබුවේ 2011 වන තුරු මේ රටට නායකත්වය දීමටය.දැන් 2009 නිම වෙද්දී තම නිල කාලය අවසන් කිරීමට එතුමා තීරණය කරන්නේ ඇයි?මෙය පුදුම සහගතය.ශ්‍රී ලංකාවේ බිහිවූ ජනාධිපතිවරුන් අතර මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂිම වූ ජනපතිවරයාය.ඒ තමාට ලැබුණු විධායක බලතල අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා නියම ආකාරයට භාවිතා කළ අයෙකු වීමය.අනෙක් අතට අදටත් මෙරට මධ්‍යස්ථ මතධාරී කා තුළත් ඇති මතය නම්,සමස්ථයක් ලෙස ගත් විට මහින්ද රාජපක්ෂ යනු,හොඳ නායකයෙකු බවය.ගැටළුවක් ඇත්තේම මෙතනය.ජනපතිවරයා හොඳනම්,අපි ඔහුට මේ රට කළ හැකි උපරිම කාලයක් කරන්නට දිය යුතුය.එහෙත් ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයෝද පවසන්නේ මහින්ද මහතාට අවුරුදු 12 කෙසේ වෙතත් මුල් 6වත් නොදිය යුතු බවයි.මෙය ප්‍රහේළිකාවකි.අපට යමෙකු හොඳ නම්,අපි ඔහුව හැකි තරම් අප සමඟ තබා ගන්නවා විනා ඔහු අප සමඟ සිටින කාලය අඩු කර ගත යුතුද?
ඇමෙරිකාවේ මෙන් වසර 4ක් තිබුණානම් මේ ප්‍රශ්න මුකුත් නැත.අපේ ජනාධිපතිවරුන්ට ලැබුණ අවුරුදු 6 හොඳටම වැඩි බව මේ ව්‍යවස්ථාව හදපු ජේ.ආර්. මහත්තයාම පෙන්වා දුන්නේය.තම බලය රැක ගැනීමට හොඳම අවස්ථාව ආව විට,අඩුවෙන 2ට වඩා වැඩිවෙන 6 හොඳයි කියා වසර 4න් ඡන්දයට යන්න ව්‍යවස්ථාව හදා ගත්තේ ද ජේ.ආර්. උන්නැහැමය.දැන් පත්වෙන හැම කෙනාටම මේක පුරුද්දට ගිහින් වාගේය.
කොහෙන් ගියත් පාඩු වෙන්නේ අපිටමය.අවශ්‍ය නොවන මෙහොතක නොපැවැත්විය යුතු මැතිවරණවලට යෑම නිසා විශාල මුදල් කන්දරාවක් දැනටම වියදම් වී ඇත.මේ හදිසි ජනපතිවරණය සැබැවින්ම ඕනෑ වී තිබෙන්නේ කාටද?ජනපතිවරයා කවදා ඉල්ලුවත් මේ ඡන්දය ජය ගත හැකි විය යුතුය.විපක්ෂය කියන පොදු අපේක්ෂකයා කවුරු වුනත්,තමා මේ රටට යමක් කළේ නම් ජනපතිවරයා නිකරුණේ බයේ තම ධුර කාලය කෙටි කර ගත යුතු ද?
සැබැවින්ම මේ ඡන්දය අවශ්‍යව තිබෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතීන්ට මිස ජනපතිතුමාට නොවේ.අදටත් තම තමාගේ ආසනය,දිස්ත්‍රික්කය පැවති ඡන්දවලදී රැක ගත්තේ ජනපති හා යුද්ධය එකට අලෙවි කිරීමෙන් මිස,තමා කළ කී දෙයක් නොවන නිසා බව ඔවුන් හොඳින් ම දනී.යෝධ කැබිනට්ටුව අපිට බර පැටවීම මිස කළ වෙන දෙයක් ඇත්තේම නැත.මේ නිසා ජනපති කර මතින් ගොඩ යන්නට තතනන අයිස් ඇමතිවරුන්ට ඕනෑ නිසා දැන් ජනපතිවරණයක් කැඳවා තිබේ.
ජනතාව මේ ගැන අවධියෙන් සිටිය යුතුය.මී ළඟ ඡන්දය කුමක් වුවත්,බලලෝභී හා අවස්ථාවාදී දේශපාලකයන් ගෙදර යවන්නට අප තවත් පැකිලීමට අවැසි නැත.නැතිනම් ඇත්තමට "දැන් ඉතිං රට හදමු" කියා තව අවුරු 2ක්ම තම බලය රට හදන්නට ඉතිරිව තිබෙන ජනපතිවරයාට ඒ අවස්ථාව අහිමි කළ යුතු නැත.නොඑසේ නම් ලෝකයේ වැඩිම ජනාධිපති ධූර කාලය ලංකාවට තබා ගැනීමෙන් සිදුවන සෙතක් නැත.

Sunday, November 15, 2009

සිරිසේන ඇමතිතුමාගේ ඓතිහාසික සමුළුව

ශ්‍රී.ලං.නි.ප. 19 වන මහ සමුළුව ඊයේ මහත් උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්විණි.මේ සමුළුව පැවැත්වෙන්නට මත්තෙන් අදහස් ප්‍රකාශ කර තිබූ පක්ෂ ලේකම්වරයා පවසා තිබුණේ මෙය ඓතිහාසික සමුළුවක් වනු ඇති බවයි.පක්ෂ සම්මේලනය ආරම්භයේ සිට අවසානය වන තුරුම මුව අයා බලා සිටිය මට මේ වන තෙක්ම එයින් රටට හෝ ජනතාවට ඓතිහාසික වූ යමක් ලැ‍බුණු බවක් සොයාගන්නට නොහැකිවිය.එහෙත් දැන්නම් එය මටත් ටික ටික තේරෙන්නට පටන් ගෙන තිබේ.
ඊයේ පැවති මෙම පක්ෂ සම්මේලනය සජීවිව විකාශය කරනු ලැබුවේ ජාතික නාලිකාවෙන් පමණක් නොවේ.හරබර,සමබර පුවත් ඔබට ගෙනෙන තවත් පුද්ගලික නාලිකා දෙකක් ද තම අනෙක් වැඩසටහන් පසෙක තබා මෙය සජීවි ලෙස විකාශය කිරීමට යෙදුනි.(එය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් දැයි මම නොදනිමි.) සමුළුව ඓතිහාසික නොවේ නම්,එවැන්නක් වීමට ද ඉඩ නැත.එබැවින් එය අවසන් වන තුරුම නරඹන්නට මම ද අමතක නොකෙළෙමි.ඊට කදිම නර්තනයක් හා මහින්ද මහතාගේ වීරත්වය හා නායකත්වය පෙන්වන නර්තනයක් ද ඉදිරි පත් කොට තිබුණි.එය ඉදිරිපත් කර තිබුණේ ජාතික තරුණ සේවා සභාවේ තරුණියන් 2000 කට අධික පිරිසක් විසිනි.දැන ගන්න ලැබෙන ආකාරයට ඔවුන් සඳහා පමණක් වියදම රු.පක්ෂ 90 කට ආසන්නය.රටපුරා කළ සැරසිලිවලට වියදම ගණන් බලා නැත.මෙය ඓතිහාසික හා වැදගත් සමුළුවක් නොවේ නම්,ජනතාවගේ මුදල් මෙසේ නිකරුණේ රජය නාස්ති කරන්නේ ද නැත.එබැවින් මෙහි විශේෂත්වයක් තිබිය යුතුමය.මේ රටට වැඩිම සේවයක් කළ හා කරන පක්ෂය මෙය බව ජනපති තුමා ගිරිය කඩා ගෙන කෑ ගසා කීවේ,ඒ නිසා විය හැකිය.
ඒ ගැනනම් මොකට කියනවා ද?ශ්‍රී.ල.නි.ප.යේ නිර්මාතෘවරයා වූ බණ්ඩාරනායක මැතිතුමා 1956 සිංහලකම පෙරට දමා බලය ලබා ගත්තේය.එමඟින් මෙරට සුළු ජන කොටස්වලට අරගල කරන්නට අවශ්‍ය සාධකයන් නිපද විණි.සරලව කියතොත් අද රාජපක්ෂ මහතා නැති කරා යැයි කියන්නේ බණ්ඩාරනායක මහතා විසින් විස බීජ වපුරා බිහි කළ ත්‍රස්තවාදයකි.එබැවින් එය ශ්‍රී.ල.නි.ල.ප.යෙන්ම උපන් බව එතුමාට කියන්නට අමතක වුණි.1994 එ.ජා.ප. ය පරදා බලයට පැමිණි පොදු පෙරමුණද එදා ශ්‍රී ලංකා රජය සතුව තිබූ පුනරීන්,අලිමංකඩ,මුලතිව් වැනි ප්‍රබල හමුදා කඳවුරු කොටියාට අත් පත් කර දුන්නේය.තමාගේ නායකත්වය යටතේ මේ නැවත අල්ලා ගත්තේ තම රජයන් විසින්ම අහිමි කර ගත් දේ බවද ජනපතිතුමාට අමතක වී ඇත.බලන් යනකොට,ප්‍රශ්න ඇති කර,ප්‍රශ්න නැති කරන්නට ශ්‍රී.ල.නි.ප.ය. සමත්ය.ඒ හැරෙන්න රටට ඉතිරි වෙන දෙයක් කළ බවක් මතක නැත.
ඊයේ ශ්‍රී.ල.නි.ප. සමුළුව වර්ණවත් කළේ ජාතික තරුණ සේවා සභාවෙනි.ජාතික තරුණ සේවා සභාව එ.ජා.ප. ය මෙරට තරුණ තරුණියක්ට දායාද කළ විශිෂ්ට සම්පතකි.අද එයත් තම කෙරුවාව කියන්නට යොදා ගෙන ඇත්තා මිසක,එවන් වූ නිර්මාණශීලී සංකල්පයක් ශ්‍රී.ල.නි.ප.ය. කිසිදාක ඉදිරිපත් කොට නැත.(තරුණයන්ට පොලිසීයෙන් ගහනකොට ඇහැක් ඇර බලන්නේ නැති,"නාමල්ට හෙටක්" සංවිධානය හැරුණු විට).
එබැවින් මේ කරුණු කාරණා ඔක්කොම ගෙන බලන විට මේක මාරම ඓතිහාසික පක්ෂ සමුළුවකි.මෙය ජාතික සමුළුවකි.එසේ නැතිනම් එ.ජා.ප. යේ හා ජ.වි.පෙ. මහා සමුළු ද මෙසේ අනෙක් නාලිකාවලින් පෙන්නන්ට ඕනෑය.එබැවින් මෙය ලංකාවේම සමුළුවකි.මීට පෙර මෙවැනි විකාශයන් සිදුවූයේ ජාතින උත්සව,රටේ අති විශේෂිත අවස්ථාවලදී හා ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශයන් සඳහා පමණි.එබැවින් ශ්‍රී.ල.නි.ප. සමුළුව යනු ජාතික උත්සවයක් බැවින් මීට පසුව හෝ ඊට සහභාගිවන්නට මේ රටේ හැම පුරවැසියාම උත්සුක විය යුතුය.සිරිසේන ඇමතිතුමා මෙය ඓතිහාසික සමුළුවක් කියා ඇත්තේ කට කහනවට නොවේය.

Wednesday, November 11, 2009

යාඥාව - ලෙඩ සුව කිරීම - මිථ්‍යාව හා සත්‍යය

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවති ක්‍රිස්තියානි සුව කිරීමේ මෙහෙයකට සහභාගි වූ කතුන් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් පසු ගිය කාලය පුරාම විවිධ කතිකාවන් සමාජය පුරාම ඇති වුණි.සිංහල බ්ලොග් අඩවිවලද මේ සඳහා විවිධාකාරයෙන් ලිපි පල ව තිබූ අයුරු දක්නට ලැබිණි.එහෙත් එම ලිපි හා ඒවා කියවා ඊට එක් කර තිබූ විවරණ කියවන විට මා හට හැඟී ගියේ බොහෝ දෙනෙකු තුළ මෙම කරුණු කාරණා ගැන ඇති දැනුම හා අවබෝධය අල්ප බවයි.එබැවින් මේ වෙනුවෙන් මෙම බ්ලොග් අඩවියට සටහනක් එක් කරන්නට මම කල්පනා කෙළෙමි.
මා උපතින් බෞද්ධයෙකු නොවන නමුදු අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා බුද්ධාගම උගෙන එය විශිෂ්ට ලෙස සමත් වුන අතර,මා කුඩා කාලයේ අප පාසලේ පන්සිල් දීම හා භාවනා කිරීම ද මෙහෙයවා තිබේ.එබැවින් බුදුන් වැඳීම,මල් පූජා කිරීමේ ගාථාවල පටන් ඇතැම් ධම්ම පදයේ එන ගාථාද මට තවමත් කට පාඩම් ය.එහෙත් මා අදහන හා විශ්වාස කරන ආගමික දර්ශනය වන්නේ ක්‍රිස්තියානියයි.ආගම් දෙක වෙන් කර හඳුනා ගැනීමක් කළ පසු මා එක් දහමක් අදහන්නට තෝරා ගත්ත ද අදටත් අනෙකුත් ආගම් දර්ශන ගැන ඉගෙනීමට තරමක් උනන්දු වෙමි.මන්ද හැම ආගමකම විවාදයට තුඩු දෙන හා බඳුන් කළ හැකි කොටස් අඩංගු වී තිබෙන නිසා ඒවා ගැන යම් ආකාරයකින් හෝ දැන සිටීම විවිධ ආගමිකයන් හා විසීමේ දී පිටුවහලක් වන බැවිනි.
කෙසේ වුවද මේ සිද්ධිය සම්බන්ධයෙන් ද අප අන්තවාදී නොවුනු තැනක සිට ප්‍රශ්නය විග්‍රහ කිරීම වටී.සියලු ආගම්වල විවිධ ඇදහීම් ක්‍රම,වත් පිළිවෙත්,විශ්වාසයන් තිබේ.ඇතැම් ඒවා සංස්කෘතිය සමඟ බැඳුනු ඒවාය.බෞද්ධයන් බෝධි පූජා හා පිරිත් සජ්ජායනය කරයි.ඒවායේ මූලික බලාපොරොත්තු ද යාඥාවෙන් බලාපොරොත්තු වන දේ හා සමානය.ඇතැම් අය ලෙඩින් දුකින් සිටින තම හිතවතුන්ගේ සුවය පතා බෝධි පූජා පවත්වයි.අපල,භූත දෝෂ දුරු වෙන්නට කියා ද බෝධි පූජා පැවැත්වීම හෝ පිරිත් සජ්ජායනය කරයි.ඇතැම් අය විභාගවලින් ජය ගැනීමට ද මෙවන් පිළිවෙත්වල යෙදෙන අතර,පසු ගිය ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට ශ්‍රී ලංකාව පැමිණි විට රට පුරාම ඔවුන්ගේ ජය පතා බෝධි පූජා පැවැත්වුණි.එහෙත් ශ්‍රී ලංකාවට එමඟින් ජය අත් වූයේ නැත.එවිට එය බෝධි පූජාවේ හෝ,එය පැවැත් වූ ස්ථානයේ හෝ එය මෙහෙය වූ භික්ෂූන් වහන්සේගේ හෝ අඩුවක් හෝ වරදක් ලෙස කිසිවෙකු හැඳින් වූයේ නැත.තවද සුවය හා මිදීම පතා දහස් ගණනක් බෝධි පූජා ද පැවැත්වී ඉන් අදාළ පුද්ගලයා සුව නොවී මිය යන අවස්තා ඕනෑ තරම් තිබුණ ද එය ද සාකච්ඡාවට බඳුන් වන්නේ නැත.එහෙත් යාඥාවන් වලින් සුවය අත් නො වී මිය යෑම මුළු සමාජය තුළම මහත් කැළඹීමක් නිර්මාණය කර තිබේ.මෙයට හේතුව කුමක් ද?
එයට හේතුවක් තිබේ.ඒ රෝගවලට යාඥා කිරීම තරමක් වෙනස් ආකාරයකින් සිදුවන නිසාය.මෙවැනි රෝග සුව කිරීමේ මෙහෙයන් කල් තියා ප්‍රසිද්ධ කොට ජනතාවට දැනුම් දෙනු ලැබේ.සියල්ලන්ටම කිසිදු භේදයකින් තොරව ඊට ආරාධනා කරනු ලැබේ.එබැවින් නිතැතින්ම මෙම සුව මෙහෙයන් ගැන ජනයා තුළ දැඩි විශ්වාසයක් හට ගැනේ.අනෙක් අතට මෙවන් මෙහෙයන්වලට පැමිණෙන බහුතරය වෛද්‍ය ප්‍රතිකාර,බෝධි පූජා,ශාන්ති කර්ම හා නොයෙකුත් විධි ක්‍රම කොට සියල්ල අසාර්ථක වූ අයයි.එබැවින් මෙම මෙහෙය තුළින් අනිවාර්යෙන් තමාට සුවය ලැබිය යුතුයැයි ඔවුහු අපේක්ෂා කරති.එබැවින් එහි පැමිණෙන්නන්ගේ සුවය අත්කර දීම සඳහා වූ වගකීමක් නිරායාසයෙන්ම අදාළ දේව මෙහෙය පවත්වන්නන් වෙත පැවරෙන බව දැකිය හැකිය.මෑත දී වූ ආකාරයේ ගැටලු නිර්මාණය වන්නේ මෙම පැවරෙන වගකීම ඉටු නොවීම තුළය.
මෙහිදී මම එක් කරුණක් අවධානයට ලක් කරනු කැමැත්තෙමි.මෙවන් රැස්වීම්වලට ප්‍රසිද්ධ ආරාධනාවන් කොට ජනතාව කැඳවන බැවින් පැමිණෙන්නන්ට සුවය අත් කර දීමට එම දේව මෙහෙයන් පවත්වන්නන්ට වගකීමක් තිබෙන්නාක් සේම,එයට ඇතුළුවීම නොමිලේ වන නිසා හා එයට කිසිවෙකු බලෙන් කැඳවීම් නොකරන නිසා එයට සහභාගිවන්නන් ද එයින් තමාට ලැබෙන ප්‍රතිඵලය භාර ගැනීමට කැමති විය යුතුය.එහෙත් අදාළ සිදුවීම්වල දී මේ දෙයාකාරයම සිදු වී නැත.
මී ළඟට බොහෝ අය මෙවන් දෑ කිතු දහමට,බයිබලයට හෝ යේසුස් වහන්සේගේ ඉගැන්වීම්වලට එකඟ නොවන බැව් පවසා තිබෙනු දක්නට ලැබුණි.සැබැවින්ම ඒ පිළිබඳ සත්‍යය කුමක් ද?
ක්‍රිස්තුස් වහන්සේ පොළොවේ සිටින විට උන්වහන්සේ වෙතට ගෙනා විවධ රෝගීන් සුව පත් කළ සේක.අන්ධයින්,කොරුන්,බිහිරන්,කුෂ්ඨ රෝගීන්,අංශභාග රෝගීන් වැන්නන් ඒ අතර විය.උන්වහන්සේගෙන් පසු උන්වහන්සේගේ අනුගාමිකයන් ද මෙවන් දෑ සිදු කළ බව බයිබලයේ සඳහන් වේ.ඇතැම් විට ඒවා ක්‍රිස්තුස් වහන්සේ කළ දේට වඩා ප්‍රබල වූ අවස්ථා ද ඇත.වරෙක ශු.පාවුල් තුමා කළ එක් මළවුන් නැගිටීමක් මෙන්ම,ශු.පේදුරුතුමා ගේ හෙවණැල්ල වැටුණු පමණින් රෝගීන් සුව වූ අයුරු ද බයිබලයේ සඳහන් වේ.ක්‍රිස්තුස් වහන්සේම පැවසූ ආකාරයට උන්හන්සේට වඩා මහත් ක්‍රියා උන්වහන්සේගේ අනුගාමිකයන්ට කළ හැකි විය.ඉතින් මෙවන් දෑ අදටත් වලංගුද?එය දැන් සිටින ක්‍රිස්තු අනුගාමිකයන්ට කළ හැකිද?එය බයිබලයට එකඟ වේද?පිළිතුර ඔව්.
යේසුස් වහන්සේ තම උත්ථානයෙන් පසු සවර්ගාරෝහණයට පෙර සිය අනුගාමිකයන්ට පණිවිඩයක් දුන් සේක.ලොව පුරාම තම සුභාරංචිය ප්‍රකාශ කොට පතළ කරන්න යනු එහි එක් කොටසකි.එබැවින් ලොව පුරා කිතු දහම ප්‍රචාරය කිරීම යේසුස් වහන්සේට හා බයිබලයට එකඟය.(බලයෙන් ක්‍රිස්තියානියට හැරවීමට කියා නොමැත).සුව කිරීම් සම්බන්ධයෙන් ගත් කළ,යේසුස් වහන්සේ පැවසූයේ "නුඹලා රෝගීන් පිට අත් තැබූ කල්හි ඔව්හු සුවය ලබන්නෝය.නුඹලා මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නෝය."යනුවෙනි.එබැවින් රෝගීන්ට හෝ යක්ෂාවේශ වූවන්ට යාඥා කිරීම ද බයිබලයේ කියා නැති දෙයක් නොවේ.එබැවින් අදටත් එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම සිදු කෙරෙන්නෙකි.අප්‍රිකා මහද්වීපයේ නගර හා රටවල් පිටින් ක්‍රිස්තියානිකරණය වී ඇති අතර ඊට ප්‍රධානතම සාධකය වී ඇත්තේ මෙවැනි සුව කිරීම් ය.මෙහි ඇති වීඩියෝ පටය ඒ ගැන සාක්ෂි දරයි.
http://sa.cfan.org/mission-journal.aspx?id=10652 (මෙය මෙරට පෘතුගීසී මිෂනාරීන් මෙන් කඩුවෙන් කළ පරිවර්තනයක් හෝ මුදල් දී කරන ලද්දක් නො වේ.)
එහෙත් ශ්‍රී ලංකාවේ සිදු වන්නේත් මෙයමද?එසේ නම් රෝහල් හා වෛද්‍යවරු අනවශයද?නැත.රෝහල් තිබෙන්නෙත්,වෛද්‍යවරු සිටින්නෙත් මිනිසුන් වෙනුවෙනි.එබැවින් තමා ලෙඩ වූ විට වෛද්‍යවරයෙකු වෙත යෑම කළ යුතුය.(ඇතැම් කිතුණුවන් මැරුනත් බෙහෙත් නොගන්නා මතයන්වල සිටී.එය ඔවුන්ගේ පුද්ගලික අයිතියකි.එය විවාද නොකළ යුතුයි යන්න මගේ හැඟීම වේ.)එහෙත් වෛද්‍යවරුන්ගේ දැනුම හා හැකියාවන් සීමා වෙන අවස්ථා තිබේ.එවැනි තැනකදී දෙවියන් වහන්සේගෙන් මිස පිහිට පතන්නට කෙනෙක් නැත.මෙවැනි මෙහෙයන්වලට සහභාගිවන්නන් වැඩි දෙනෙක් එවන් අසරණ වූ වෛද්‍යවරුන් ද අත් හළ අයය.
දැන් තවත් ගැටලුවක් තිබේ.මේ ලංකාවේ මෙවන් දෑ සිදු කරන සියලු දෑ නිවැරදිද යනුයි.මක්නිසා ද ක්‍රිස්තුස් වහන්සේ මා මීට පෙර පැවසූ දෑ ප්‍රකාශ කළා සේම තවත් වැදගත් දෙයක් කී සේක.එනම් අන්තිම කාලයේ උන්වහන්සේගේ නාමයෙන් බොහෝ දෙනෙකු පැමිණෙන බවත්,ඔවුන් රෝගීන් සුව කරමින්,යක්ෂයන් දුරු කරමින් ක්‍රියා කළ ද ඔවුන් ජනතාව මුළා කරන්නන් බවයි.එනම් දෙවියන් වහන්සේ දුන් බලය තම ලාබය උදෙසා භාවිතා කරන්නන්ය.එහෙත් මෙම කොස්වත්ත,බත්තරමුල්ලේ පාස්ටර්තුමා ද එම ගනයටම ඇතුලත් කරන්නට මම ඉක්මන් නොවෙමි.මන්ද ඔහු විසින් කරන සේවය ගැන භික්ෂූන් වහන්සේලා ද අගය කරන බව මා අසා දැක ඇති බැවින් ද,මීට පෙරත් මෙවැනි සුව කිරීමේ මෙහෙයන් ඔහු පවත්වා ඇති බැවින්ද,(එහිදී කිසිවෙකු සුව නොවූ යේ නම්,තවදුරටත් මෙවන් දෑ කළ නොහැකියයි මම සිතමි),මා දන්නා පරිදි ඔහු යේසුස් වහන්සේ පැවසූ ආකාරයේ ජනයා මුළා කරන්නෙකු බව කීමට මා සතුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවිනුත්ය.එබැවින් මෙවැන් කරුණු කාරණා හා පුද්ගලයන් ගැන කතා කිරීමේ දී අන්‍යාගමිකයින්ට වඩා කිතුණුවන්ද ප්‍රවේශම් සහිත විය යුතු බව මම අවධාරණය කරමි.
එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට අනුව ක්‍රියාත්මක වන්නන් හැර අනෙකුන් ගැන යුතු ලෙස ක්‍රියා කිරීම කිතුණු ශාසනයට ද හොබනේය.එය මෙරට ආගමික සහජීවනයට මෙන්ම ,යන්තම් ජාතිය මත පදනම් ව ඇතිවුනු ගින්න වසර 30 කට පසුව නිවා ගත් මේ පුංචි රටට ද හිතකර වන්නේය.මේ සිල්ලට පාදක වන සිදුවීම් පෙළ මා පුවත්පතින් කියවූ විස්තර හැරෙන්නට වෙනත් තොරතුරක් නිශ්චිතවම නොදන්නා බැවින් ඒ ගැන විනිශ්චය කිරීම මා හට කළ නොහැක.එයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නේනම් එය මෙරට නීතියට ද,එසේ එය නොවූවද මෙය දෙවියන් වහන්සේටද විනිශ්චයට භාර දීම හැර කළ හැකි දෙයක් මම නොදනිමි.කෙසේ වුවද "එව,බලව" බුද්ධ වචනයේ සඳහන්ව ඇති ආකාරයට මෙවැනි දෑ ඇවිත් බලන්නට ජනයා සතුව අයිතිය තිබිය යුතු අතර,ගැටලුවක දී ඊට නිසි පරිදි ක්‍රියා නොකොට උන්මත්තකයින් මෙන් හැසිරීම නම් කිසිදු ආගමක අයෙකු අනුමත නොකරනු ඇත.එල්ලාවල හාමුදුරුවන් ගැන මේ බ්ලොග් අඩවිවලින් ඕනෑ තරම්,කතා කර ඇති බැවින් මා උන්වහනසේ බුද්ධ ශාසනය කෙසේ වෙතත්,පංච ශීලය රැකීම ගැන යළි කතා කරන්නට අවැසි නොවේ.

Tuesday, November 10, 2009

යාඥාව - ලෙඩ සුව කිරීම - මිථ්‍යාව හා සත්‍යය

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවති ක්‍රිස්තියානි සුව කිරීමේ මෙහෙයකට සහභාගි වූ කතුන් දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් පසු ගිය කාලය පුරාම විවිධ කතිකාවන් සමාජය පුරාම ඇති වුණි.සිංහල බ්ලොග් අඩවිවලද මේ සඳහා විවිධාකාරයෙන් ලිපි පල ව තිබූ අයුරු දක්නට ලැබිණි.එහෙත් එම ලිපි හා ඒවා කියවා ඊට එක් කර තිබූ විවරණ කියවන විට මා හට හැඟී ගියේ බොහෝ දෙනෙකු තුළ මෙම කරුණු කාරණා ගැන ඇති දැනුම හා අවබෝධය අල්ප බවයි.එබැවින් මේ වෙනුවෙන් මෙම බ්ලොග් අඩවියට සටහනක් එක් කරන්නට මම කල්පනා කෙළෙමි.
මා උපතින් බෞද්ධයෙකු නොවන නමුදු අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා බුද්ධාගම උගෙන එය විශිෂ්ට ලෙස සමත් වුන අතර,මා කුඩා කාලයේ අප පාසලේ පන්සිල් දීම හා භාවනා කිරීම ද මෙහෙයවා තිබේ.එබැවින් බුදුන් වැඳීම,මල් පූජා කිරීමේ ගාථාවල පටන් ඇතැම් ධම්ම පදයේ එන ගාථාද මට තවමත් කට පාඩම් ය.එහෙත් මා අදහන හා විශ්වාස කරන ආගමික දර්ශනය වන්නේ ක්‍රිස්තියානියයි.ආගම් දෙක වෙන් කර හඳුනා ගැනීමක් කළ පසු මා එක් දහමක් අදහන්නට තෝරා ගත්ත ද අදටත් අනෙකුත් ආගම් දර්ශන ගැන ඉගෙනීමට තරමක් උනන්දු වෙමි.මන්ද හැම ආගමකම විවාදයට තුඩු දෙන හා බඳුන් කළ හැකි කොටස් අඩංගු වී තිබෙන නිසා ඒවා ගැන යම් ආකාරයකින් හෝ දැන සිටීම විවිධ ආගමිකයන් හා විසීමේ දී පිටුවහලක් වන බැවිනි.
කෙසේ වුවද මේ සිද්ධිය සම්බන්ධයෙන් ද අප අන්තවාදී නොවුනු තැනක සිට ප්‍රශ්නය විග්‍රහ කිරීම වටී.සියලු ආගම්වල විවිධ ඇදහීම් ක්‍රම,වත් පිළිවෙත්,විශ්වාසයන් තිබේ.ඇතැම් ඒවා සංස්කෘතිය සමඟ බැඳුනු ඒවාය.බෞද්ධයන් බෝධි පූජා හා පිරිත් සජ්ජායනය කරයි.ඒවායේ මූලික බලාපොරොත්තු ද යාඥාවෙන් බලාපොරොත්තු වන දේ හා සමානය.ඇතැම් අය ලෙඩින් දුකින් සිටින තම හිතවතුන්ගේ සුවය පතා බෝධි පූජා පවත්වයි.අපල,භූත දෝෂ දුරු වෙන්නට කියා ද බෝධි පූජා පැවැත්වීම හෝ පිරිත් සජ්ජායනය කරයි.ඇතැම් අය විභාගවලින් ජය ගැනීමට ද මෙවන් පිළිවෙත්වල යෙදෙන අතර,පසු ගිය ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට ශ්‍රී ලංකාව පැමිණි විට රට පුරාම ඔවුන්ගේ ජය පතා බෝධි පූජා පැවැත්වුණි.එහෙත් ශ්‍රී ලංකාවට එමඟින් ජය අත් වූයේ නැත.එවිට එය බෝධි පූජාවේ හෝ,එය පැවැත් වූ ස්ථානයේ හෝ එය මෙහෙය වූ භික්ෂූන් වහන්සේගේ හෝ අඩුවක් හෝ වරදක් ලෙස කිසිවෙකු හැඳින් වූයේ නැත.තවද සුවය හා මිදීම පතා දහස් ගණනක් බෝධි පූජා ද පැවැත්වී ඉන් අදාළ පුද්ගලයා සුව නොවී මිය යන අවස්තා ඕනෑ තරම් තිබුණ ද එය ද සාකච්ඡාවට බඳුන් වන්නේ නැත.එහෙත් යාඥාවන් වලින් සුවය අත් නො වී මිය යෑම මුළු සමාජය තුළම මහත් කැළඹීමක් නිර්මාණය කර තිබේ.මෙයට හේතුව කුමක් ද?
එයට හේතුවක් තිබේ.ඒ රෝගවලට යාඥා කිරීම තරමක් වෙනස් ආකාරයකින් සිදුවන නිසාය.මෙවැනි රෝග සුව කිරීමේ මෙහෙයන් කල් තියා ප්‍රසිද්ධ කොට ජනතාවට දැනුම් දෙනු ලැබේ.සියල්ලන්ටම කිසිදු භේදයකින් තොරව ඊට ආරාධනා කරනු ලැබේ.එබැවින් නිතැතින්ම මෙම සුව මෙහෙයන් ගැන ජනයා තුළ දැඩි විශ්වාසයක් හට ගැනේ.අනෙක් අතට මෙවන් මෙහෙයන්වලට පැමිණෙන බහුතරය වෛද්‍ය ප්‍රතිකාර,බෝධි පූජා,ශාන්ති කර්ම හා නොයෙකුත් විධි ක්‍රම කොට සියල්ල අසාර්ථක වූ අයයි.එබැවින් මෙම මෙහෙය තුළින් අනිවාර්යෙන් තමාට සුවය ලැබිය යුතුයැයි ඔවුහු අපේක්ෂා කරති.එබැවින් එහි පැමිණෙන්නන්ගේ සුවය අත්කර දීම සඳහා වූ වගකීමක් නිරායාසයෙන්ම අදාළ දේව මෙහෙය පවත්වන්නන් වෙත පැවරෙන බව දැකිය හැකිය.මෑත දී වූ ආකාරයේ ගැටලු නිර්මාණය වන්නේ මෙම පැවරෙන වගකීම ඉටු නොවීම තුළය.
මෙහිදී මම එක් කරුණක් අවධානයට ලක් කරනු කැමැත්තෙමි.මෙවන් රැස්වීම්වලට ප්‍රසිද්ධ ආරාධනාවන් කොට ජනතාව කැඳවන බැවින් පැමිණෙන්නන්ට සුවය අත් කර දීමට එම දේව මෙහෙයන් පවත්වන්නන්ට වගකීමක් තිබෙන්නාක් සේම,එයට ඇතුළුවීම නොමිලේ වන නිසා හා එයට කිසිවෙකු බලෙන් කැඳවීම් නොකරන නිසා එයට සහභාගිවන්නන් ද එයින් තමාට ලැබෙන ප්‍රතිඵලය භාර ගැනීමට කැමති විය යුතුය.එහෙත් අදාළ සිදුවීම්වල දී මේ දෙයාකාරයම සිදු වී නැත.
මී ළඟට බොහෝ අය මෙවන් දෑ කිතු දහමට,බයිබලයට හෝ යේසුස් වහන්සේගේ ඉගැන්වීම්වලට එකඟ නොවන බැව් පවසා තිබෙනු දක්නට ලැබුණි.සැබැවින්ම ඒ පිළිබඳ සත්‍යය කුමක් ද?
ක්‍රිස්තුස් වහන්සේ පොළොවේ සිටින විට උන්වහන්සේ වෙතට ගෙනා විවධ රෝගීන් සුව පත් කළ සේක.අන්ධයින්,කොරුන්,බිහිරන්,කුෂ්ඨ රෝගීන්,අංශභාග රෝගීන් වැන්නන් ඒ අතර විය.උන්වහන්සේගෙන් පසු උන්වහන්සේගේ අනුගාමිකයන් ද මෙවන් දෑ සිදු කළ බව බයිබලයේ සඳහන් වේ.ඇතැම් විට ඒවා ක්‍රිස්තුස් වහන්සේ කළ දේට වඩා ප්‍රබල වූ අවස්ථා ද ඇත.වරෙක ශු.පාවුල් තුමා කළ එක් මළවුන් නැගිටීමක් මෙන්ම,ශු.පේදුරුතුමා ගේ හෙවණැල්ල වැටුණු පමණින් රෝගීන් සුව වූ අයුරු ද බයිබලයේ සඳහන් වේ.ක්‍රිස්තුස් වහන්සේම පැවසූ ආකාරයට උන්හන්සේට වඩා මහත් ක්‍රියා උන්වහන්සේගේ අනුගාමිකයන්ට කළ හැකි විය.ඉතින් මෙවන් දෑ අදටත් වලංගුද?එය දැන් සිටින ක්‍රිස්තු අනුගාමිකයන්ට කළ හැකිද?එය බයිබලයට එකඟ වේද?පිළිතුර ඔව්.
යේසුස් වහන්සේ තම උත්ථානයෙන් පසු සවර්ගාරෝහණයට පෙර සිය අනුගාමිකයන්ට පණිවිඩයක් දුන් සේක.ලොව පුරාම තම සුභාරංචිය ප්‍රකාශ කොට පතළ කරන්න යනු එහි එක් කොටසකි.එබැවින් ලොව පුරා කිතු දහම ප්‍රචාරය කිරීම යේසුස් වහන්සේට හා බයිබලයට එකඟය.(බලයෙන් ක්‍රිස්තියානියට හැරවීමට කියා නොමැත).සුව කිරීම් සම්බන්ධයෙන් ගත් කළ,යේසුස් වහන්සේ පැවසූයේ "නුඹලා රෝගීන් පිට අත් තැබූ කල්හි ඔව්හු සුවය ලබන්නෝය.නුඹලා මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නෝය."යනුවෙනි.එබැවින් රෝගීන්ට හෝ යක්ෂාවේශ වූවන්ට යාඥා කිරීම ද බයිබලයේ කියා නැති දෙයක් නොවේ.එබැවින් අදටත් එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම සිදු කෙරෙන්නෙකි.අප්‍රිකා මහද්වීපයේ නගර හා රටවල් පිටින් ක්‍රිස්තියානිකරණය වී ඇති අතර ඊට ප්‍රධානතම සාධකය වී ඇත්තේ මෙවැනි සුව කිරීම් ය.මෙහි ඇති වීඩියෝ පටය ඒ ගැන සාක්ෂි දරයි.
http://sa.cfan.org/mission-journal.aspx?id=10652 (මෙය මෙරට පෘතුගීසී මිෂනාරීන් මෙන් කඩුවෙන් කළ පරිවර්තනයක් හෝ මුදල් දී කරන ලද්දක් නො වේ.)
එහෙත් ශ්‍රී ලංකාවේ සිදු වන්නේත් මෙයමද?එසේ නම් රෝහල් හා වෛද්‍යවරු අනවශයද?නැත.රෝහල් තිබෙන්නෙත්,වෛද්‍යවරු සිටින්නෙත් මිනිසුන් වෙනුවෙනි.එබැවින් තමා ලෙඩ වූ විට වෛද්‍යවරයෙකු වෙත යෑම කළ යුතුය.(ඇතැම් කිතුණුවන් මැරුනත් බෙහෙත් නොගන්නා මතයන්වල සිටී.එය ඔවුන්ගේ පුද්ගලික අයිතියකි.එය විවාද නොකළ යුතුයි යන්න මගේ හැඟීම වේ.)එහෙත් වෛද්‍යවරුන්ගේ දැනුම හා හැකියාවන් සීමා වෙන අවස්ථා තිබේ.එවැනි තැනකදී දෙවියන් වහන්සේගෙන් මිස පිහිට පතන්නට කෙනෙක් නැත.මෙවැනි මෙහෙයන්වලට සහභාගිවන්නන් වැඩි දෙනෙක් එවන් අසරණ වූ වෛද්‍යවරුන් ද අත් හළ අයය.
දැන් තවත් ගැටලුවක් තිබේ.මේ ලංකාවේ මෙවන් දෑ සිදු කරන සියලු දෑ නිවැරදිද යනුයි.මක්නිසා ද ක්‍රිස්තුස් වහන්සේ මා මීට පෙර පැවසූ දෑ ප්‍රකාශ කළා සේම තවත් වැදගත් දෙයක් කී සේක.එනම් අන්තිම කාලයේ උන්වහන්සේගේ නාමයෙන් බොහෝ දෙනෙකු පැමිණෙන බවත්,ඔවුන් රෝගීන් සුව කරමින්,යක්ෂයන් දුරු කරමින් ක්‍රියා කළ ද ඔවුන් ජනතාව මුළා කරන්නන් බවයි.එනම් දෙවියන් වහන්සේ දුන් බලය තම ලාබය උදෙසා භාවිතා කරන්නන්ය.එහෙත් මෙම කොස්වත්ත,බත්තරමුල්ලේ පාස්ටර්තුමා ද එම ගනයටම ඇතුලත් කරන්නට මම ඉක්මන් නොවෙමි.මන්ද ඔහු විසින් කරන සේවය ගැන භික්ෂූන් වහන්සේලා ද අගය කරන බව මා අසා දැක ඇති බැවින් ද,මීට පෙරත් මෙවැනි සුව කිරීමේ මෙහෙයන් ඔහු පවත්වා ඇති බැවින්ද,(එහිදී කිසිවෙකු සුව නොවූ යේ නම්,තවදුරටත් මෙවන් දෑ කළ නොහැකියයි මම සිතමි),මා දන්නා පරිදි ඔහු යේසුස් වහන්සේ පැවසූ ආකාරයේ ජනයා මුළා කරන්නෙකු බව කීමට මා සතුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවිනුත්ය.එබැවින් මෙවැන් කරුණු කාරණා හා පුද්ගලයන් ගැන කතා කිරීමේ දී අන්‍යාගමිකයින්ට වඩා කිතුණුවන්ද ප්‍රවේශම් සහිත විය යුතු බව මම අවධාරණය කරමි.
එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට අනුව ක්‍රියාත්මක වන්නන් හැර අනෙකුන් ගැන යුතු ලෙස ක්‍රියා කිරීම කිතුණු ශාසනයට ද හොබනේය.එය මෙරට ආගමික සහජීවනයට මෙන්ම ,යන්තම් ජාතිය මත පදනම් ව ඇතිවුනු ගින්න වසර 30 කට පසුව නිවා ගත් මේ පුංචි රටට ද හිතකර වන්නේය.මේ සිල්ලට පාදක වන සිදුවීම් පෙළ මා පුවත්පතින් කියවූ විස්තර හැරෙන්නට වෙනත් තොරතුරක් නිශ්චිතවම නොදන්නා බැවින් ඒ ගැන විනිශ්චය කිරීම මා හට කළ නොහැක.එයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නේනම් එය මෙරට නීතියට ද,එසේ එය නොවූවද මෙය දෙවියන් වහන්සේටද විනිශ්චයට භාර දීම හැර කළ හැකි දෙයක් මම නොදනිමි.කෙසේ වුවද "එව,බලව" බුද්ධ වචනයේ සඳහන්ව ඇති ආකාරයට මෙවැනි දෑ ඇවිත් බලන්නට ජනයා සතුව අයිතිය තිබිය යුතු අතර,ගැටලුවක දී ඊට නිසි පරිදි ක්‍රියා නොකොට උන්මත්තකයින් මෙන් හැසිරීම නම් කිසිදු ආගමක අයෙකු අනුමත නොකරනු ඇත.එල්ලාවල හාමුදුරුවන් ගැන මේ බ්ලොග් අඩවිවලින් ඕනෑ තරම්,කතා කර ඇති බැවින් මා උන්වහනසේ බුද්ධ ශාසනය කෙසේ වෙතත්,පංච ශීලය රැකීම ගැන යළි කතා කරන්නට අවැසි නොවේ.




Wednesday, November 4, 2009

පළමුව උපාධිය......දෙවනුව කඳුළු ගෑස්........

රැකියා විරහිත උපාධිධාරීන්ගේ වීදි සටන් හා ඊට ශ්‍රී ලංකා පොලීසියෙන් ලැබෙන ප්‍රතිචාර දැන් අපට අලුත් යමක් නොවේ.මෙරට නිදහස් අධ්‍යාපනය තුළින් ලැබිය හැකි ඉහළම අධ්‍යාපනය ලබා රැකියා විරහිතයන් බවට පත්වීම සැබෑම ගැටලුවක් වන්නාසේම,ඊට එරෙහිව කරන සටනින් නගර අවහිර වී සාමාන්‍ය ජන ජීවිතයට වන මහත් හිරිහැරයද අමතක කළ නොහැකි ගැටළුවකි.මෙවන් සිද්ධි පෙළක ආසන්නතම උදාහරණය සටහන් වන්නේ ඊයේ කොළඹ කොටුව ආසන්නයේ සිදුවූ සිදුවීමය.උපාධිධාරීන් දහස් ගණනක් පොලීසියෙන් කඳුළු ගෑස් කමින්,ගුටි බැටවලට ලක් වෙමින්,මහජනයාගේ මහත් අප්‍රසදායට ද ලක්වූ අතර එහි නිමාව සටහන් වූයේ 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ද පත් වෙමිනි.
මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හුවා දක්වමින් ආණ්ඩුව තම ජනප්‍රියතම බයිලාවෙන් ෂේප් න්‍යාය අනුගමනය කළද ඉන් එහා මෙවන් දෑ සිදු නොවන්නට එය හේතුවක් වන්නේ නැත.25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමම තවත් සටනකට හේතුවක් කර ගන්නට මෙම සටන් කරුවන් ක්‍රියා කරනු ඇත.මේ අනුව ආණ්ඩුව නොදැනුවත්වම තමා පවසන කුමන්ත්‍රණකාරීන්ට රට අස්ථාවර කිරීමට ඉඩ ලබා දී ඇත්ද?
සැබැවින්ම මේ පසු පස සිටින්නේ කවුද?මෙවන් වීදි සටන් හා උද්ඝෝෂණ පසුපස ජ.වි.පෙ. සිටින්නේ යැයි බොහෝ දෙනෙකු පවසන්නා සේම මෙහි යථාර්තය ද ඊට එහායින් ඇති දෙයක් නොවේ.සැබැවින්ම ජ.වි.පෙ. ට රජය අපහසුතාවට පත් කිරීමේ බලවත් උවමනාවක් ඇති බව නොරහසකි.ඒ සඳහා තමා සතු සියලු බලයන් පෙළ ගස්වන්නට ඔවුහු මේ මොහොතේ පසු බට නොවෙති.මෙම සටනේ මෙහෙයවන්නා වූ සුජිත් කුරුවිට පැහැදිලිවම ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙකි.උතුරු මැද පළාත් සභාවට තරඟ කිරීමෙන් මන්ත්‍රී ධුරය අහිමි වූ වසන්ත සමරසිංහ වෙනු‍වට ජ.වි.පෙ. න් මී ළඟට මැති සබයට යන්නට හිටියේ සුජිත් කුරුවිටය.එහෙත් සන්ධාන රජය එම මන්ත්‍රී ධුරය ද හොරා කෑම නිසා අද රජයට එරෙහි වීදි සටන් මෙහෙය වන්නට සුජිත් කුරුවිට ඉතිරි වී ඇත.එහෙත් ප්‍රශ්නය මෙය නොවේ.මෙය ජ.වි.පෙ. පිට පටවා ඇඟ බේරා ගැනීමට ආණ්ඩුවට නොහැකිය.මන්ද ඊයේ කොළඹට රැස් වූ සියල්ලන් තවමත් සැබෑවටම රැකියා විරහිතයන් වන නිසාය.
ජ.වි.පෙ.ට වුවද වෙනත් දේශපාලන බලවේගයකට වුවද මෙවන් උද්ඝෝෂණ පසු පස රැගෙන යන්නට තරම් පිරිසක් ගොඩ නැගී තිබේ.තනි තනිව රැකියා ඉල්ලා සිටින්නට නොහැකිව අසරණ වන්නන් කවුරුන්ගේ හෝ අතේ එල්ලී වෙර දරන්නේ ඒ හරහා තමාට රැකියාවක් ලබා ගැනීමටය.එහෙයින් මෙවන් සටන්වලට අවශ්‍ය ජන බලය පහසුවෙන් ලබා ගැනීමට සියලු සාධක පෙළ ගැසී තිබේ.එබැවින් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස පමණක් දක්මින් මෙය මඟ හැර යන්නට ආණ්ඩුවට නොහැකි බව පැහැදිලිය.සන්ධාන ආණුඩුවද බලයට ඒම සඳහා යෞවන සිතුම් පැතුම් සෙල්ලමට ගැනීම එතරම් ගුණදායක නැත.පසු ගිය එ.ජා.පෙ. රජය රැකියා නොදීමට පැහැදිලිවම ජනප්‍රිය නොවන තීරණයක් ගත්තේය.මන්ද එය ඒ මොහොතේ කරන්නට හැකියාවක් නොතිබූ බැවිනි.එහෙත් එයට එරෙහිව බලවත් විවේචන එල්ල කළ සන්ධාන පාර්ශවය බලයට පැමිණියේ තරුණයන්ට රැකියා නොදෙන ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව කියමිනි.රජය පත් වූ විගසම එ.ජා.පෙ. රජය යොවුන් සේනාංකය වෙනුවෙන් වෙන්කර තිබූ මුදල්වලින් උපාධිධාරීන් පිරිසකට රැකියා ලබා දීමට කටයුතු කළේය.එය සිදු කරනු ලැබුවේ හුදෙක්ම තමා ඡන්දයට පෙර දුන් පොරොන්දුවක් නමට හෝ ඉෂ්ට කිරීමට පමණි.එය කිසි සේත් දූර දර්ශී තීන්දුවක් නොවේය.රැකියා ලැබූ උපාධිධාරීන්ගෙන් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු වේද යන්න ගැන තඹ දොයිතුවක් හෝ රජය කල්පනා කළේ නැත.දෙන්නම් වාලේ රැකියා දුන්හ.එබැවින් දැන් අනෙක් උපාධිධාරීන්ටත් රජයෙන් රැකියා අවශ්‍යව ඇත.රජය අනිවාර්යෙන්ම තමාට රැකියා දිය යුතුයැයි ඔවුන් බලාපොරොත්තු වේ.එසේ රැකියා දීමට නොහැකිනම් ඒ බව කෙළින් කියන්නට මේ රජය උත්සාහ නොකරන්නේ ළඟ එන මැතිවරණය නිසාය.මේ ප්‍රශ්නය හැමදාමත් එක තැන තියෙන්නේ ඒ නිසාය.
ඉදිරියේදී පත් වෙන රජයක් හෝ පවතින රජය හෝ මේ ප්‍රශ්නයට මීට වඩා ගැඹුරින් එබී බැලිය යුතුය.උපාධිධාරීන් බිහි කරන්නේ රජයේ මුදලිනි.එක් උපාධිධාරියෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 2ත්,25ත් අතර වේ.එහෙත් අවසානයේ රජයට ‍හෝ රටට එමඟින් අත්වන ප්‍රතිලාභය කුමක්ද?අද රජය උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නේ ඔවුන් තමාට වදයක් වී ඇති නිසාය.කරදර කරන නිසාය.මෙය ඉතා ඛේදනීය තත්වයකි.මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සලකා බැලිය යුතුයයි මා පැවසූයේ ඒ නිසාය.මෙහිදී සැලකිය යුතු කාරණා කිහිපයකි.
මුලින්ම අද බිහිවෙන උපාධිධාරීන් රැකියා වෙළඳ පොළ ඉල්ලුමට සරිලන සැපයීමක් සිදු කළ හැකි තත්වයක් සිටීද යන්න සොයා බැලිය යුතුය.මේ සඳහා වසර ගණන් පරණ වූ විෂය නිර්දේශ වෙනුවට යවත්කාළින වූ විෂය මාලාවන් ඇතුළත් කොට විෂය මාලා සංශෝධනයකට යා යුතුය.රටට වැඩිපුරම අවශ්‍ය වන්නේ කුමන උපාධිධාරීන්ද යන්න ගැන අවබෝධයකින් විශ්ව විද්‍යාල ප්‍රවේශයන් සිදු කළ යුතුය.මෙහිදී අප රැක ගත යුතු විෂයන් ඉවත් කළ යුතුයැයි කිසි විටෙක අදහස් නොකෙරේ.උදාහරණයක් වශයෙන් ඉතිහාසය,සිංහල භාෂාව වැනි විෂයන් පිළිබඳ විශාරදයන් අපට අවශ්‍යය.එහෙත් අපට එම විෂයන් හැදෑරූවන් කොපමණ අවශ්‍යද?මේවාට දළ අදහසක් හෝ තිබිය යුතුය.
අනෙක් කරුණ වන්නේ,රැකියා යනු රජයේ රැකියා පමණක් යැයි තිබෙන යල් පැන ගිය ආකල්පය වෙනස් කිරීමට කටයුතු කිරීමයි.අද උපාධිධාරී රාජ්‍ය සේවකයන්ට වඩා විශාල ලෙස වැටුප් ලබන පෞද්ගලික අංශයේ වෘත්තිකයන් ඕනෑ තරම් සිටී.ඒ අතරිනුත් විශේෂයෙන්ම ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය අනුබද්ධිත සමාගම් විශේෂිතය.රජයේ රැකියාවන් කරන විට අප සිදු කරනුයේ අපේම මුදල් අප රට තුළම සංසරණය කිරීමය.එහෙත් ඉහත කී ආකාරයේ සමාගම් හරහා මෙරටට විශාල ලෙස ඩොලර් හා පවුම් ගලා එයි.එය රටකට ඉතා වැදගත්ය.මේ සඳහා අත්‍යවශ්‍ය වන්නේ ඉංග්‍රීසි හා පරිගණක දැනුමය.අද බොහෝ උපාධිධාරීන්ට නැත්තේද මෙයයි.එබැවින් පැලැස්තර විසඳුම් දෙනවාට වඩා එහා ගිය ‍දැක්මකින් මේ ප්‍රශ්නය දෙස බැලීමට කාලය පැමිණ තිබේ.උපාධිධරයා දැනුමෙන් හා කුසලතාවෙන් සන්නද්ධ කොට ඔහුගෙන් රටට වැඩ ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගත යුතුය.ඒ සඳහා සුදුසු දේශපාලන ඔලු ගෙඩියක් ඇත්තන් පාර්ලිමේන්තුවට යැවීමට අපද වග බලා ගත යුතුය.
එවිට පළමුව උපාධිය හා දෙවනුව කඳුල් ගෑස් යන මෙතෙක් රැකුණු සම්ප්‍රදායන් බිඳදමමින් අපට දියුණු වන ජාතියක් වීමට මඟ පෑ දෙනු ඇත.

Tuesday, November 3, 2009

රටේ පිනට ඔබ ආවා නොව අපි ඔබව පත් කළෙමු - ආබාධිත සෙබළු ජනපතිට කියති

(යුද්ධයේ සැබෑ විරුවන් කවුරුන්ද යන්න ඔබ හැමට යළි සිහි කිරීම සඳහා උපුටා ගත් පුවත්පත් ලිපියකි.)

ශ‍්‍රී ලංකා යුද හමුදාව
ආබාධිත සෙබළ පිරිස
2009-07-25 දින

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත,

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත සෙබළ පිරිස සබැඳිව ඔබතුමාගේ අවධානය යොමු කර ගැනීම පිණිසයි
උතුමාණෙනි,
ඔබතුමා ක‍්‍රියාන්විත රාජකාරි කළ අපගේ සොල්දාදුවන් හා අනෙක් සියලූ දෙනාම ගැන කතා කළා. නමුත් ආබාධිත සෙබළා ගැන කිසිම සටහනක් නෑ. අප ගැන කතා නොකළාට අපට කිසිම දුකක් නැත. අප අපගේ යුතුකම හා වගකීම සියයට දෙසීයකින් ඉටුකළේ ය. ඒ ගැන අපට සතුටුයි.
මෙම ලිපිය ලියන මා ද ආබාධිත සෙබළෙකි. මම මගේ රටට ආදරෙයි. සියලූ ජාතීන්ට ආදරෙයි. සමානාත්මතාවට කැමැතියි. එම නිසා මම ආබාධිත සෙබළෙක් වුවත් ආබාධිත තත්වය පසෙක ලා යුතුකම හා වගකීම ඉටු කළෙමි.ඔබතුමාගේ පක්ෂය එදා දුර්වල පක්ෂයක්. ඔබතුමා වටේ අද ඉන්න අය එදා කොහෙද හිටියෙ කියලා ඔබතුමාට හොඳට මතක ඇති යැයි සිතමි. ඔබතුමා වටේ ඉන්න සියලූ ම දෙනා බඩගෝස්තරවාදියෝයි. එදා ඔබතුමාව දිනවන්න ආබාධිත අපිත් ලොකු කැපකිරීමක් කළා. සෙබළෙකුට දේශපාලනය කරන්න අවසරයක් නෑ. නමුත් මේ රටට දැඩි ලෙස ඇති ආදරය නිසා ම අපගේ ජීවිතය අමතක කර අප ඔබතුමාව දිනවන්න දැඩි දේශපාලන කැපකිරීමක් කළා. මේ රටේ මිනිස්සුන්ට ඉතිහාසය අමතක වුණාට ඔබතුමාට 2005 මතක ඇති යැයි සිතමි.
එදා අප නොහිටින්න ඔබතුමාත් නැත. රටකුත් නැත. මිනී කන්නන්ගේ අමු සොහොන් පිටියක් පමණක් ඉතිරි වී තිබෙන්නට තිබිණි. ඔබතුමා මේ රටේ පිනට පහළ වූවා නොවේ. අපි ඔබතුමාව පහළ කළෙමු.
අප යුද හමුදාවට බැඳුණේ යුද්ධය සඳහාමයි. අප අපේ ජීවිතයට පොඞ්ඩක්වත් ආදරය කළේ නෑ. අප ආදරය කළේ මවුබිමට පමණි. ආබාධිත වූ පසු සෙබළා හරිම අසරණයි. මේ රටේ සෙබළු ගැන කොච්චර කතා කළත් ආබාධිත සෙබළාට හිමි නියම තැන තවම ලැබී නැත. ඒ ගැන අපිට හරිම කනගාටුයි. රූපවාහිනීවල රණවිරුවා ගැන කතාකරන කොටත් අපට කේන්ති යනවා. ඒ වෙලාවට අපේ මුවින් පිටවෙන්නේ තොපිට හෙණ ගහපිය කියන වදනයි. අපගේ බලාපොරොත්තුව වූ අවසන් යුද්ධය මාවිල්ආරුවලින් ඇරැුඹී මඩු හරහා ගමන් කරමින් සිටිනා විට අපගේ යුද හමුදාවට සෙබළ අවශ්‍යතාව දැඩි ලෙස ඇති විය. යුද හමුදාවට එකතුවන පිරිස ද ප‍්‍රමාණවත් පරිදි අඩුවිය. අපගේ ඒකක (RFT) වලට ඉහළින් බලපෑම්කරලා තිබ්බා. අනිවාර්යයෙන් ම තරුණයන් මෙච්චර ගාණක් බඳවා ගතයුතු යැයි කියලා. එම බලපෑම ආබාධිත අපහට ද ඇතිවිය. අපේ ගම්වල හිටපු තරුණ පිරිස් පුළුවන් උපරිමයෙන් යුද හමුදාවට බැඳවූවේ ය.
ඒත් අවශ්‍ය ප‍්‍රමාණය සපුරා ගැනීමට නොහැකි විය. මේ අවස්ථාවේ දී මම යුද හමුදාපතිතුමාට මෙවැනිම ලිපියක් යැව්වෙමි. ආබාධිත අපට අල්ලගන්නා භූමිය ආරක්ෂා කරගත හැකිය. පාරවල්වලට ආරක්ෂාව දිය හැකි ය. බුද්ධි රාජකාරි කළ හැකි ය. මාර්ගබාධකවල රාජකාරි කළ හැකි ය. මේ යුද්ධය ඉවර කරන්නට අපව ද දායක කරගන්න කියා මම ලිව්වෙමි. ඉහළින් අවසරය අරගෙන අපට ද යුදභූමියට යෑමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියෙමි. එතුමා ඒ ආකාරයෙන් ම අප ඉල්ලූ දේ ලබා දෙන ලදී. ඔබතුමාට ඒ ගැන අපගේ ස්තූතිය පුද කරමු. තවදුරටත් කියනවා නම් මම එතුමාගෙන් ඉල්ලා සිටියා යුද්ධය අවසන් කළ පසු ආබාධිත අප සැවොම යුද හමුදාවෙන් ඉවත් වී යාමට අවශ්‍ය වැඩකටයුතු සලසා දෙන ලෙසත් අපට සාධාරණ අයිතීන් ලබා දීමට ද (විශ‍්‍රාම වැටුපක්) කටයුතු කරන ලෙස ඉල්ලා සිටියෙමි. මෙම ලිපිය ලියන මා නම් තව ටික දිනකින් මාගේ සේවා කාලය නිමවී ආබාධිත සෙබළෙක් ලෙස යුද හමුදාවෙන් විශ‍්‍රාම යන්නෙමි. නමුත් මාගේ ආදරණීය සහෝදර ආබාධිත සෙබළුන්ට ද සාධාරණයක් ලබාදීමට උත්සාහ කිරීම මගේ අරමුණයි.
මට හැෙඟන විදිහට රටගැන සිතා අපේ ආබාධිත සෙබළු යුද භූමියට යාමට ඉල්ලා සිටියද ඔවුන් අද විඳිනා දුක් වේදනාවන් මගේ හදවත පසාරු කරනවා ඇත. මට සැනසීමක් නැත. ආබාධිත සෙබළුන්ට සාධාරණය ඉදිරියේ දී ඉටු නොවුණ හොත් අපට ඉදිරි දවසක දී මේ වෙනුවෙන් ප‍්‍රසිද්ධ වේදිකාවක හඬක් නගන්නට සිදුවනු ඇත. සියලූම ආබාධිත සෙබළ පවුල් පෙළගස්වනවා ඇත.
අපේ පළමුවැනි කණ්ඩායම (ආධාරක වන්නි බලඇණිය 1) මඩු මාර්ගය අල්ලා ගත්තේ ය. අපේ ආබාධිත සෙබළුන් පැය 24ම ගස්යට ගතකළහ. ඉදිරියට (පුනරීන්) දක්වා ගොස් අපේ සහෝදර සෙබළුන්ට අවශ්‍ය කරන සියලූ ම දෑ වෙඩි ද්‍රව්‍ය, අමතර භටපිරිස්, ආහාරපාන සැපයීම සඳහා මාර්ගයේ ආරක්ෂාව තනිකරම ලබා දුන්නේ අපේ ආබාධිත සෙබළුන් ය. එක අතක කිහිලිකරුව, අනෙක් අතේ ටී-56 ගිනි අවිය ගෙන මෙම ආබාධිත සෙබළුන්ද ඉදිරියෙන් යන සෙබළුන් හා සමාන දුක් කම්කටොළු වින්දාහ. ඒ ගැන කිසිම පත්තරයක් හෝ රූපවාහිනී හෝ නොදත්හ. හැබැයි මාධ්‍යකරුවන් ඉදිරියට ගියෙත් නැවත දකුණට ආවේත් ආබාධිත අප ලබාදුන් ආරක්ෂාව නිසයි.
මට අද තියෙන ප‍්‍රශ්නය නම් මේ රටේ ඉන්නේ මනුෂ්‍යයෝ ද තිරිසන්නුද කියන එකයි. අපේ තව ආබාධිත සෙබළ පිරිසක් ඕමන්තේ මාර්ග බාධකය භාරගෙන එතැන සිටි පිරිස ඉදිරියට යවන ලදී. මෙම ආබාධිත පිරිස ද රාජකාරිය සියයට දෙසීයක් නිවැරැදිව වගකීමෙන් ඉටුකරන ලදී. මෙම ස්ථානයේ සිටින සෙබළුන්ගේ දෙපා නැත. දෙනෙත් නැත. දෑත් තිබුණාට ඒවා බද්ධ කළ ඒවා ය. හිස්කටු කැඩිලා ය. නමුත් ඒ මාර්ග බාධකයේ දී අපේ ආබාධිත සෙබළ පිරිස විශිෂ්ට දස්කම් පෑවේ ය. අපගේ සෙබළු එම ස්ථානයට යෑමට ඉහත කිසිම දිනෙක විනාශකාරී කිසිම දෙයක් එම ස්ථානයේ දී පරීක්ෂාවට ලක්නොවී තිබිණි. අපගේ ආබාධිත සෙබළුන් එම ස්ථානය භාරගත් දවසේ ම ප‍්‍රභාකරන් නම් ත‍්‍රස්තවාදියාගේ උපන්දිනය දවසක 2008-11-26 දින දකුණේ සිංහල ජනතාවට තෑග්ගක් වශයෙන් යවන ලද ක්ලේමෝ දෙකක් හා අවශ්‍ය සියලූ වෙඩි ද්‍රව්‍ය වංගෙඩියක් තුළ තිබී ත‍්‍රස්තවාදියා ද සමග අල්ලා ගැනීමට හැකි විය. එය එම ස්ථානයෙන් නතර නොකරන්නට රට තුළ තවත් මිනී ගොඩක් දැක ගැනීමට හැකියාව තිබිණි. සමහර විට රටේ ඉන්න ඉහළ ම නායකයා ද එයට ගොදුරු වීමට ඉඩ තිබිණි.
මෙම ක‍්‍රියාව නතර කළේ සාමාන්‍ය සෙබළ වීරසිංහ නම් ගැමුණු හේවා රෙජිමේන්තුවේ ආබාධිත සෙබළා ය. මොහුට ලාන්ස් කෝප‍්‍රල් නම් නිලය ලබාදෙන ලදී. නමුත් මෙම සෙබළා එම නිලය ප‍්‍රතික්ෂේප කර නි.නො.නො. විය. මොහුට ඇත්තේ හිසේ ආබාධ තත්වයක් නිසා ඔහුට අවශ්‍ය නිදහස හා වෛද්‍ය ප‍්‍රතිකාර ය. නමුත් එතැන ඉන්න වගකිව යුතු නිලධාරීන්ට ඒ බව නොතේරේ.
හමුදාවට භාරවන ලක්ෂ ගණනක සරණාගතයන් අප ආබාධිත සෙබළුන් විසින් පරීක්ෂාවට ලක්කරන ලදී. පැය 24ම විවේකයක් නැතිව රාජකාරියේ යෙදී සිටියෙමු. ගිනිකූරක තරම් ප‍්‍රමාණය පවා අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ආබාධිත සෙබළාගේ රාජකාරිය කොහොමද කියලා ඔබතුමාට සිතාගත හැකි ය. මාර්ග බාධකයේ සිටි නමුත් මෙම සෙබළුන්ට ද කිසිම පහසුකමක් නැත. මෙම ස්ථානයේ සිටින සියලූම සෙබළුන්ට ආහාරපාන පිළියෙළ කරන්නේ, ආබාධිත (පාදයක් අහිමි) ලාන්ස් කෝප‍්‍රල් ජයරත්න නම් (එස්.ආර්) රෙජිමේන්තුවේ සෙබළා ය.
තවත් ආබාධිත සෙබළුන් පිරිසක් කොළඹ ඇතුළු මහ නගර තුළ පැය විසිහතර පුරාම බුද්ධි රාජකාරිවල යෙදී සිටිති. කොළඹ ඇතුළු සෑම නගරයකම රාජකාරිවල යෙදෙමින් ත‍්‍රස්තවාදියාගේ ත‍්‍රස්ත ක‍්‍රියා නතර කිරීමට ඔවුන්ට හැකිවිය. මෙම සියලූ රාජකාරි කරන්නේ ආබාධිත සෙබළුන් ය. ආබාධිත සෙබළෙක් යනු ශරීරයේ යම් කොටසක් හෝ කොටස් කිහිපයක් කැඞීබිඳී යාම නිසා අපහසුවෙන් ජීවත්වන පුද්ගලයෙකි. යුද හමුදාවට සුදුසු වන්නේ සර්ව සම්පූර්ණ සොල්දාදුවන් ය.
ආබාධිත සෙබළා ඉහත කී රාජකාරි කළාට එම සියලූ දේ කරන්නේ සිතේ ඇති හයිය හා සෙබළාගේ ඇති විනයගරුක බව නිසා ය. දැන් යුදහමුදාව තුළ කටකතාවක් ඇත. ප‍්‍රභාකරන් මැරෙණ මොහොතේ කියා තිබෙනවාලූ ඔබලාට ඉදිරියේ දී මං නැති අඩුව දැනෙයි කියලා. මේ කතාව හරියට ම ඇත්ත ද බොරුද කියලා අපි නොදනිමු. හැබැයි කතාව නම් අපට නිතර මතක් වෙනවා.
ත‍්‍රස්තවාදය නැති කරන්න නිවැරැදි නායකත්වය ලබා දී ඔබතුමා මහා පිං කන්දරාවක් ඔබතුමාගේ ආත්මයට එකතුකර ගත්තේ ය. ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව ආබාධිත සෙබළුන්ට වධ දී මහා පවක් කර නොගන්නා මෙන් ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
යුද හමුදා සෙබළුන්ට ගමන් පහසුව සඳහා රුපියල් කෝටි ගණනක් වෙන්කර ඇති නමුත් 2009 වර්ෂයේ සෙබළුන්ගේ නිදහස් ගමන් බලපත‍්‍රය මේ වනතුරු ලැබී නැත. ඩලස් අලහප්පෙරුම මැතිතුමා මෙම මුදල්වලට කුමක් ද කළේ. ලෝක ඉතිහාසයේ භයානකම ත‍්‍රස්තවාදය නැතිකළ එක ම රට ශ‍්‍රී ලංකාව ය ලෝක ඉතිහාසයේ ආබාධිත සෙබළුන් යුද භූමියට ගිය එකම රට ශ‍්‍රී ලංකාව ය ලෝක ඉතිහාසයේ ආබාධිතයන්ව මරාගෙන කන එක ම රටත් ශ‍්‍රී ලංකාව ය
මෙයට,
ආබාධිත සෙබළුන් පිරිසක්
2009.11.01 - ලංකා ඉරිදා සංග්‍රහය


Monday, November 2, 2009

රජතුමාගේ Rථිකේ

"ජාතික ලොතරැයි මණ්ඩලයට අනුබද්ධිත සමාගමක් වශයෙන් පිහිටැවුණු මාර්ගස්ත ලොතරැයි සමාගම (ඔන්ලයින්) හේතුවෙන් ලොතරැයි මණ්ඩලයට රුපියල් අනූඅටකෝටි විසිපන් ලක්ෂ අසූනවදහස් තුන්සිය තිස්හතරක ආයෝජන අලාභයක් සිදුව ඇතැයි මුදල් ඇමතිවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමති මණ්ඩලවට දැනුම් දී ඇත.මිලින්ද මොරගොඩ මහතා ආර්:sක ප්‍රතිසංස්කරණ හා විද්‍යා තාක්ෂණ ඇමති වශයෙන් මේ ලොතරැයිය හඳුන්වා දුන්නේය.2003 වසරේ ජූනි මාසයේදී පිහිටුවන ලද මෙම සමාගම දිගින් දිගටම පාඩු ලැබීම හා අපේක්ෂිත අරමුණු කරා ළඟා නොවීම හේතුවෙන් 2006 ඔක්තොබර් මාසයේදී ඈවර ‍කෙරුණි. මෙම සමාගමේ දිගු කාලීන ආයෝජන වශයෙන් රුපියල් 78,35,20,200 ක් හා දිගු කාලීන ණය වශයෙන් රුපියල් 20,00,000,00 ඇතුළත්ව කෝටි 98කට අධික මුදලක් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ආයෝජනය කර තිබිණි. සමාගම ඈවර කිරීමෙන් ලොතරැයි මණ්ඩලයට ලැබී ඇත්තේ රුපියල් දසලක්ෂයකට අඩු මුදලකි." - (නොවැම්බර් 02 ලංකාදීප)

ඉහත දැක්වෙන්නේ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියයි.මෙය දැන් රාජපක්ෂ රජයේ අන්‍යයතාවය බඳු වී තිබේ.මිහින් ලංකා නමින් අහස අපේ කරගන්නට තැනූ ගුවන් සේවය ද පාඩු පිට පාඩු ලැබූ අතර එහෙත්,එය තවදුරටත් ගෙන යනු වස් පසු ගිය අයවැයෙන් ද අති විශාල ලෙස මුදල් වෙන් කරනු දක්නට ලැබුණි.මේ මුදල් මේ රජයේ කිසිවකු ගෙදරින් ගෙනත් අත හරින බූදලයක් නොවේ.එය මේ රටේ මහජනයාගේ මුදල්ය.

යුද්‍ධය ජයගත් මහ රජාණන්ට ආර්ථික යුද්ධය ද ජය ගැනීම කජ්ජක් නොවේ යැයි ඇතැම්හු පාරම් බානු පසු ගිය කාලයේ දක්නට ලැබුණි.එහෙත් ශ්‍රී.ල.නි.ප. ය ප්‍රමුඛ ආණ්ඩුවක් මෙරට ආර්ථිකය කාබාසීනියා කිරීමට වඩා දෙයක් මෙතෙක් නොකළ ආකාරයෙන්ම මේ රජයද ක්‍රියා කරන බව ඒකාන්තය.පසු ගිය සතියේ ජනපති හිටි හැටියේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළේය.රටට හෙණ ගැහුවත් ඡන්දය ජයගත යුතුයයි හිතමින් නිකුත් කළ මේ නියෝගවල ප්‍රතිඵලය වැඩි කල් නොයා දැක ගත හැකි වනු ඇත.එම තීන්දු හා නියෝග මෙරට මූල්‍ය පද්ධතිය හා ආර්ථිකය අස්ථායී කිරීමට හේතු වන බව ආර්ථික න්‍යායන් දන්නෝද පවසති.අනෙක් අතට එම තීරණයෙන් රටේ සාමාන්‍ය ජනයාට නම් ලැබෙන සෙතක් නැත.

දැන් මේ රටේ හැම දේම කරන්නේ රජතුමාය.1 වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ පටන් හැම දෙයක්ම රජතුමාට කරන්නට වී තිබෙන්නේ ලොව විශාලතම කැබිනට් මණ්ඩලය ද තමා සතුව තිබියදී වීම අතිශයින් කණගාටු දායකය.මඟ නගන්නේත් ජනපතිය.ගම නගන්නෙත් ජනපතිය.වෘත්තීය අරගලවලට මැදිහත් වන්නෙත් ජනපතිය.සරසවි සිසුන් සාකච්ඡා ඉල්ලා සිටින්නෙත් ජනපති සමඟය.පොලිසියෙන් තරුණයන් මරා දැමූවිට ඔවුන්ගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කරන්නෙත් ජනපතිය.මොකද පත් කර සිටින එකෙක්ටවත් දෙන වැඩක් හරියට කරගන්නට බැරි නිසාය.මේ ලිපියේ ඉහළින්ම දැක් වූයේද එවැන්නෙකුගේ හපන් කමක්ය.එ.ජා.ප. නායකයා සමඟ රට හදන්න බෑ කියා මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්නට ගිහින් රටට වැඩ කරන්නේ ඒ ආකාරයටය.එලෙසම ආණුඩුවට ගිය තවත් අයෙක් ලක්ෂ 44 ක් වැය කරමින් තමන්ගේ දුවට උපන් දින සාදයක් පැවැත්වූ හැටිද අපිට මතකය.
අමාත්‍ය මණ්ඩලය මේ ආකාරයෙන් බරටම වැඩ කරගෙන යද්දී ජනාධිපති තුමා ද මහ බැංකුව සමඟවත් හරි හැටි සාකච්ඡා නොකොට බැංකුවලට වැඩ දෙන්න ගියේය.මහින්ද මහත්තයාගේ ආර්ථිකේ එහෙමය.අන්තිමට මේ ‍අවුරුද්දේ අපේ රටේ අයවැයකුත් නැත.රජතුමා යුද්ධය දිනපු ගමන් ඔක්කොම හරි කියා හිතූ අයට දැන්වත් මොළේ පෑදුනොත් හොඳය.
මොකද මහ පාරේ යන කොට ඇඟේ හැප්පෙන තරම් කටවුට් ගසා පිම්බී රජතුමෙක් වුණාට මහින්ද මහත්තයා යුද්ධය දිනුවේ තනියෙන් නො‍වේ.මහින්ද මහත්තයාට යුද්ධෙ හිතේ හිටියට කරන්න ඕනෙ විදියට හැම දේම හරි බරි ගැහී තිබුණු නිසාය.හැබැයි ආර්ථික යුද්දෙ මේ විදියට කරන්න ගියොත් ආයේ මේ ආණ්ඩුව ඉන්නකම් අය-වැයක් නම් දකින්නට නොලැබෙනු ඇත.


Wednesday, October 21, 2009

"ශ්‍රී ලංකා ජනාධිපති රක්ෂණය"

මෑතකදී පැවති සියලුම මැතිවරණවලදී විපක්ෂයෙන් රජයට නැගුණු ප්‍රබල චෝදනාවක් වූයේ රාජ්‍ය දේපළ හා මාධ්‍ය විශාල ලෙස රජයේ මැතිවරණ ක්‍රියා දාමයට යොදා ගන්නා බවකි.එහෙත් මෙය මේ රජය පමණක් කළ ක්‍රියාවක් යැයි පැවසිය නොහැක.පවතින්නාවූ ඕනෑම රජයක් තම මැතිවරණ කටයුතු සදහා සුලුවෙන් හෝ රාජ්‍ය බලය හා දේපළ යොදා ගන්නා බව නොරහසකි.
එහෙත් මේ තරම් නිර්ලැජ්ජාශීලීව රජය තම මැතිවරණවලට සිය බලය,ධනය,දේපළ හා මාධ්‍ය යොදා ගත් කාලයක් නම් මා දැක නැත.මාධ්‍යවල හැසිරීම නම් ඉතා පිළිකුල් සහගතය.මේ සියල්ලේදී වඩාත් පුදුමය දනවන කාරණාව වන්නේ රජය තමාට තරගයක් නැතයි කියමින්ම,රජය ඉතා ජනප්‍රිය බව කියමින්ම මෙලෙස ඡන්ද ව්‍යාපාරයේ යෙදීමයි.
දැන් අලුතින්ම ප්‍රචාරය වන වෙළද දැන්වීමක් දුටු විට මට ඒ ගැන ලියන්නට ඕනෑ බව සිතුණි .මීට ප්‍රථමයෙන්ද රාජ්‍ය ආයතනවල වෙළද දැන්වීම් අපි දැක ඇත්තෙමු.එහෙත් එය මැතිවරණ ප්‍රචාරක දැන්වීමක ආකාරයක් ගත්තේ නැත.කාලයක් පෞද්ගලික අංශය සතුව තිබූ රක්ෂණ සමාගම වාසුදේව නානයක්කාර මහතාගේ උත්සහයක ප්‍රතිඵලයක් වශයෙන් යළිත් රජයට පවරා ගැනුණි.එය මහින්ද චින්තනයෙන් කරන්නට සිතා සිටි දෙයක්ද නොවේ.කෙසේ හෝ දැන් ප්‍රචාරය වන දැන්වීම පූර්ව මැතිවරණ ප්‍රචාරණයක් බදුය.
සාමාන්‍යයෙන් වැඩි පුර වෙළද දැන්වීම් අවශ්‍ය වන්නේ තම අලෙවිය වැඩි කරගැනීමටය.නැතිනම් බංකොළොත් වන තත්වයක් නිර්මාණය වී ඇති විටෙකඑයින් ගොඩ එන්නටය.කෙසේ වුවත් රාජ්‍ය යාන්ත්‍රණයෙන් වෙන්ව තිබුණු නිසාදෝ රක්ෂණය මෙතෙක් කල් සාර්ථකව ගමන් කරමින් තිබේ.රජයට පවරා ගන්නා විටත් එය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයාව සිටියේය.සරලව කියතොත් දැන්වීම්වලින් තොරව වුවද ඉදිරියට යෑමට
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයට හැකියාවක් ඇත.එහෙත් වෙළද දැන්වීමක් ප්‍රචාරය කිරීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය ගැන මම ප්‍රශ්න නොකරමි.ප්‍රශ්නය ඇත්තේ එහි අන්තර්ගතයයි.අයෙක් පවසන්නේ "අපේ ජීවිත රැකුනේ ජනාධිපතිතුමා හා මේ රජයට පිං සිද්ධ වෙන්න" යනුවෙනි.තවකෙකු පවසන්නේ ජනාධිපතිතුමා හා මේ රජය තමන්ට විශ්වාස කළ හැකි බවයි.එය දකින මට නම් සිහියට එන්නේ ළගදීම මහ මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවයි.රක්ෂණ සමාගම බංකොළොත් වී නැතත්,වෙළද දැන්වීමකින් පවා තමාට ලකුණු දා ගන්නට උත්සාහ කිරීමට තරම් මේ රජය බංකොළොත් වී ඇත්දැයි මට සිතේ.කාලයක් ටෙලි නාට්‍යයක රගපාන නලු නිළියන් යොදා ගෙන සන්ධානය මිනිත්තු 30ක ඡන්ද ප්‍රචාරක වැඩසටහනක් කළ බවද අපට මතකය.මෙහෙම ගියාම බලන්න ප්‍රවෘත්ති හා වැඩසටහන් පමණක් නොව වෙළද දැන්වීමුත් නැති වෙනු ඇත.
මෙතෙක් අප මධ්‍යස්ථ යැයි සිතා සිටි ඇතැම් පෞද්ගලික මාධ්‍යද දැන් රජයට කඩේ යෑමට පටන් ගෙන තිබේ.ඒ බව ඔවුන් ගේ හරබර,සමබර පුවත් විකාශවලින් පෙනේ.මට හැගෙන ආකාරයට ඉහත කී වෙළද දැන්වීම අවසානයේ "මෙම දැන්වීම මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි." යනුවෙන් සදහන් වේ නම් වඩාත් උචිත වනු ඇත.