If you can't read,please click on here.

Monday, March 15, 2010

ආණ්ඩුවේ ඉටු නොවන සිහිනය.. : 2/3

පරාජයෙන් හෙම්බත්ව සිටි විපක්ෂය නව පණක් ලැබූයේ ජෙනරාල් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමඟය.තනි අශ්වයකුගේ තරඟයක් වෙතැයි සිතා සිටි ජනාධිපතිවරණය ද්වන්ධ සටනක් බවට පත්නරගන්නට සමත්වූ විපක්ෂය ජෙනරාල් පසු පසින් නව ජන රැල්ලක් නිර්මාණය කරන්නට සමත් වූ බව දැකිය හැකි විය.එය රජය හා ජනාධිපතිවරයාද ‍කෙතරම් තැති ගැන්මට ලක් කළේද යන වග නාම යෝජනා දුන් දින‍යේ පටන් ඡන්දය පැවැත්වෙන මොහොත දක්වාම රජය මහජන දේපළ ඇතුළුව තමා සතු සියලු දෑ පහත් හා නින්දිත ලෙස ජෙනරාල්ට එරෙහිව යොදා ගත් ආකාරයෙන්ම පැහැදිලිය.විපක්ෂ අපේක්ෂකයාගේ ජය කෙසේ වෙතත්,මහින්ද රාජපක්ෂ මහතා යන්තමින් මිස පහසුවෙන් ජය නොගනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ මතය වුවද ,ඡන්ද ප්‍රතිඵලය අතිශයින් විශ්මය ජනකවූයේ ජනපති මහින්ද විපක්ෂ අපේක්ෂකයා අභිබවා වැඩි ඡන්ද 18 ලක්ෂයක් ලබා ගනිමින් ජය ගැනීමට සමත් වීමත් සමඟය.කොම්පියුටර් ජිල්මාට් ඇතුළු චෝදනා රැසක් විපක්ෂයෙන් එල්ල වුවද අද වන තුරුත් ඒ කිසිදු චෝදනාවකින් 2010 ජනපතිවරණ ප්‍රතිඵලය වෙනස් කරන්නට හැකි වී නැත.මේ පරාජයෙන් විපක්ෂය කබලෙන් ලිපට වැටුණි.පක්ෂ වශයෙන් භේද භින්න විණි.එය ජය කණුව පෙනෙන මානයට විත්,ඇද වැටුණාක් බඳු මානසිකත්වයක් විය.තැන දුටු තැන වල ඉහ ගත යුතුයැයි ආණ්ඩුව සිතෙන්නට ඇත්තේ මේ නිසාය.
විපක්ෂයේ අප්‍රාණිකත්වය ගැන ඉව වැටුණු ආණ්ඩුව දැන් ජනතාවගෙන් 2/3ක බලයක් ඉල්ලා සිටියි.තමාට එය කළ හැකි වෙතැයි සිහින මවමින් සිටී.එහෙත් මේ 2/3 ඉල්ලන්නේ කුමකට ද? රටට දැන් හදිසියේම අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ද?එවැන්නක් කිරීමට 2/3 අවශ්‍යම ද?මේ ඉල්ලන බලය දු‍න්නොත් ජනතාවට කුමක් සිදුවේද? ගහෙන් වැටුණු අපිට ගොනුන් අනිනු ඇත.හිඟන්නාගේ පාත්තරය වී ඇති අපේ රටට හෙනහුරා කඩා පනිනු ඇත.ඉන් එහා සුගතියක් නම් අත් නොවන බව පැහැදිලිය.මේ ව්‍යවස්ථා සංශෝධනය රට ගොඩ නැගීමට ද? බඩු මිල අඩුකිරීමටද?රැකියා බිහි කිරීමටද?නැතිනම් තනි පවුලක් ශ්‍රී ලංකාවේ සදාකාලික පාලකයින් වීමට ද?
විකාරරූපී මනාප ක්‍රමය නම් අහෝසි විය යුතු බැව් මේ දිනවල මග තොට යන කාටත් පසක් වී ඇතැයි සිතිය හැක.දත් විලිස්සාගෙන සිටින විකට මුහුණු හා ඊට කිසි ලෙසකින්වත් නොගැළපෙන රුවන් වැකි යොදා තාප්පවල ඇලවී සිටින අයවලුන් දුටු විට රාජකාරියට යන්නට වන්නෙත් ලේ රත් කරගෙනය.එහෙත් මනාප ක්‍රමය ඉවත් කිරීම ඇතුලු ජනතාව කැමති වන්නාවූ ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම්,ඒ සදහා රජය 2/3 ඉල්ලා සිටින්නේ ඇයි?එය පසුපස ඇත්තේ බියකරු සිහිනයකි.එනම් මේ ගෙනෙන්නට හදන්නේ කුමන පන්නයේ ව්‍යවස්ථාවක් ද යන්නයි.ත්‍රස්තවාදය නිමා වී තිබියදීත් හදිසි නීතිය පවත්වා ගනිමින්,විරුද්ධවාදීන් මර්දනය කරන මෙවන් රජයකින් යහපත් ව්‍යවස්ථාවක් පැතිය හැකිද?එහෙත් ජනතාවගේ වාසනාවට මේ ඡන්ද ක්‍රමයෙන් කිසිදාක තනි පක්ෂයකට 2/3ක බලයක් ලබා ගත නොහැක.එය මේ සන්ධාන රජයටත් එලෙසම පොදුය.


මතු සම්බන්ධයි.......

No comments:

Post a Comment