If you can't read,please click on here.

Monday, June 7, 2010

ඇමෙරිකාව එපා කියා ඉන්දියාව බදා ගැනීම

ශ්‍රී ලංකාව වූ කලී අතීතයේ විදෙස් ජාතීන්ට යටත් විජිතයක් ව පැවති රාජ්‍යයකි.අප එම යටත්විජිත වහල් බාවයෙන් මිදෙනු ලැබුවේ 1948 දී යැයි කියවේ.කෙසේ වුවද එසේ වූ පමණින් අප මුළුමනින්ම ස්විධීන නොවු අතර ක්‍රම ක්‍රමයෙන් එකී පරාධිපත්‍යයෙන් පිටතට පැමිණියෙමු.1972 ජනරජයක් වශයෙන් අප නම් වන්නේ ද එතෙක් පැවති රැජිනගේ බල ආධිපත්‍යයට තව දුරටත් යටත් නොවන රටක් බවට පත් වෙමිණි.එහෙත් ඉන් මතුවට හෝ ශ්‍රී ලංකාව මුළුමනින්ම ස්වාධීන වූ රාජ්‍යයක් ලෙස නොපැවති බවට නිල නොවන මට්ටමෙන් හෝ පිළි ගැනීමට අපට සිදු වේ.
තුන්වන ලෝකයේ රටක් ලෙස ඉදිරියට යන අපි තනිවම දෙපයින් සිට ගන්නට දිගින් දිගමට අපොහොසත් වීමු.එහෙයින් අපට අනෙක් රටවල ආධාර,උපකාර පතන්නට සිදු විය.මෙසේ අනුනගෙන් පිහිට පත්න්නට එක් එක් රාජ්‍ය නායකයා අනුගමනය කළ ප්‍රතිපත්ති අනුව මෙරට නොනිල වශයෙන් ඇතැම් රටවල යටත් විජිත බවට පත් වෙන බවක් ද දක්නට ලැබුණි.1994ට පෙර මෙරට වැඩිම කාලයක් බලය හෙබවූයේ එ.ජා.ප. යි.පසු කාලීනව එ.ජා.ප. ය යනු ඇමෙරිකානු හා යුරෝපී ගැතිවාදී පක්ෂයක් ලෙස නම්වූ ආකාරයක් දක්නට ලැබුණි.මෙය මෙරට ස්වාධීනත්වය පාවා දීමක් ලෙස එකල විපක්ෂයේ සිටි දේශපාලකයින් බලවත් ලෙස විරෝධය පාමින් කියා සිටියහ.
වත්මන් රජය බලයට පත් වන්නේ එ.ජා.ප.යේ තිබූ විදෙස් ප්‍රතිපත්තියද බරපතල ලෙස විවේචනය කරමිනි.කෙසේ වුවද වත්මන් ජනපතිවරයාගේ පත්වීමත්,ඔහුගේ පාලන කාලයත් ශ්‍රී ලංකාවේ විදෙස් සබඳතාවන් හා ප්‍රතිපත්ති වෙනස් මඟකට යොමු කරමින් ඇති බවක් පෙනේ.
රාජපක්ෂ රජය බලයට පත්ව කෙටි කලක් තුළ උතුරේ අර්බුදය ‍සමනය කිරීම සඳහා යුධමය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ විය.මෙම යුධමය ක්‍රියාවලිය අතරතුර ඇමෙරිකාව,යුරෝපය හා එ.ජා.සං. හා විවිධ මානව හිමිකම් සංවිධාන අප රටට හොස්ස පොවන්නට පටන් ගත්තේය.එහෙත් ඒ සියලු ඇඟිලි ගැසීම් මායිම් නොකොට,යුද්ධය දිගටම පවත්වාගෙන යන්නට රජය ක්‍රියා කළේය.එය ප්‍රශංසිතය.යුද්ධය අවසානය කරා ළඟාවෙත්ම අසල්වැසි ඉන්දියාවද හොස්ස පොවන්නට විය.සටන් විරාමයන් ගැන පවා කතා ඇසෙන්නට විය.කෙසේ වුවද අවසානයේ ඒ වන විට යළි හැරවිය නොහැකි තැනට පත් ව තිබූ යුද්ධය අවසානය කරා ළඟා කරගන්නට අපට හැකි වුණි.මේ යුද්ධය සාර්ථකව නිම කිරීම සඳහා අපට උදව් දුන් විදෙස් මිතුරන් සිටියහ.ඒ අතරින් පාකිස්ථානය හා චීනය ඉදිරියෙන්ම සිටින අතර,සිය නිශේධ බලය භාවිතා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටගත් රුසියාවද අපට අමතක කළ නොහැක.කෙසේ වුවද මේ ලැයිස්තුවේ ඉන්දියාව සිටින්නේ තරමක් පසු පසිනි.ඔවුන් අපට බොක්කෙන්ම උදව් කළා යැයි කීමට හැකියාවක් නැත.මුල් කාලීනව ඉන්දියාව ප්‍රබල ලෙස කොටි හිතවාදී වූ අතර,තරමක් හෝ එකී මතයෙන් ඔවුන් මිදෙන්නේ රාජීව් ගාන්ධි ඝාතනය නිසාවෙනි.කෙසේ වුවද ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ ඉන්දියාවේ හිත යට සැඟවුණු ආශාව තවමත් තිබෙන බව නොරහසකි.
වර්තමානයේ අප දකින්නේද ඉන්දියාවට එකී ආශාව වෙනුවෙන් අපි ඉඩ හරිමින් සිටින බවකි.
"මේ පාර කොහොම හරි ඕක ඉවර කරගනින්", කියා බොක්කෙන් අපිට උදව් කරපු පාකිස්ථානයට,චීනයට හෝ රුසියාවට වඩා අපි ඉන්දියාවට ඇලුම් පාන්නෙමු.
හදිසියේම අපි ලංකාවට IIFA ගෙන්වා ගත්තෙමු.ඇති තරම් ඔවුන් වෙනුවෙන් වියදම් කෙරුවෙමු.එසේ කරද්දීත් ලෝ ප්‍රකට හා මෙරට සිනමා ලෝලීන් පවා වඩා ආදරය කරන ඇතැම් ඉන්දීය සිනමා තරු ඉන්දියාවෙන් ආවේ නැත.එල්.ටී.ටී.ය. නැති කළ පසුත් ඉන්දියාවට ඒ නළුවන් ලංකාවට එවා ගන්නට පුළුවන් වුණේ නැත.අන්තිමට අපි අතිශයින් ජනප්‍රියත්වයට පත් ලෝ ප්‍රකට සුපිරි නළු නිලියන්ට පමණක් නොව,අඩ නිරුවතින් නටන,සෙසු චරිත නළු නිළියන්ටද රතු පලස් එලුවෙමු.කියන තරම් මහා ධන සම්භාරයක් අපිට ලැබුණා දැයි නම් අපි නොදනිමු.එහි ප්‍රතිපල දැක ගැනීමට ටිකක් කල් යනු ඇත.මෙරට සාමාන්‍ය වැසියාට ඒ මුදලින්වත් යමක් නොවුණහොත්,එයත් වාහන බදු අඩු කරමින් මහ පැලැන්තියට සැලකුවා සේම මේකත් ඒ අයගේ හිත සුව පිණිස පැවැත් වූ සාදයක් වනවා ඇත.මෙය IIFA විරෝධයක් නොවේ.එහෙත් ඊට වඩා අපිට කරන්නට දේවල් තිබේ.ඒ දේවල් කරන්නට මුදල් සොයා ගත හැකි එකම මාර්ගය IIFA නොවේ.
තවත් පැත්තකින් 13 වන සංශෝධනය බලාත්මක කරන්නට දැන් ඉන්දියාව අපිට කියයි.මේ අතර කරළියට "සීපා" පැමිණ ඇත.එම ගිවිසුම අත්සන් කළහොත් මෙරටට වන හානිය අත්දැකීම් සහිත විචාරකයින් පෙන්වා දී තිබේ.ඉන්දියාව මේ හදන්නේ දේශපාලනිකව හා ආර්ථික වශයෙන්ද අප රට ආක්‍රමණය කිරීමටය.සංස්කෘතික වශයෙන් ඉන්දියාව අපව දැනටමත් ප්‍රබලව ආක්‍රමණය කරමින් සිටී.ලෝක ආර්ථික බලවතුන් පසු ගිය ආර්ථික අර්බුදයෙන් බිඳ වැටෙද්දී ආසියානු කලාපය තුළ  සිය ආර්ථිකය බලවත් කර ගනිමින් ඉදිරියට යන ඉන්දියාවට ශ්‍රී ලංකාව වැනි රටවල වෙළඳපල භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙන්ම සිය අණසකට නතු කර ගැනීමට ඕනෑ වී තිබෙන බව තේරුම් ගත යුතුය.සැබැවින්ම අල්ලපු රට වූ පමණින් ඉන්දියාවට ඕනෑ විදියට නටන්නට තරම් ඉන්දියාව අපිට කළේ කුමක්ද කියා සිතන්නට කාලය හරිය.නැත්නම් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කුඩා ඉන්දියාවක් වනු ඇත.
"ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ නංගී කෙනෙක්" කියා ජනාධිපතිතුමා කිව්වෙත් අක්කා කියන විදියට නංගී ඉන්න හදන බවදැයි අපි නොදනිමු.එහෙම ඉන්න යනවනම් ඇමෙරිකාවට,සුද්දොන්ට පතුරු යන්න බැනපු එකත් අපරාධයක්ය.

1 comment: