If you can't read,please click on here.

Sunday, December 13, 2009

'ජොහොර' ඇදහිල්ලෙන් දැරියක් මිය යයි,"ශ්‍රී දේශය" නිහඬයි!

'ජොහොර' නැමැති ඇදහිලි ක්‍රමයකට අනුව ‍රෝග සුව කිරීමට ගොස් කොබෙයිගනේ තාරකා හංසිනී නැමති 14 හැවිරිදි දැරියක් මිය ගිය බව පසු ගිය සතියේ ජන මාධ්‍ය තුළින් දැකිය හැකි විය.මිය ගිය දැරිය දැඩිව රෝගීව සිට ඇති අතර ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී ඇයගේ රෝගය සුව කිරීමට මෙම ඇදහිලි ක්‍රමයට අනුව පිළිවෙත් කර ඇති අතර,අවසානයේ ඇය මිය ගොස් ඇත.රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන්ට අදහස් දක්වමින් මෙම මියගිය දැරියගේ සොහොයුරා පැවසුවේ ‍,මෙම ඇදහිලි ක්‍රමය ගැන තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවත්,තම නැගණිය කොහේ සිටියත් මිය යන්නේ නම්,එය නොවැළැක්විය හැකි බවත්ය.තවද ඉදිරියටත් තම විශ්වාසය එලෙසම පවතින බවද ඔහු පැවසීය.භික්ෂුන් වහන්සේලාද මෙයට සහභාගී වී ඇති බව රූප රාමුවල දක්නට ලැබුණු අතර,කාන්තාවක් පැවසූයේ මෛත්‍රී බුදුන්ගේ අනුහසින් රෝග සුව වෙන බවය.දැනටම මෙම 'ජොහොර' ඇදහිලි ශාඛා 25ක් පමණ ඇති බවත් වාර්තා විය.
මීට සති කිහිපයකට පෙර ක්‍රිස්තියානි දේව මෙහෙයකදී මිය ගිය කාන්තාවන් ගැන මහත් හඬක් අවදි කළ "ශ්‍රී දේශය" නම් බ්ලොග් අඩවිය මෙම රෝග සුව කිරීම හා මිය යෑම ගැන වචනයක්වත් නොලිවීම ගැන මම පුදුම නොවෙමි.එයට හේතුව මෙම බ්ලොග් අඩවිය ක්‍රිස්තියානි-විරෝධී ආගමික අන්තවාදයත් ප්‍රකාශ කිරීමක් මිස,සැබෑ ලෙස බෞද්ධ උරුමය රකින්නට හෝ මෙවැනි ආගමික කල්ලිවලට එරෙහි වීමක් හෝ නොකරන බැවි කල් තියා අවබෝධ කර ගත හැකි වූ නිසාය.ක්‍රිස්තියානි හෝ වෙනතු ආගමක හෝ මූලධර්මවාදීන් හෝ වෙනත් ආගමික කල්ලි රටට වින කරන්නේනම්,ඒවාට එරෙහිව කතා කිරීම සාධාරණය.එහෙත් "ශ්‍රී දේශය" උත්සාහ කළේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ගැනද,චරිතය ගැනද පදනම් විරහිත හා මනස්ගාත ලියා ඇති පොත්වල කරුණු ගෙන ක්‍රිස්තියානි විරෝධී අදහස් දැක්වීමය.උන්වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නොවන බවට දැන් පොත් පත් කිහිපයක්ම පළවී ඇති අතර,මා සතුවද ඒ අතරින් එකක් තිබේ.එබැවින් මෙය හුදෙක් ආගමික අන්තවාදය කරා ගමන් කිරීමකි.ක්‍රිස්තියානි මෙහෙයක් වූ නිසා පමණක් මීට පෙර රෝගියෙකු මිය ගිය විට කතා කිරීමෙනුත්,දැන් නිහඬව සිටීමෙනුත් පෙනී යන්නේ එයයි.
එබැවින් මා මුල සිටම ඉල්ලා සිටියෙත්,දැනුදු ඉල්ලා සිටින්නේත්,තමා තුළ ඇති ආගමික වෛරය මෙවැනි අදහස් ප්‍රකාශකිරීම්වලදී මුදා නොහරින ලෙසය.ජාතිය මුල් කරගෙන ඇති වූ ඩබරය නිසා අප පුංචි ශ්‍රී ලංකාව වසර 30ක් වධ විඳ තිබේ.අපි හැමදාම එක් තැන ඉන්නට වී ඇත්තේ එකී අර්බුදය නිසාය.දැන් එය යන්තම් නිම වූවා පමණි.තවත් ජාතික හෝ ආගමික බෙදීම් නැමති විෂ බීජ මේ රටට අවශ්‍ය නොවේ.මෙය මීට පෙර මා පෙන්වා දුන් විට එය තර්ජනය කිරීමකැයි ඇතැම්හු නිර්වචනය කළහ.මා ලංකාවට ආදරය කරන තවත් එක් පුරවැසියෙක් පමණි.මට එවැනි තර්ජනයක් කිරීමේ බලයක් ‍හෝ අයිතියක් මෙන්ම,ඕනෑකමක් ද නැත.මට අවශ්‍ය වන්නේ මේ පුංචි ශ්‍රී ලංකාව තුළ හැම ජාතියක්ම,හැම ආගමක්ම සහයෝගයෙන් අත්වැල් බැඳගෙන එකට ජීවත් වනු දැකීමය.ඊට බාධා කරන මතවාදයන් අප සමාජයට යහපත් නොවේ.
අතීතයේද බුදු දහමට විවිධ තර්ජන එල්ල විය.සුබද්‍ර වැනි භික්ෂූන් ශාසනය තුළ සිටි‍මින් එය තුළට වැරදි දේ ඔබ්බවන්නට උත්සාහ කළහ.එවිට ධර්ම සංගායනා පවත්වා එවැනි භික්ෂූන් ශාසනයෙන් නෙරපා බුදු සසුන පවිත්‍ර කරනු ලැබීය.බුද්ධ දර්ශනයට හානි පමුණුවන හැම අවස්ථාවකදීම එවැනි සංගායනා මඟින් ශාසනය පිරිසිදු කරනු ලැබීය.අද එවැනි සංගායනා පැවැත්වෙන්නේ නැත.එහෙත් මේවා ගැන කතා කිරීම පසෙක තබා අන්‍යාගම්වලට දොස් නැගීම ඵලක් නොවේ.
ඉතිහාසයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය සිටින රටේ අද බුද්ධ ශාසන අමාත්‍යංශයක් නැත.මේ ගැන කතා කරන්නට කෙනෙක් නැත.එල්ලාවල මේධානන්ද හිමි අතේ පැළවෙන බොරු කියා පංච ශිලයද කඩ කරද්දීත්,මත් පැන් බීම ගැන ජනමාධ්‍යට විහිළු සපයද්දීත්,කතා කරන්නට කෙනෙක් නැත.රතන හිමි අල්පේච්ඡ ජීවිතය පසෙක තබා කෝටි ගණන්වල මාළිගා හදද්දීත් "ශ්‍රී දේශය" ද නිහඩය.ධර්ම රාජ්‍යය හදන්න ගිය ගිහි ඇමතීන් තුන්වන හා පළවෙනි සිල් පද කඩමින් තම පවුලවත් රැක ගන්නට අපොහොසත් වෙද්දීත්,සමහරුන්ගේ කටවල් නිහඬය.ඒවා පෞද්ගලික කාරණා බව කෙනෙකුට කිව හැකිය.එය සැබෑවකි.එහෙත් ප්‍රශ්නය අද වැඩිපුරම කෑ ගසන්නේත්,මෑතදී වූ සිද්ධියේදී වියරුවෙන් මෙන් හැසිරෙමින්,සෙනඟ කුපිත කරවමින් දේවස්ථාන කඩා බිඳ දමන්නට ඉදිරිපත් වන්නේත්,මේ අයම වීමය.එබැවින් වරද නිවැරදි විය යුත්තේ එතැන් සිටය.බොරුවට කෑ කෝ ගසමින් ආගමික් යුද්ධයක් ඇති කිරීමෙන් නොවේය.
අදටත් බුදු බණය එලෙසින් පිළි පදින බෞද්ධ භික්ෂූන් වහන්සේලා අප රටේ සිටිති.බුද්ධ ශාසනයට වින කරමින් තමා බෞද්ධ යැයි පෙනී සිටින්නන්ගෙන් මුලින්ම බෞද්ධයින් බේරා ගත යුතුය.("ශ්‍රී දේශය" වැනි බ්ලොග්කරුවන්ද අයත් වන්නේ එම ගනයටය.)ඉන් පසු කුමන හෝ ආගමික කල්ලියක් සදාචාර විරෝධීව හෝ මෙරට ආගමික සහජීවනයට හානි කරන්නේ නම්,ආගම් බේදයකින් තොරව අප එයට එරෙහි විය යුතුය.අපගේ මේ මාතෘ භූමිය සුන්දර කර ගත හැකි වන්නේ එවිට පමණි.

6 comments:

  1. මෙවැනි ඇදහිලි හෝ විශ්වාස පිරිශිදු බුදුදහම මහින් අනුමත නොකරන අතර හෙළු උරුමය වැන්නන් සේම තවත් එක් මිත්‍යාවක් පමණි. කාලයෙන් කාලයට සිදුවන මෙවැනි ක්‍රියාවන් හා මත කාලයත් සමගම වැලළී යන අතරමැ ඒ නිසා සිදුවන විපාක වලට පිලිතුරු සෙවීම අදාල අංශ හා අධිකරණයේ වගකීමකි.

    කෙසේ නමුදු සර්ව බලධාරී දෙවි කෙනෙකුගේ හෙළුව පෙන්වා දුන් හා ඒ තුලින් අපව දැනුවත් කලා වූ ශ්‍රිදේශය වෙත මේ සම්බන්ධව ඇගිල්ල දික් කිරීමෙන්මැ තවමත් ඔබ සිත තුල එම බ්ලොග් සටහන කෙරෙහි පැලැපැදියම්ව පවතින වෙරය හා හෙලා දැකීම කවදා කෙලවර වන්නේදැයි මා නොදනිමි.

    කෙසේ නමුදු අනගාරික ධර්මපාල වරෙක කියුවාක් මෙන් ඔබ වැනි කළු සුද්දන් කොතරම් සංඛ්‍යාවක් මේ උතුම් දෙරණ තුල බෝවී ඇත්දැයි ජන සංගනයක් කිරීමෙන් වූවද සොයා ගත නොහැකි වනු ඇත.

    මිත්‍රය, වෛරයෙන් වෛරය කිසිදිනක නොසංසිදේ.අවෛරයෙන්ම වෛරය සංසිදේ.

    තෙරුවන් සරණයි.
    කසුන්.
    .

    ReplyDelete
  2. ඔබ පවසන ආකාරයට "ශ්‍රී දේශය" මෙවැනි දෑ පෙන්වා දුන්නා නම්,දැන් නිහඬ ඇයි දැයි මම අසමි.මේ ඇදහිල්ලෙන් ද කීපදෙනෙකුම මිය ගිය බව ගම් වැසියන් කියයි.ඔබට හා ශ්‍රී දේශයට ක්‍රිස්තියානි ඒවා පමණක් පෙනෙන්නේ ඇයි ද යන්න ගැටළුවකි.
    අනෙක මා පෙන්වා දුන්නේ මෙවැනි කල්ලි ගැන කතා කිරීම සාධාරණ වුවද,ආගමික ශාස්තෘවරුන්ට නිගා කිරීම හෝ ඔවුන් ගැන බොරු අදහස් ප්‍රකාශ කිරීම් අනවශ්‍ය බවය.හෑම ආගමකම බැලූ බැල්මට පිළිගත නොහැකි හා තර්කයට බඳුන් වන දෑ තිබේ.එහෙත් මා කිසිම විටෙක වෙනත් ආගමක එවැනි කරුණු ගැන හෝ වෙනත් ආගම්වල ශාස්තෘවරුන්ගේ චරිත ගැන විග්‍රහ නොකරමින් අදහස් ප්‍රකාශ කිරීමේ විනයක් පවත්වා ගතිමි.
    මා මේ කිසිවක් පවසන්නේ වෛරයෙන් නොවේ.අප උගෙන ඇත්තේ සතුරාට ද ප්‍රේම කරන්නයි.වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව "නහි වේරේන වේරානි.." ගාථාවෙන් මාද උගෙන ඇත.මා සෑම ආගමකටම ගරු කරමි.එහෙත් ඔබ එක් අන්තයකට පමණක් සීමාවී කටයුතු කරන බව පෙනේ.ක්‍රිස්තියානි ඇදහිලි අතර ඇති දුර්වලතා ගැන ද ,වැරදි ගැන ද මා ලියා ඇත.එහෙත් ඔබ තවමත් කණ්නාඩිය ගලවාගෙන ලෝකය දෙස බලන්නේ නැත.

    ReplyDelete
  3. ආගමික සමානාත්මතාවය හා ඒ පිළිබදව අදහස් ප්‍රකාශ කිරීමේ විනය පවත්වාගෙනයාම සම්බන්ධයෙන් මම ඉතාමත් අගයමි.
    කෙසේ නමුදු ඔබ විසින් මෙම විනය පවත්වාගෙන ගියද,නොගියද, ඒ තුලින් විශ්වයේ ඇතිවීම නැතිවීම පිලිබදව පූර්ණ විද්‍යාත්මක සත්‍යතාවය හෙලි කර ඇති දර්ශනයකට අබමල් රේණුවක හෝ හානියක් නොවන බවත් ඒ සදහා කාලය නාස්තිකිරීමෙන් තේරුමක් නොවන වග අවබෝධකර ගැන්මට තරම් ඔබ ප්‍රයෝගවී ඇත්දැයි දැනගැනීමට මට අවශ්‍යතාවයක් නොමැත.
    "ශ්‍රී දේශය" නිහඩතාවය සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්නකිරීමට වඩා ඔහුගෙන්ම ඇසීමමැ වඩා යෙහෙකි. (හෝ ඔබගෙන්ම) මන්ද යත්, අන්‍ය පුද්ගලයින් හෝ ඔවුන්ගේ වැරදි සෙවීමට වඩා තමා ගැනම තම අඩුපාඩු සකසා ගැනීම කෙරෙහි උත්සුක වීම මාගේ දර්ශනය බැවිනි.

    නමුදු මා හට බයිබලය සම්බන්ධයෙන් තව දුරටත් නිහඩ පිළිවෙතක් අනුගමනය කල නොහැක. මක් නිසාද යත් යමෙක් වැරදි මාර්ගයෙහි යන්නේ නම් එය පෙන්වා දීමමැ මනුෂ්‍යයකු වශයෙන් මාගේ යුතුකම නිසාය. මේ සම්බන්ධව දිගින් දිගටම ශ්‍රිදේශයට ඔබ වෙනුවෙන් දැමු කොමන්ට්
    http://www.srideshaya.com/sriblog/?p=265
    හා ඒ තුලින් අවසානයෙහි ඔබගේ නිහැඩියාව තුල ඔබ කෙබදු මාවතකට පැමිණ ඇත්දැයි මා නොදන්නා නිසාය.

    අවසාන වශයෙන් ඔබ පැවසූ පරිදි මා ලෝකය දෙස බලන්නේ ප්‍රඤ්ඤාව තුලිනි.ඒ සදහා පියවි දෙනෙතක් හෝ කණ්ණාඩි දැමීමක් අවශ්‍ය නොවන බව ඕනෑම නොදරුවකුට වූවද තේරේ. නමුදු තවමත් අන්ධකාරයෙහි අත පතගාන ඔබ වැන්නවූන්ට කණ්ණාඩි දැමීම කෙසේ වෙතත්, ප්‍රඤ්ඤා බුද්ධිය හෝ පහල වේවා යැයි මම පතමි.

    තෙරුවන් සරණයි.

    ReplyDelete
  4. මා සිටින්නේ අන්ධකාරයේ යැයි ඔබ කියූ පළියට එය සත්‍යය වන්නේ නැත.තමා දත් දේ හැර අනෙක් සියල්ල බොරුයැයි කියන අවිද්‍යාවට මම නැඹුරු නොවෙමි.මා බොහෝ විට ඔබගේ කොමෙන්ට්ස්වලට පිළිතුරු නොලියන්නේද එය හරසුන් වන බැවිනි.අන්තවාදයක ගිලී සිටින්නන් හා සංවාද කර වැඩක් නැති බැවිනි.
    තවද මා ප්‍රශ්නය ඇසුවේ ඔබගෙන් නොව ඔබ ඉල්ලා සිටින පරිදිම "ශ්‍රී දේශය" න් ය.ඔබ මෙයට පිළිතුරු දෙන්න ආවාට මට කරන්න දෙයක් නැත.

    "මන්ද යත්, අන්‍ය පුද්ගලයින් හෝ ඔවුන්ගේ වැරදි සෙවීමට වඩා තමා ගැනම තම අඩුපාඩු සකසා ගැනීම කෙරෙහි උත්සුක වීම මාගේ දර්ශනය බැවිනි."

    මා පවසන්නේද එයමය.ඔබ අන්‍යයන්ගේ වැරදි සෙවීමට නොයනවානම්,මට මෙවැනි පෝස්ට් එකක් කිරීමටද අවශ්‍ය නොවේ.ඔබ අන්‍යයන්ගේ වැරදි සොයා ඒවාට කොමෙන්ට්ස් දැමීමෙන් ඔබේම දර්ශනය උල්ලංඝනය කර ගෙන ඇත.

    ReplyDelete
  5. ඔබ තවමත් මාගේ කොමෙට්ටුවව තේ‍රැම් ගත නොහැකි නොදරුවකු යැයි යළිදු මට වැටහී යයි.

    "මක් නිසාද යත් යමෙක් වැරදි මාර්ගයෙහි යන්නේ නම් එය පෙන්වා දීමමැ මනුෂ්යයයකු වශයෙන් මාගේ යුතුකම නිසාය"

    මා විසින් සිදුකරන්නේ අනෙකාගේ වැරදි සෙවීම නොව එවැන්නන්ට සත්‍යය පහදා දී සුමගට ගැනීමට සදහා වූ මානූෂීය චේතනාවයි. ඔබ වැනි නොදරුවන් බයිබලයෙහි මිත්‍යා මත වලට හසුව ආලෝකය යැයි සිතා අන්ධකාරයෙහි ගිලෙමින් ("මා සිටින්නේ අන්ධකාරයේ යැයි ඔබ කියූ පළියට එය සත්යයය වන්නේ නැත."-ඔබ ආලෝකයෙහි සිටින බවටඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් හෝ නොමැතිව) එයින් ගොඩ ගැනීමට මා දරණ අල්ප වෑයමකට හෝ ඉඩක් ලබා නොදෙමින්, මා හට අන්තවාදියා යැයි දෝෂාරෝපනය කොට, එයින්ම සංවාදය නවැත්වීමට ඔබට අවශ්‍ය නම් මා හට සිදුකල හැක්කේ ඔබට අනුකම්පාකොට උපේක්ෂා සහගත වීමමැ මිස වෙන කුමක්ද?

    අවසාන වශයෙන් ඔබ කෙරෙහි සානූකම්පිතව, මා එකම එක දෙයක් කියන්නම්. මෙය පිලිබදව ඔබගේ සිතෙහි ඇතුලාන්තය සමග සංවාදයෙහි යෙදෙන්න. මා සමග තර්ක කිරීමට හෝ සංවාද කිරීමට වඩා එයමැ මහගු පි‍ටුවහලක් වනු නො අනුමානය. එසේ නම් මා මෙතනින් නවතිමි...

    නොදරුව, "මම ලෝකයේ ආලෝකය වෙමි" යනුවෙන් මම පැවසුවහොත් ඔබ සියල්ල ඇතහැර මා කෙරෙහි වූ බලවත් විශ්වාසයෙන් "මම අදුරේ නොවෙමි" යනුවෙන් අවසන් නිගමනයකට එනවාද? එසේ නැතහොත් ජේසුස් වහන්සේ හෝ අන්‍ය ආගමික ශාස්තෘවරුන් හෝ දු‍ටු එම ආලෝකය කරා යා හැකි විද්‍යාත්මක ක්‍රමවේදය අධ්‍යනය කර දෙවියන් වහන්සේ ඉක්මවා යාමට නිර්භයව ඉදිරිපත් වී ඇති ඔබගේ තාර්කිත බුද්ධියට ඉඩදෙනවාද?

    ReplyDelete
  6. දරුව තොපි දෙදෙනාම අන්ධකාරයෙ ඉන්න උන් බව මට පෙනෙ. ems මුලින්ම බයිබලය කියවනු මැනව. කසුන් මුලින්ම ත්‍රිපිටකය කියවනු මැනව. ඉන්පසු ems ත්‍රිපිටකය කියවනු මැනව. කසුන් බයිබලය කියවනු මැනව.දෙදෙනාටම අන්ධකාරය හා ආලොකය අතර වෙනස වැටෙහෙවි.

    ReplyDelete