If you can't read,please click on here.

Monday, December 7, 2009

තුහ් ! නොදකින් ජන මාධ්‍ය

මාධ්‍යයක් යනු යම් තැනකින් තවත් තැනකට යමක් ගෙනයෑමට ඉවහල් වෙන්නකි.මෙහිදී අපි ජන මාධ්‍ය හඳුනා ගන්නේ එය ජනතාව අතරට තොරතුරු හා දත්ත ළඟා කරවීම සඳහා යොදාගන්නා වූ මෙවලමක් ලෙසය.වෙහෙසට පත්ව සිටින ජන මනස සිහිලින් නිවා දමන්නටත්,ඈලි මෑලි වී සර්ව අසුභවාදයේ ගැලී සිටින්නන් පුබුදුවා කෙලින් සිටුවන්නටත්,භාවනායෝගීව සිටින්නෙකු වුවද නිද්‍රාවෙන් මුදා ආවේගශීලී කරන්නට මෙන්ම අවශ්‍ය නම් ජන මනස විකෘති කරන්නට තරම් ද වූ බලයක් ජනමාධ්‍ය සතුය.එය ලිඛිත,ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය කියා වෙනසක් නොමැත."කඩුවට වඩා පෑන බලවත්" යැයි පැරැන්නෝ කීවේද කට කහනවාට නොවේය.
එබැවින් ජන මාධ්‍යයේ භාවිතාව පිළිබඳ එය මෙහෙයවන්නන් අතිශයින් ප්‍රවේශම් විය යුතුය.විවිධ සංස්කෘතීන්වල එල්බගත් අපේ සංස්කෘතියට හානිකර වැඩසටහන් ප්‍රචාරය,කාමය රාගය අවුළුවන රූප රාමු හා විවිධ වැඩසටහන් ගැන සමාජයේ කතිකාවන් නිර්මාණය වන්නේත් මේ නිසාය.එහෙත් වර්තමානය වන විට ජන මනස දේශපාලනික වශයෙන්ද විකෘති කරන්නට තරම් ජන මාධ්‍ය ප්‍රචණ්ඩකාරී වී තිබේ.මිනිසා ලිංගික හා දේශපාලන සත්වයෙකු බව අප අසා ඇත.එබැවින් ජන මාධ්‍යයන්ද වැඩි පුරම මිනිසාගේ මනස ආක්‍රමණය කරන්නේ ලිංගික හා දේශපාලනික වශයෙන් බව දැකිය හැකිය.මේ දෙකේදීම ජනමාධ්‍ය වගකිව යුත්තන් ලෙස හැසිරෙන්නට කටයුතු නොකළහොත් එහි ප්‍රතිවිපාකයන් ඛේදනීය වේ.මන්ද දේශපාලනික වශයෙන් මහ ජනයා මං මුළා වුවහොත් එය රටක ඉදිරි ගමන තීරණය කිරිමේ දී ඡන්ද දායකයා නොමඟ යැවිය හැකි බැවිනි.
ශ්‍රී ලංකාවේ අප දන්නා කාලයේ සිට රාජ්‍ය මාධ්‍ය භාවිතාව නිරන්තරයෙන් පවතින රජයට පක්ෂපාතී විය.ප්‍රේමදාස ජනපතිතුමාගේ කාලයේ එය "One Man-show" ලෙසත් ,චන්ද්‍රිකා මැතිණියගේ කාලය තුළ එය "One woman-Show" ලෙසත් හඳුනා ගත්තේ මේ නිසාය.එහෙත් වර්තමානයේ රජයේ ජනමාධ්‍ය මින් බොහෝ එහා ගොස් ඇති බවක් පෙනේ.එය දැන් වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම "One family-Show" වී ඇත.
උදෑසන හඩ්සන් ගේ මහා දේශපාලන විචාරය ඇසීමේදී ගුවන් විදුලි‍ය නිපදවූ එල්මෝ මාර්කෝනීගේද දෙමව්පියන් සිහි කරවන්න තරම් එය අගනේය."ස්වාධීන" යන වචනයේ තේරුම හෝ නොදත් රූපවාහිනී නාලිකාව විසින් කරන පුවත් විකාශය සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව ගෙවන්න ගෙනා ටී.වී. එකද පොළොවේ ගසන්නට හිතෙන තරම් ආවේගයෙන් ප්‍රේක්ෂකයා පුරවන්නට සමත්ය.(එක් දේශපාලන පක්ෂයකට ගිලී අන්ධ වී එහි කිමිදෙන්නන්ට මෙය බලපාන්නේ නැත).රජයේ මුද්‍රිත මාධ්‍ය ගැනද වෙනම කතා කළ යුතු නැත.එහෙත් තවමත් බොහෝ ප්‍රදේශවල(ගම්බද ප්‍රදේශවල) ජනයාට දෘෂ්‍ය මාධ්‍ය ලෙස සුසර කර ගත හැකිවන්නේ රජයේ නාලිකා පමණි.එබැවින් මෙය ජන මනස තුළ අසංතුලිත දේශපාලනික චින්තනයක් ඔබ්බවන්නකි.පෙර සිටි ජනපතිවරුන් මෙන්ම වත්මන් ජනපතිවරයාවද උදේ සිට රෑ වන තුරු පෙන්වීම හෝ එතුමාගේ ගුණ උදේ සිට රෑ වන තුරු වැයීම ද ගැටළුවක් නොවේ.ප්‍රශ්නය වන්නේ ඉතා අසික්ඛිත හා පහත් වූත්,පිළිකුළ් සහගත වූත් ලෙස විපක්ෂ දේශපාලකයින්ට හා පක්ෂවලට මඩ ගැසීමයි.තමා කළ දේ ජනතාවට කියන්නට මේ මාධ්‍ය යොදාගැනීම සුභවාදීය.එහෙත් තම දේශපාලනික විරුද්ධවාදීන්ට එරෙහිව කඩු මුගුරු ඔසවන්න හිතෙන තරම් වෛරයක් වපුරවන්නට රජයේ මාධ්‍ය ක්‍රියා කිරීම අතිශයින් පිළිකුල් සහගතය.විපක්ෂ අපේක්ෂකයාගේ පළමු මාධ්‍ය හමුව ආවරණය කරන්නට රාජ්‍ය මාධ්‍ය පැමිණ තිබුණි.ඒ ඔහුගේ හොඳට නොවේ.මුළු කතාවම අසා සිට එහි වාක්‍යයක ව්‍යාකරණ දොෂයක් හෝ හොයා ගන්නටය.එසේ හොයා ගන්නා දෝෂ රජයේ රූපවාහිනී මාධ්‍ය නාලිකාවල සිරස්තල බවට පත්වේ.ඉන් අනතුරුව ඒවා ගැන විද්වතුන්(විමල් වීරවංශ,මහා චක්‍රවර්තී මේධානන්ද හිමි වැනි) දැරූ අදහස් මී ළඟ සිරස්තල බවට පත්වේ.එවැනි අවස්ථාවල ජනපතිතුමගේ පුවතකට හෝ කාලය සොයා ගත නොහැකි තරම් පුවත් මැවේ.මෙය අතිශයින්ම තුච්ඡ,පිළිකුල්,පහත් හා නින්දිත මාධ්‍ය භාවිතයකි.
අප විශ්ව විද්‍යලයේ සිටින කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීත්වය විවේචනය කළෙමු.ඒ පිටුපස ජ.වි.පෙ. සිටින බව ප්‍රසිද්ධ රහසක් වූ අතර,මේ සඳහා අප පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලට රාජ්‍ය මාධ්‍ය නොපැමිණියේය.ඔවුන් සිතුවේ අප එ.ජා.ප. යට සම්බන්ධ ශිෂ්‍ය සංගමයක් කියාය.එහෙත් එක් මාධ්‍ය හමුවකදී ඇමතිවරයෙකුට දුරකතනයෙන් කතා කර,මෙය එ.ජා.ප. ශිෂ්‍ය සංගමයක් නොවන බවත්,ජ.වි.පෙ. අන්තරය පිටුපස සිටිමින් කරන ක්‍රියාවලිය ගැන අප අදහස් දැක්වීමට යන බව කියා සිටි සැණින් ස්වාධීන රූපවාහිනියේ හා ජාතික රූපවාහිනියේ වාර්තා කණ්ඩායම් අප මාධ්‍ය හමුවට ළඟා වූයේ ෆැක්ස් හෝ ලිපි පවා නොමැතිවය.එදා ජ.වි.පෙ. නම සඳහන් කොට කතා කළ කොටස් පුවත් විකාශයේ මුල්ම ශීර්ෂපාඨය විය.එබැවින් මේ පහත් මෙහෙය වීම අතිශයින් ජන මනසට හානි කර බැව් කිව යුතුය.සජීවී වැඩසටහන්වලදී ප්‍රශ්න අසන්නන්ට විවෘත දුරකථනයද ලැබෙන්නේ රාජපක්ෂ පවුලට ප්‍රශස්ති ගී ගයන්නන්ට පමණි.
පෞද්ගලික මාධ්‍ය අතරින් ගත් විට,සිරස විපක්ෂයේ පුවත්වලට තරමක් වැඩි ඉඩකඩක් ලබා දෙන බැව් පෙනී යයි.එහෙත් සිරස රජයේ මාධ්‍ය තරම්ම පහත් තත්වයට තවමත් වැටී ඇතැයි කිව නොහැක.(එහෙත් යුද්ධය පැවති කාලය තුළ කටයුතු කළ ආකාරය අනුමත නොකරමි).ඔවුන් ජනපතිවරයාට මඩ ගසන ආකාරයේ කිසිදු පුවතක් පල නොකරන අතර,එතුමාගේ කතාවන් හා එතුමා සහභාගී වන අවස්ථාද පුවත් විකාශයෙන් තවමත් බැහැර කොට නැත.ඉඳ හිට මර්වින් ආචාර්යතුමාට ඔච්චම් කිරීම සාධාරණයැයි නොකියමි.ඊයේ පුවත් විකාශයෙන්ද බන්දුල ඇමතිවරයා සිරස විවේචනය කළ කොටසක් ප්‍රචාරය කර,ඉන් අනතුරුව හිනාවෙන හඬක් ඇසෙන්නට සැලැස්විණි.එවැනි දෑද බාළ බොළඳ මාධය භාවිතයකි.කෙසේ වුවද ඉහත කී මේ කුමන ආකාරයේ හෝ මාධ්‍ය භාවිතයක් රටකට උචිත නොවේ.මාධ්‍ය නිදහස ගැන කෙතරම් කතා කළද,මෙලෙසින් සිදුවන නින්දිත මාධ්‍ය භාවිතය ගැන කතා නොකිරීම අර්ථශුන්‍ය වේ.මෙය වෙනස් විය යුතුමය.එහෙත් ජනපතිවරණයට ආසන්නවෙත්ම මෙය තව දුරටත් බලා සිටින්නට බැරි වනු විනා මෙය නිවැරදි වනු ඇතැයි නම් බලාපොරොත්තු තියා ගත නොහැක.එවිට කළ හැක්කේ "අනේ ,තුහ් නොදකින්" කියා අහක බලා ගැනීම පමණය.

1 comment:

  1. ඇත්ත. ඇත්තවශයෙන්ම අද අප රට තුල රජ්‍ය මාධ්‍ය ප්‍රතිපත්තින් නිසා මෙ රට ජනතාව අතරමං කර ඇත. මෙ නිසා අණ්ඩු පක්ෂ හිතවාදී දේශපාලුවන් තම තමුන්ගෙ කුණු සොදා ගනිමින් මිනිසුන් අතර වැජබෙ. මෙ සියල්ල කේන්ද්‍රගතවන්නෙ විධායක බලතල හැසිරවිම මතය. පවතින රජය ජනාධිපති තම බලතල උපයොගිකර ගනිමින් මෙ අන්දමින් කරන විනශය ප්‍රභාකරන් කල විනාශයට වඩා බොහොසෙයින් වැඩිය.
    මහින්ද රාජපක්ෂ යනු නිර්භීත නායකයෙකි. එහි කිසිත් තර්කයක් නැත. නමුත් රාජ්‍ය මාධ්‍ය මෙ ආකාරයෙන් හැසිරිමෙදී බුද්ධිමත් අපක්ෂපාති මිනිසුන් එම නිර්භිත නායකයා තුල තිබෙන කුහකත්වයත්,නිර්ලජ්ජා සහගත බවත් දකිමින් එතුමා ගැන කළකිරේ.

    පොදු අපේක්ෂකයා වන ජෙනරල් සරත් ෆොන්සෙකා මහතා ද නිර්බීත බව මහ ජනතාව හොඳින්ම දන්නා කරුණකි. එතුමාට සිදුවු අසාධාරණය තවත් අයෙකු ලක් නොවීම් පිණිස එතුමා කටයුතු කරයි.

    රජ්‍ය මාධ්‍ය මෙ අවස්ථාවෙදි කල යුතු කාර්ය වෙනත් පුද්ගලික රුපවහිණි නාලිකා තුලින් සිදුවීම රජ්‍ය තුල සිදුවි ඇති කඩාවැටිමට මනා සාක්ෂියකි

    ReplyDelete