If you can't read,please click on here.

Monday, November 30, 2009

සිංහලයාගේ මතකය-අලි+කොටි ගිවිසුම හා ෆොන්සේකාගේ ‍තෝරාගැනීම

මේ රටේ සිංහලයින්ට යමක් මතක තිබෙන්නේ සති දෙකක් පමණ යැයි කීවේ මෙරට බිහි වූ අමානුෂිකමවූත්,කෲරවූත්,ම්ලේච්ඡවූත් ත්‍රස්තවාදී නායකයාය.අද එම ත්‍රස්තයා ජීවතුන් අතර නැතත්,එම ප්‍රකාශය සත්‍යයක් බව යළි යළිත් මේ ලක් පොළොව මතම තහවුරු වෙමින් තිබේ.එම ප්‍රකාශය කළ ත්‍රස්තවාදී නායකයා යළි කිසිදු ප්‍රකාශයක් නොකරන්නට වග බලා ගත් හමුදා සෙන්පතියාව මේ රජයට අමතකව ගිය ආකාරය මෑතම උදාහරණය වුවද රාජපක්ෂ මහාතාගේ පදවි ප්‍රාප්තිය හා ඊට ප්‍රථම සිදුවූ බොහෝ දෑද ඇතැමුන්ට අමතක වී ඇති සෙයක් පෙනේ.
අද සරත් ෆොන්සේකා මහතා එ.ජා.ප.යේ හා ජ.වි.පෙ. සහයෝගය සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට ඔහුට එරෙහිව නැඟෙන ප්‍රධාන චෝදනාවලින් පෙනී යන්නේද බොහෝ දෙනෙකුට බොහෝ දේ අමතකවී ඇති බවකි.එහෙත් රදපස යුගය මෙරට ජනයාට අමතක නොවී තබා ගන්නට ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛ මාධ්‍ය ඉටු කරන කාර්යය කෙතරම්ද යන්න පැහැදිලි වන්නේද අනෙක් සියල්ල අමතකව ගියද රාජපක්ෂ සමාගම මතක හිට්ටවන්නට එම මාධ්‍ය සමත් නිසාය.
එ.ජා.ප.යේ 17 වසරක පාලනය නිමා කරලීමට මේ රටේ ජනයා තීරණයක් ගනු ලැබුවේ 1994 දීය.ඒ චන්ද්‍රිකා මැතිණියගෙන් ලද සුන්දර බලාපොරොත්තු සමුදායද හද පුරවා ගෙනය.මෙරට පැවැත්වූ ජනාධිපතිවරණ අතර ඉහළම ප්‍රතිශතයකින් ඇය ජයගත්තේ වාර්තාගත ලෙසය.එතුමිය රට භාරගන්නා විට එ.ජා.ප.ය කොටි ත්‍රස්තාවාදීන්ට එරෙහිව යුද්ධ කරමින් සිටියේය.ඩී.බී.විජේතුංග ජනාධිපතිවරයා සේනාධිනායකයා වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන්ද එම යුධ ක්‍රියාදාමයන් මෙහෙයවමින් සිටියෝය.
එහෙත් චන්ද්‍රිකා මැතිණිය සැමට සාමය පොරොන්දු විය.ඇය "සුදු නෙළුම" පුබුදුවන්නට විය."තවලම" රට වටා ගෙනයන්නට විය.සුදු පරෙවියන් නිල් අහසේ ඉගිළී යන රූප රැගත් ගීත රූපවාහිනියේ නිතර දැක ගත හැකි විය.එහෙත් මේ කිසිවක් මේ රටට සාමය ගෙන ආවේ නැත.එ.ජා.ප. රජය සිය පාලනයේ තබා ගෙන පොදු පෙරමුණු ආණ්ඩුවට භාර දුන් මුලතිව්,පුනරීන්,අලිමංකඩ වැනි කඳවුරු යළි කොටියාට නතු විය.බෝම්බය රට ඇතුලටම පැමිනුණේය.රට බෝම්බ භීතියෙන් ඇළලෙද්දී විදෙස් ආයොජකයින් ශ්‍රී ලංකාව හැර ගියහ.ආධාර නැති විය.යුධ ආධාර පවා ලබා දීම ප්‍රතික්ෂේප කෙරුණි.රට අරාජික විය.භාණ්ඩාගාරය හිස් වී ගියේය.ආර්ථිකය ඉතිහාසයේ මුල්වරට ඍණ අගයකට ඇද වැටුණි.

වසර 6කින් පොදු පෙරමුණු රජය ජනතාවට තිත්ත විය.චන්ද්‍රිකා රජය අසරණ විය.ඇය යළිත් සාම ගිවිසුමකට සැරසුණේය.දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා අදාළ ගිවිසුම පිළියෙළ කර තිබුණි.එහෙත් එයට අත්සන් තබන්නට පෙර පොදු පෙරමුණු රජය ජනතාව විසින් බලයෙන් පහ කරනු ලැබිණි.ඉන් පසු බලයට පැමිණි වික්‍රමසිංහ මහතා විසින් අදාළ ගිවිසුමම,රජයේ හමුදාවන්ට මුහුදේදී රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට හැකි ලෙස වැකියක්ද ඇතුළත් කොට අත්සන් කිරීමට කටයුතු කළේය.මන්ද බලයට පත්වූ විගස කොටියාට ගහන්නට තියා අප හමුදා සෙබළුන්ට පුහුණු වීම් සඳහා වූ පතරොම්වත් නොතිබුණි.ප්‍රභාකරන් නිරුපද්‍රිතව ජීවතුන් අතර සිටියේය.එහෙත් යුද්ධය මඳකට නැවතුණි.බෝම්බ බිය පහව ගියේය.තැන්තැන්වල ගිවිසුම සුළු වශයෙන් උල්ලංඝනය වුවද සමස්ථයක් ලෙස එය සැබෑ සටන් විරාමයක් බවට පත්ව තිබුණි.එහෙත් කොටියා මීට පෙර සටන් විරාමවලදී මෙන්ම,තම යුධ ශක්තිය වැඩි කර ගනිමින්,ආයුධ හා පිරිස් බලයද තීව්ර කරමින් සිටියේය.එහෙත් යුද්ධයෙන් මඳකට ලැබූ අස්වැසිල්ල තුළ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබුණි.රැකියාවක්වත් දෙන්නට බැරි තැනක රට තිබූ නිසා රැකියා ලබා දීම නවතා තිබුණද, ආර්ථිකය යළි නංවා වසර දෙකක් ගතවන විට රාජ්‍ය සේවකයාට අංක 4ක පඩිවැඩිවීමක් ලබා දීමට කටයුතු කෙරුණි.හිඟන ආර්ථිකය යළි පණ ගන්වා රැකියා දෙන්නට හැකි තත්වයකට රට ඔසවා තැබුවද එහි ප්‍රයෝජනය හා ලකුණු ගන්නට හැකි වූයේ පසුව පත්වූ රජයටයි.(යොවුන් සේනාංකයේ ගිණුමෙන් මුදල් ගෙන අලුත් රජය රැකියා දුන්නේය.)
මේ සියල්ල සිදුවන අතර යුධ භටයාට අවශ්‍ය පතරොමේ සිට අනෙකුත් අවශ්‍යතාවයන් සපුරමින්ද,පුහුණුවීම් වර්ධනය කරමින්ද තිබුණි.ඇමෙරිකාව හා ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුම්වලට අත්සන් තැබීමටද සූදානම් විය.ඇමෙරිකාව මෙරටට යුධ ආධාර නවතා දැමූ තත්වයෙන් මිදී යළි ඒ සඳහා කැමැත්ත පළ කරද්දී,එය සංකේතවත් කිරීමට යුධ නැවක් ද තෑගි ලැබුණි.එයින් ප්‍රයෝජන ගත්තේ ද ලකුණු දා ගත්තේද පසුව පත් වූ රජයයි.
මේ අතර කාලයක් යුද්ධ නොකිරීම හා සාම සාකච්ඡා මේසයට හුරු වීම නිසා ඇතැම් කොටියන්ගේ යුධ මානසිකත්වය ගිලිහෙමින් තිබුණි.ඇතැම් සාමාජිකයින් විවාහවෙමින්ද,සුව සහසු දිවියකට ඇතුල්වීමේ ආකල්පයන් තුළට යමින්ද සිටියහ.මෙකී තත්වයන් හා ප්‍රවණතාවන් මඟින්,ප්‍රභාකරන් නොමැති සාකච්ඡා මේසය උඩ පෙරළිකාර තීරණයක් ගන්නට කරුණා පෙළඹවනු ලැබ සිටියේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර වසා තිබූ භයංකර කොටි බලය ප්‍රභාට අහිමි විය.කරුණා අම්මාන් සමඟ දහස් ගණනක් ප්‍රභා-විරෝධීන් බිහිවිය.එයින් ප්‍රභාට තම දකුණු අත අහිමි වූවක් පමණක් නොව එතෙක් කොටි හමුදාවට වැඩිම පිරිස් බඳවා ගනු ලැබුයේ නැගෙනහිරින් බැවින් සෙබළ බඳවා ගැනීම් දැඩි‍ ලෙස අවහිර විය.එහි ප්‍රතිඵලයක් වූයේ කිසිදු සදාචාරයකින් හෝ මානුෂිකත්වයකින් තොරව බලහත්කාරයෙන් තම හමුදාව ශක්තිමත් කිරීමට එල්.ටී.ය.ට සිදු වීමයි.මෙමඟින් එල්.ටී.ටී.ය උතුරේ දෙමළ ජනයා අතරේ මහත් ලෙස අප්‍රසාදයට පතවන්නට පටන් ගත් බව මානුෂීය මෙහෙයුමෙන් මිදී ආ පවුල්වල පිරිස් ද පසුව කියා තිබුණි.එතෙක් ප්‍රභාකරන් ගැන මොනයම් හෝ පැහැදීමක සිටියවුන්ද ප්‍රභාගේ තරම තේරුම් ගන්නට විය.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී රනිල් රජය මහ මැතිවරණයෙන් පසු පැවති පලාත් පාලන මැතිවරණයේදී විශිෂිට ජයක් ලැබීය.පළාත් පාලන ආයතන 248 කින් පොදු පෙරමුණට ජය ගත හැකිවූයේ 5ක් හා ජ.වි.පෙ. ට තිස්සමහාරාම පමණි.එවකට තිබූ පාලනය ජනතාව විසින් අනුමත කරනු ලැබුවේ අත්තනගල්ලෙන්ද බණ්ඩාරනායකවරු පරාජය කරමින් මෙන්ම ,හම්බන්තොටදී එ.ජා.ප.ය ට 88%ක් හා රාජපක්ෂවරුන්ගේ පොදු පෙරමුණට 7%ක් ලබා දෙමිනි.අද මහින්දගේ යුද්ධයට ජනතාව ඡන්දය දුන්නාටත් වඩා ඉහළින් එදා රනිල්ගේ සාමයට ජනතාව ඡන්දය දුන්නේය.ජනතාව වැඩි පඩි ඉල්ලා වීදියට බැස්සේ නැත.අහස උසට බඩු මිල වැඩි වුණා යැයි කීවේ නැත.සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදවලින් පිරුණේ නැත.ප්‍රශ්න පත්‍ර,රටේම ප්‍රශ්න බවට පත්ව තිබුණේ නැත.රජයට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහිමිව තිබුණේ ද නැත.(වෙනත් පක්ෂ කඩා එක්කර ගැනීම් නොකළද).ජනපතිනිය විසින් හදිසියේම අමාත්‍යාංශ 3ක් පැහැර ගන්නා ලදී.එහෙත් එතුමියගේ වැය ශීර්ෂ අනුමත කරන්නට තරම් විපක්ෂය කාරුණික විය.මේවාට එරෙහි වන්නට අද ආණ්ඩුවේ සිටින රාජිත මහත්තයාලට ඕනෑ වුවද රනිල් මහත්යාගේ ‍දේශපාලන සහජීවනය නිසාත්,සීමා ඉක්මවන ඉවසීම(ලංකාවේ දේශපාලනයට නොගැළපෙන) නිසාත් අද රනිල් විපක්ෂයේ තබා රාජිතට ඇමති වන්නට හැකි විය. විමල් වීරවංශලාගේ ජ.වි.ප. ය හා එල්ලෙන්නට වැල් නැතුව සිටි මහින්ද මහත්තයාලට අවස්ථාවක් දෙමින් චන්ද්‍රිකා මැතිණිය බහුතරය තිබූ, ජනතාව විසින් අනුමත කර තිබූ රජය විසිරුවන ලද්දේය.එයට හේතු ලෙස දැක්වූයේ රාජ්‍ය ආරක්ෂාවට තරජනයක් ඇති බව කියමිනි.එහෙත් රාජ්‍ය ආරක්ෂාවට වැඩිම තර්ජනය තිබුණේ 2000වන විට බව බොහෝ අයට අමතකව ගොස් තිබුණි.අලි-කොටි ගිවිසුම නමින් ජ.වි.පෙ. ගෙනා සංකල්පයේම පොදු පෙරමුණත් එල්බ ගත්තේය.ඒත් ඒ මොකක්ද කියාවත් කියා ගන්නට පොදුපෙරමුණු මන්ත්‍රීවරු නොදත්හ.ජ.වි.පෙ. එවැන්නක් කියන නිසා ඔවුන් ද අලි-කොටි එකට දමා කීවේය.එහෙත් එවැන්නක් ඔප්පු කළ හැකි කිසිවක් පොදු රෙමුණට තිබු‍ණේ නැත.එය වඩා හොඳින් පැහැදිලි කිරීමට ශ්‍රී.ල.නි.ප.යේ අති ප්‍රබලයෙකු වන දි.මු.ජයරත්න මහතා 2004 මැතිවරණය ජය ගැනීමෙන් පසු ස්වර්ණවාහිණියේ "කිණිහිර" සාකච්ඡාවේදී කළ ප්‍රකාශයක් සෑහේ.එය මෙහෙය වූ ශාන් විජේතුංග නිවේදක ශිල්පියා ඇසුවේ අලි-කොටි ගිවිසුම ගැනයි.එවිට දි.මු.ජයරත්න මහතා එක් වනම කීවේ,එවැන්නක් නැති බවත්,එය ඡන්ද කාලෙට කියන කතාවක් පමණක් බවත්ය.එහෙත් ඒ වන විටත් ඡන්ද දායකයා අලි-කොටි ගිවිසුමට එරෙහිව ඡන්දය පාවිච්චි කර තිබුණේය.
ඉන් අනතුරුව පැවති පළාත් සභා ඡන්දයෙන්ද සන්ධානය පහසුවෙන් ජය ගත්තේය.එහිදී එ.ජා.ප.ය මුළු මැතිවරණයෙන්ම ලබා ගෙන තිබුණේ ඡන්ද ලක්ෂ 22ක් විය.රනිල්=ප්‍රභාකරන් ලෙස ජ.වි.පෙ. හා රනිල් විරෝධීන් සමීකරණ තුලිත කර තිබියදීත්,මහින්ද වටා බොහෝ පක්ෂ පේළි සැදෙද්දීත් ජනයා පෙරට විත් රනිල්ට ද ඡන්දය දෙන්නට විය.එබැවින් ලක්ෂ 22 තිබූ ඡන්ද ගොඩට තවත් පක්ෂ 25ක්ම එක්කරගනිමින් රනිල් 47 ලක්ෂයක ඡන්ද ගොන්නක් ලබා ගත්තද,තමාට උණ්ඩයට කළ හානියට වඩා,සාමයේ නාමයෙන් වින කළ බැවින් රනිල් යළි රජ නොවිය යුතුයැයි තීරණය කරනු ලැබුවේ ප්‍රභාකරන්ය.උතුරේ ඡන්ද ලත් තැනම ලොප් විය.මහින්ද 50.29%ක් හෙවත් මෙතෙක් ජනපතිවරණවලදී අවම ප්‍රතිශතය ලැබූ ජනපතිවරයා ලෙස තේරී පත්විය.රනිල් යුගය එසේ නිමා විය.

මහින්ද පාලන සමය ඇරඹිණි.රට හදන්නට මහින්ද අනිත් අයට එන්න කීවේය.රනිල් ගියේය.දෙදෙනා අතර රටේ මූලික ප්‍රශ්න විසඳීම සඳහා එකඟතාවයකට අත්සන් තැබුණි.එය ශ්‍රී ලංකාවාසීන් මහත් ප්‍රමෝදයට පත් කළ ආරංචියක් විය.පත්තරවල මුල් පිටු මහින්ද-රනිල් ඡායාරූපවලින් සැරසුණි.කතුවැකි ඒ වෙනුවෙන් ප්‍රශංසා ගී ගැයූහ.මහනාහිමිවරඅ අලුත් යුගයක ඇරඹුමට ආසිරි එක් කළහ.කොන්දේසි විරහිතව රාජපක්ෂ රජයේ ඊළඟ අය-වැය අනුමත කරන්නට පවා රනිල් ඓතිහාසික එකඟතාවයකට පැමිණ තිබුණේය.එනම් රටේ විපක්ෂය වශයෙන් රට මුහුණ දී ඇති ප්‍රධානම ප්‍රශ්නයන් විසඳන්නට විපක්ෂය සිය පූර්ණ සහයෝගය රජය වෙත පල කළේය.එහෙත්......සියල්ල වෙනස් වූයේ අද වා‍ගේමය.සාම ගිවිසුමෙන් රනිල් රටේ පොදු සතුරා වූ කොටියා දෙකඩ කළද රනිල්-මහින්ද ගිවිසුමෙන් එ.ජා.ප.ය දෙකඩ විය.පසුව ජ.වි.පෙ.ට ද මුස්ලිම් කොංග්‍රසයට ද ඒ ඉරණමම අත් වුණි.මහින්ද මහත්තයාගේ පොදු දේශපාලනික සතුරන් දෙකඩ වී දුර්වලව ගියේය.ප්‍රජාත්‍රන්තවාදය ලෙඩ ඇඳට වැටුණේය.එදායින් පසු විපක්ෂය රජයට එ‍රෙහිව කියන සියල්ල යුධ විරෝධී හා ජාතිද්‍රෝහී,දේශද්‍රෝහී ප්‍රකාශයන් ලෙස හුවා දක්වන ලද්දේය.රනිල් ප්‍රමුඛ විපක්ෂය යුද්ධයට එරෙහි බවත්,කිසිම සහයක් නොදුන් බවත්,කකුළෙන් අදින බවත් පමණක්ම මතුර මතුරා කියන්නට විය.එ.ජා.ප.ය දේශද්‍රෝහීන් විය.
සටන් විරාම ගිවිසුම දවා අළු කරන්නට,පුළුස්සන්නට මැතිවරණ වේදිකාවල කතා කිව්වද,එය එලෙසම ක්‍රියාත්මක විය.(එය දින 14ක දැන්වීමකින් ඕනෑම මෙහොතක අවලංගු කළ හැකිව තිබුණි).ඩිලාන් පෙරේරා මන්ත්‍රීන් යුධ විරෝධී පෙරමුණු හදාගෙන සිටියහ.ජ.වි.පෙ. දිගමට යුද්ධය....යුද්ධය.... කියද්දීත් ජිනීවාවල කොටියා සමඟ සාම කතා පැවැත්විණී.මහින්ද චින්තනයේ කිසිම තැනක යුධ ක්‍රියාදාමයක් ගැන සඳහන්ව නොතිබුණු අතර,යුද්ධයට එක පයින් කැමතිවන්නට මහින්ද මහත්තයාට "ගට්ස්" නොතිබුණි.එහෙත් කොටියා මාවිල්ආරු සොරොව්ව ඇල්ලුවේය.හැමෝම යුද්ධයට අත වැණුවේය.මහින්ද මහත්තයා "හා", කිව්වේය.ශාන්ත කෝට්ටේගොඩ හිටපු හමුදාපතිවරයා තානාපති ධුරයක් දී විශ්‍රාම ගන්වා විශ්‍රාම යන්නට සිටි සරත් ෆොන්සේකා කැඳවන්නට සිදු විය.ඔහුගේ සේවා කාලයද දිඟු කරන ලද්දේය.කරුණා නැති නැගෙනහිර ‍කොටියා අසරණ වෙද්දී,අප හමුදාවෝ පහසුවෙන් ජය කෙහෙළි නැංවූහ.උතුරට ඇඳුණු හමුදා සේනාවන්ට නිදි යහන මත සිතියම් දිග හැරගෙන එළිවන තුරු උපදෙස් දුන් සටන් නායකයා ප්‍රභාගේ ආයුෂ ප්‍රමාණය තීරණය කළේය.යුද්ධය නිමා විය.අවසානයේ විපක්ෂයේ කිසිදු සහයක් නොමැතිව යුද්ධය ජයගත් බව කියවිණි.
තමන්ට සිටින්නේ ලොව හොඳම යුද හමුදාපතිවරයා බව ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්වරයා ද කීවේ මීට හය මාසයකට කලිනි.දැන් මේ සියල්ල අමතක වූවන් රදපස වන්දනාවේ යෙදෙමින් සිටිති.එහෙත් මේවා සියල්ල සරත් ෆොන්සේකා නම් වූ ඒ යුධ විරුවගේ සිහියෙන් තොරවී නැත.එම නිසා එ.ජා.ප.ය හා ජ.වි.පෙ. සමඟ සරත් ෆොන්සේකා එක් වන්නේ මේ සියලු කාරණා මැදය.ඔහු තම අපේක්ෂකත්වය තහවුරු කරමින් පැවසුවේද ඇතැම් සුළු සුළු හා පෞද්ගලික කාරණා නිසා විපක්ෂය හා එක්ව සටනට එක් වීමට බාධාවක් නොවන බවය.ඔහුගේ තේරීම සාධාරණීකරණය වන්නේ අඩුම තරමේ 2005 සිට මේ දක්වා වූ සිදුවීම් පෙළවත් හරි හැටි මතක ඇති ශ්‍රී ලාංකිකයන්ට පමණි.

9 comments:

  1. "කරුණා නැති නැගෙනහිර ‍කොටියා අසරණ වෙද්දී,අප හමුදාවෝ පහසුවෙන් ජය කෙහෙළි නැංවූහ"

    පට්ට පල් බොරු කියන්න එපා. නැගෙනහිර ජයග්‍රහණය කරන්න කරුණා නැති එක උදව්වක් උනා තමයි ඒ කියලා කොටි නැගෙනහිර බන්දේසියක තියල හමුදාවට දුන්නේ නෑ. සෙබළු සිය ගණනක් ජීවිත පූජා කලා ආබාධිත උනා. ඒ අයට අපහාස කරන්න එපා.

    ඔයා අදහස් ප්‍රකාෂ කරල තියෙන්නෙ එජාපයට පක්ෂව. සටන් විරාම ගිවිසුම කාලෙ ගැන කියල තියන ගොඩක් දේවල් අමූලික බොරු. ඒ දවස් වල යුද්දෙට අවලාද කියපු මඩ ගහපු ගොඩක් අය දැන් කරන්නෙ ඒ ජයග්‍රහණය තමන් නිසා ලැබුන බව කියල පටු වාසි ගන්න.

    ReplyDelete
  2. 2002 ඩොලර් තෝටි 35 ආධාර මත ලංකාව දියුණු වූවානම් නැවත වසර 100කින් මෙහා වෙනත් ආණ්ඩුවක් බිහිනොවනබව දත් jvp බල ඇණියට සිද්ධ වුනා ඉතා දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් මගින් සිංහලයාගේ Brain Wash එකක් කරන්න. තවමත් රනිල්ට වෙලා තියෙන අපලේ ඒකයි. මම මහින්දට දොස් කියනවා නොවෙයි ශීර්‍ ලංකාවේ මෙතෙක් බිහිවු වඩාත්ම රාජ්‍ය තාන්ති්‍රක දේශපාලකයා තමයි රනිල්(ඩඩ්ලි සේනානායක ත් එක්කෙනෙක්) මාධ්‍ය මගින් බ්රේන් වොෂ් නොවූ ලක්ෂ 47ක් ජනතාව ගියවර ඔහුට සිටි බව අමතක කරනු නොවටී.

    ReplyDelete
  3. @@තැන්තැන්වල ගිවිසුම සුළු වශයෙන් උල්ලංඝනය වුවද සමස්ථයක් ලෙස එය සැබෑ සටන් විරාමයක් බවට පත්ව තිබුණි.@@

    ඔයා පහුගිය කාලෙ මේ රටේද හිටියෙ. නැත්නම් කඩේ යන්න ඕන කමට අතීතය එහෙම පිටින්ම අමතක කලාද?? මාවිල් ආරු සොරොව්ව වහපු එක ඔයාට සුලු දෙයක් ද?

    ReplyDelete
  4. එළ එළ මල්ලී දිගටම ඔහොම ලියාගෙන යන්න. ඔයාට වරදින්නේ නැහැ. හොද අනාගතයක් තියෙන කොල්ලෙක්. අකිල, සාගල,බුද්ධික,... ඊ ළගට ඔයා.
    මගේ සුභ පැතුම්!

    ReplyDelete
  5. @panni
    ඒ හින්දා තමයි මනුස්සයෝ ඒ වෙලාවේ යුද්දේ පටන් ගත්තේ. පොඩ්ඩක් වාර්ථා කියවලා බලන්න. සටන් විරාම කාලේ මියගිය හමුදා සෙබළු 189යි. කරුණා ඉවත් වීමත් සමග LTTE එකට අහිමි වුණු කාඩර් වරු ප‍්රමාණය 15000ක්.

    @සුසිත
    කරුණා LTTE එකෙන් ඉවත් වීම යුද්ධයට සහයක් වුණා කියලා මේකෙ අතීතය ගැන දන්න ඔනේ කෙනෙක් දන්නවා. මෙතන මොනවා හ‍්රි බොරුවක් තියනවා නම් එක පෙන්නල දෙන්නේ නැතුව නඉකන් බොරුවට කෑගහන්න එපා.

    ReplyDelete
  6. අවස්ථා වේ හැටියට ඔබ මේ කරුනු මිනිසුන්ට මතක් ක‍රදීමට ඉදිරිපත් වීම අගේ කලයුතු කටයුත්තක්,

    අද ඉන්න හුගක් අය තම්න් දෙයක් ගැන හිතනවට වඩා කවුරුන් හො කියන දෙයක් අහගෙන ඉන්න අකමැති පිරිසක් එනිසා ඔබ කියන කරුනු කීදෙනෙක් පිලිගනීද කියලයි සැක ,

    අපි දන්නව වර්තමානා අන්ඩුපක්ෂයේ ජනාධි පතිව‍රයකු යටතෙයි පහුගිය අවුරුදු 15 ක් මේ රට පාලනය වෙන්නෙ එවගේම ඉන් අවුරුදු 2 1/2 හැර ඉතිරි කාලය අන්ඩුබලයක් අතිවයි ගතවී තිබෙන්නෙ. ව‍ර්තමාන අන්ඩුවෙ ප‍්රභලයින් රැසක් ම ඇමති වරුන් ලෙස කටයුටු ක‍ර ඇති එමකාලය තුල රටේ සංවර්ධනය එජාප අවුරුදු 17 ක පාලන කාලය හා සැසදීමට හැකි තත්වයක තිබෙද, එම කාලය තුල රටේ සංවර්ධනයට ඉදිරි පත්වූ නව ක‍්රියා මාර්ගවලට ත‍රගයක් දිය හැකි සංකල්ප ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකිවී තිබේද කියන දෙය බොහො අය අමතක ක‍ර ඇත

    මෙම අමතකවීමෙ භයානකම පැත්ත වෙන්නෙ බත් පැකට් එකකට හො අරක්කුටිකකට දෙශපාලනය ක‍රන්නකු ගේ සිට සමාජයේ උගත් යැයි පිලිගන්න පිරිස් පවා අමතක ක‍ර තිබීමයි,

    ReplyDelete
  7. මේකෙ තියෙන බොරු ගණන ගනින්න ඇගිලිත් මදි!

    ReplyDelete
  8. @මල් මාමා
    බොරුව තමයි පෙන්නල දුන්නෙ ඔහේගෙ ඇස් පේන්නෙ නැද්ද ඇත්තටම. කරුණ අයින් උන නිසා ලේසි උනා තමයි. ඒ කියල අර ගෝඨාභය කිව්ව වගේ හමුදාවෙ අය සාක්කුවෙන් ටොෆී අරන් දීල කොටි මල්ලි මෙහෙන් යන්න කියල ගිහින් ගල උඩින් වාඩි උනේ නෑ.

    මේ ලිපියෙ හේතු දැකිවීම් වලින් 80%ක් විතර බොරු

    ReplyDelete
  9. මා පැවසුවේ කරුණා නොමැතිවීමෙන් රජයේ හමුදාවන්ට යම් කිසි පහසුවක් නැගෙනහිරදී තිබුණු බව පමණි.කිසි විටෙකත් යුධ ජයග්‍රහණයන් හෑල්ලු කිරීමට මා කටයුතු කර නැත.උතුරේදී අප හමුදාවන් මුහුණ දුන් සටන හා සසඳන කළ නැගෙනහිරි යම් පහසුවක් තිබුණි.බන්දේසියක තබා කොටි නැගෙනහිර නොදුන් බව මම දනිමි.මන්ද මාද ශ්‍රී ලංකාවේ සිටි බැවිනි.
    එහෙත් මෙහි ඇති එක් කරුණක් ගැන කියා එය 80%ක් යැයි කීමට තරම් මතවාදී ලෙස බංකලොත්වීම කණගාටු දායකය.
    විපක්ෂයෙන් රජයට ලැබා දුන් කොන්දේසි විරහිත සහයෝගය,චන්ද්‍රිකා මෙන්ම මහින්දද හිටි ආණ්ඩුව මෙරටට කළ හදිය ගැන බිඳකදු කතා නොකොට සියල්ල බොරු යැයි සරලව කීම හාස්‍යයකි.
    මහින්ද රාජපක්ෂ ජනපතිවරයා දේශපාලනිකව දුන් නායකත්වය මෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකා යුධමය වශයෙන් දුන් නායකත්වයත් මෙම යුද්ධය ජය ගන්නට හේතුවිය.මහින්ද නැතුව සරත්ට හෝ සරත් නැතුව මහින්දට හෝ මෙය දිනිය නොහැකිව තිබුණි.එම නිසා "වීරයා තේරීම" සඳහා මම ඉදිරිපත් නොවෙමි.එහෙත් අතීතයේ ඇත්ත තිත්ත වුවද එය මතක් කර ගැනීම වටී.

    ReplyDelete