If you can't read,please click on here.

Tuesday, January 5, 2010

කැලෑ නීතියේ හෝරාව

2010 වසර එළඹෙන්නේ ජනාධිපතිවරණ උණුසුමින් රටම ගිනියම් වී ඇති මොහොතකය.මැතිවරණයක් පැවැත්වෙන සෑම අවස්ථාවකම රට පුරා පූර්ව හා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම දැන් අපට නුහුරු දෙයක් නොවේ.චන්ද්‍රිකා රජයේ වයඹ ඡන්දය අපව එබඳු අවස්ථාවන්වලට අනුගත කළා යැයි කිව හැකිය.මෙවර මැතිවරණය මැරවරණයක් බවට පත්වීමේ සියලුම පෙරනිමිති පහළ වී තිබේ.පසුගිය ජනාධිපතිවරණයේ මුළු ඡන්ද කාලයටම වාර්තා වූ සිදුවීම් ගණන මේ වන විටද ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය මෙල්ල කරගෙන රටේ නිදහස ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාව මේ ගමන් කරමින් තිබෙන්නේ කොහේද?
දවසින් දවස නීතිය අවනීතිය බවට පත්වෙමින් තිබේ.නීතිය සුරැකිය යුත්තන් අවනීතියේ ජඩ කැලට හිස නමමින් සිටී.මෙවන් තත්වයක් තුළ ජනතාවගේ බලාපොරොත්තුව කුමක් විය යුතුද?
මෙවන් ජාතික මැතිවරණයකදී දෙපාර්ශවයම යුද්ධයකට පැටලීම දක්නට ලැබෙතත්,මෙවර බලහත්කාරයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් යුධ ප්‍රකාශ කරන ආකාරයක් දක්නට ලැබේ.මැතිවරණය ප්‍රකාශයට පත්වූ දා සිටම රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ස්වකීය ඒකාධිපතිත්වය මුදා හළ වත්මන් බලය හොබවන්නන් දිනෙන් දින විපක්ෂය තළා පෙළා පොඩි පට්ටම් කර දමන්නට අර අදින බවක් පෙන්වා තිබේ.මහින්ද රාජපක්ෂ මහතාගේ යෝධ කටවුට් හා බැනර් පමණක් ඉතිරි කොට විපක්ෂ අපේක්ෂකයාගේ පුවරුවලට බෝම්බ පවා ගසමින් වපුළ ත්‍රස්තවාදය දැන් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ දියත් වෙමින් තිබේ.මේ සියල්ල ඉදිරියේ නීතිය නිහඬ වීම යුගයේ ඛේදවාචකයකි.කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් කල,මාතර පොලීසිය ඉදිරිපිටම සවිකර ඇති මහින්ද මහතාගේ යෝධ පුවරු පමණක් ඉතිරිවන්නේ කුමන නීතියටද යන්න පැහැදිලි නැත.
කිරිබත්ගොඩදී විපක්ෂය අත් පත්‍රිකා බෙදමින් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරමින් සිටි විට ඊට පහර දීමට ආණ්ඩුවේ මැරයින් පැමිණියෝය.රටේ නීතිය හා සාමය රකින්නට හැඳ පැළඳ සිටින පොලිස් මහත්තුරුද ඒ අසල සිටි අතර,ඔවුන් අදාල විපක්ෂ පිරිස් වෙත කියූයේ පහර දීමට මැර පිරිස් සිටින බැවින් ඉදිරියට නොයන ලෙසය.නීතිය ඇස් හමුවේ අමු අමුවේම වල් වැදෙමින් තිබේ.පොලීසිය ආයුධ සන්නද්ධ මැර පිරිස් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ගේ අනතුරු ඇඟවීම් විපක්ෂය වෙත ගෙන යන පණිවුඩකරුගේ භූමිකාව නිරූපනය කරමින් සිටී.ඊයේ කැම්බල් පිටියේ පැවැති විරෝධතා රැළිය විසුරුවන්නට අවසර ඉල්ලා පොලීසිය උදෑසනම උසාවි ගියේය.දැන් අසම්භාව්‍ය හා තවමත් සිදු නොවූ දේ ගැනද ක්‍රියාත්මක වන්නට තරම් පොලීසිය දුර දිග බලමින් වැඩ කරති.එහෙත් සිදුවූ දෙවල් ගැනනම් පොලීසියට ඇහැක් ඇර බලන්නටවත් තවම හිතී නැත.
 එක් පැත්තකින් විපක්ෂය ජනතාව හා වීදි බැසීම නිහඬ කරන්නට රාජ්‍ය මැරයින්ට රිසිසේ ඉඩ හරිමින් තිබේ.අවනෙක් පැත්තෙන් මැතිවරණ කොමසාරිස්ගේ අණ නොතකා විපක්ෂ අපේක්ෂකයා මඩින් නහවන්නට රාජ්‍ය මාධ්‍ය කටයුතු කරමින් තිබේ.තවත් පැත්තකින් විපක්ෂ වේදිකාවේ කෑ ගසන්නන් කූඩුවේ දමා අගුළුලන්නටද මෙහෙයුමක් ක්‍රියාත්මක බව පෙනේ.දඹර අමිල හිමි කළා යැයි කියන වංචාව සටහන් වන්නේ අද ඊයේ වූවක් ලෙස නොවේ.එහෙත් උන්වහන්සේව අත්අඩංගුවට පත්වන්නේ ‍ෆොන්සේකා මහතාගේ වේදිකාවට ගොඩ වූ පසුවය.දයාසිරි ජයසේකර මහතාටද බොරු චෝදනා යටතේ කූඩු කිරීමට ගත් උත්සාහයක් දක්නට ලැබුණි.මේ සියල්ල තුළ හොල්මන් කරමින් තිබෙන්නේ කැලෑ නීතියයි.ජෙනරාල් ෆොන්සේකා පවසන්නේ තමා විනයානුකූල හමුදාවක් පාලනය කළ බවයි.ඔහු අද රජය සමඟ නැත.ආරක්ෂක අංශ කෙරෙහි වූ බලයක් ඔහුට නැත.එහෙත් සියල්ලට ඉහළින් බලය ඇති සේනාධිනායක වූ ජනාධිපතිවරයා සිටී.ලොව කුරිරුම ත්‍රස්තවාදය නිමවන්නට අණ දුන් සේනාධිනායකතුමන්ට රට තුළ සිවිල් නීතිය හා ආරක්ෂාව පවා සුරක්ෂිත කරන්නට නොහැකි වී තිබේ.විපක්ෂයෙන් ජනාධිපතිවරයාට නැඟෙන ප්‍රබල චෝදනාවක් වන්නේ ජනාධිපතිවරයා කළ එකම දෙය යුද්ධය ජය ගැනීමත්,එයත් ජෙනරාල් ෆොන්සේකා සිටි නිසා කළ බවත්ය.අනෙක් සියල්ලෙදී මහින්ද අසාර්ථකවී ඇතැයි විපක්ෂය කියයි.මේ සේනාධිනායක ලෙස මහින්ද පෙන්වන්නේ ඔහු රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී අසමත් වී ඇති බවද?ජනතාවගේ හදවතේ සදා නිදන්වන්නට තරම් ජනතා සේවයක් කළ නායකයෙකුට කටවුට් බැනර්වලින් පිම්බෙන්නට අවශ්‍ය නැත.එහෙත්" හැළිය රත්වෙන විට කකුළුවා උඩ පනිනවා" යැයි කියන්නට විපක්ෂයට ඉඩ දී ඇත්තේ මන්ද?
මේ ඡන්දය කවුරුන් දිනනවද යන්න පසෙකින් තබමු.එහෙත් ඕනෑම දේශපාලන මතවාදයකට ප්‍රජාත්‍රන්තවාදය ඇතැයි කියන රටක ඉඩක් තිබිය යුතුය.නීතිය හා සාමය ආරක්ෂා විය යුතුය.(රාජාණ්ඩුවකින් එසේ විය නොහැකි බව සැබෑවකි.).එහෙත් අද ගතවෙමින් තිබෙන්නේ අවනීතියේ හෝ කැලෑ නීතියේ හෝරා කිහිපයකි.එහෙත් වැටත්,නියරත් ගොයම් කන විට අහිංසක අපි කුමක් කරමුද?


No comments:

Post a Comment