If you can't read,please click on here.

Wednesday, October 7, 2009

මී ළග මැතිවරණයේදී ඔබේ තීන්දුව?


මේ ගෙවී යන්නේ ලාංකික දේශපාලනයේ සුවිශේෂී වූ කාල වකවානුවකි.පුරා දශක තුනක් මේ පුංච් දිවයින වසා ගෙන තිබූ ත්‍රස්තවාදයේ සාපය මෙරටින් අතුගා දමන්නට රාජපක්ෂ ජනපතිවරයා වීරෝධාර රණවිරු සේනා බල මුලුවලට නායකත්වය දුන්නේය.මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන මෙකී සුවිශේෂී සන්ධිස්ථානයට ළගා වීමත් සමග රාජපක්ෂ නාමය මෙරට ජන හදවත් තුළ ආදරයට පත් වූ බව නොරහසකි.එය කෙතරම් බල සම්පන්න වීද යත්,රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ සන්ධානයක් මින් පෙර නොවූ විරූ ලෙස මැතිවරණ ජයග්‍රහණය කරන්නට පටන් ගෙන තිබේ.මේ සියලු මැතිවරණ ජයගන්නට රාජපක්ෂ ජනපතිවරයා ප්‍රමුඛ රජයට අවැසි වූයේ මෙකී යුධ ජයග්‍රහණයම පමණකි.තැනින් තැන,කඩින් කඩ මැතිවරණ පවත්වමින්,රාජ්‍ය දේපළ බහුලව යොදා ගනිමින් මහජන මුදල් කෝටි ගණන් විනාශ කරමින් මේ මැතිවරණ පැවැත්වූවද,මෙරට ඡන්ද දායකයා මේ වන තුරුම යුද ජය වෙනුවෙන් කතිරය ගැසුවේ තම ජන ජීවිතය බියෙන් ,සංත්‍රාසයෙන් මුදාලන්නට මේ රාජ්‍ය නායකයා කළ මෙහෙයට කෘත ගුණ සලකමිනි.
එහෙත්.....?
අපි තව කොතෙක් කල් කෘත ගුණ සලකමින්,(සිරිපාල අමාත්‍යවරයාගේ නිර්වචනය ලෙස) බත් කන මිනිසුන් වන්නට සිතා ගෙන යුද්ධය වෙනුවෙන්ම කතිරය ගසමුද?බුදුන් වහන්සේ පවා තමා බුද්ධත්වයට පත් වන්නට උර දුන් බෝධියට කළ උපකාරයට පුරා සතියක් අනිමිස ලෝචනය කළ සේක.එහෙත් උන්වහන්සේට ද එයින් නොනැවතී ඉන් එහා කරන්නට බොහෝ දේ තිබුණි.අපට ද දැන් යළි අලුතින් හිතන්නට වී ඇත.ත්‍රස්තවාදය නිමවූ රටේ ප්‍රජාත්‍රන්තවාදය මියැදෙන්නට ඉඩ දිය යුතු නොවේ.දැන් එළඹෙන්නේ අපේ වාරයයි.
ජනපති රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කළ ජයග්‍රාහී ඊලාම් සටන හැරුණු කොට මේ රටේ වැඩ කරන අමාත්‍යාංශයක් නැති තරම්ය.බදු ගැසීමෙන් මුදල් ඉපයීම විනා රාජ්‍ය ආදායම වැඩි කරන නිර්මාණශීලී ක්‍රමවේදයක් නැත.අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැන කතා කිරීමට අවැසි නැත.රාජ්‍ය මාධ්‍ය හා ජනපති වරප්‍රසාද ලබන මාධ්‍ය ඔස්සේ පුම්බා පෙන්වන සංවර්ධනයක් මිස සැබෑ යෝධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොවේ.මේ සියල්ල මැද තවමත් ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට වටින් ගොඩින් එක්වූ කටුසු දේශපාලකයින් මහජන මුදල් කාබාසීනියා කරමින් පාරක් පාරක් ගානේ දත් විලිස්සමින් යෝධ පුවරු මත හිනැහෙන්නේ පසෙකින් රාජෝත්තමයාගේ ඡායාරූපයක්ද ප්‍රදර්ශනය කරමිනි.
මේ සියලු දේ බලාගෙන තව දුරටත් අපි මේ ජරාජීර්ණ දේශපාලනයේ හවුල් කරුවන් වෙමුද?
මෙරට පත්වූ විධායක ජනාධිපති වරුන් අතරින් වත්මන් ජනපතිවරයා සුවිශේෂී බැව් නැවත කිව යුතු නොවේ.ඔහු මෙරට ජන මනස(ඡන්ද දායකයාගේ මනස) මැනවින් හදුනා ගෙන ඇති බවක් පෙනේ.ඔහුගේ දේශපාලන රංගනයට අදටත් ලකුණු 100න් 100 ලැබෙන්නේ ඒ නිසාය.තම බලය ගැන පමණක් සිතා කටයුතු නොකරන්නේ නම්,රාජපක්ෂ මහතා මේ මොහොතේ කළ යුත්තක් තිබේ.රජය ශක්තිමත් කිරීමට හෝ රැක ගැනීමට අමාත්‍ය ධුර අවශ්‍ය නොවේ.එබැවින් තමා සැබෑ දේශ ප්‍රේමියෙක් නම්,තනතුරු අපේක්ෂා නොකොට රජයට සහය දක්වන ලෙස ඔහු තම යෝධ කැබිනට්ටුවට අභියෝග කළ යුතුය.අද වන තුරු එසේ කරන්නට කටයුතු නොකිරීම එතුමාගේ ජනතාව කෙරෙහි ඇති කැපවීම ගැන ප්‍රශ්නාර්තයක් ඉතිරි කර ඇත. මේ ආණ්ඩුව ගැනනම් දෙවරක් සිතන්නට නැත.සියල්ල අක්‍රීයව,අකාර්යක්ෂමව හා දූෂිතව තිබේ.එහෙත් ජනපතිවරයා ගැන දැඩි තීන්දු ගන්නට තරම් ඡන්ද දායකයාට පෙළඹෙන්නට තවම කාරණයක් නැත්තා සේය.එහෙත් ඉහත කී ආකාරයේ තීන්දුවක් ගැනීමට ජනපතිවරයා පැකිලීම ගැන නැවත සිතන්නට අවශ්‍යවේ.
මේ සියල්ල මෙසේ තිබිය දී,යළි මහජන සහය හා විශ්වාසය ලබන්නට සමත් විපක්ෂ සන්ධානයක් ගොඩ නැගී තිබේද යන්නත් අවධානයට ලක් කළ යුතුය.තැන තැන පැවැත්වූ ඡන්ද සැණකෙලි මේ මස 10 වෙනිදායින් අවසන් වෙනු ඇත.ඉන් පසුව එළඹෙන්නේ මුලු රටම එකට ඡන්දය දෙන දිනයකි.එය අප හැමගේ අනාගතය තීරණය කරන්නක් නොවේද?

2 comments:

  1. ඔබගේ අදහස් ප්‍රකාශ කිරිම මාධ්‍ය මර්ධනය ඇති අද දවසේ ඉතාමත් වටීනා කටයුත්තකි. ඔබ දිගටම ඔබේ අදහස් රටට පෙන්වා දෙන්න.

    ReplyDelete
  2. ඹබගේ ඇගයීමට ස්තුතියි.එය මට ඉමහත් දිරියකි.

    ReplyDelete