If you can't read,please click on here.

Monday, October 12, 2009

යුධ ජය විකිණී අවසන්...දකුණෙන් රජයට රතු එළියක් !

තැනින් තැන කඩින් කඩ වැසි වසින්නාක් මෙන් පැවති පළාත් සභා මැතිවරණ වරුසාව පසුගිය 10 වෙනිදා නිමාවට පත්විය.සමස්ථ ප්‍රතිඵලයට අනුව වත්මන් සන්ධාන රජය 68%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින් එම මැතිවරණයද ජයග්‍රහණය කළේය.මෙහිදී ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට එකදු ආසනයක් හෝ ජය ගැනීමට නොහැකි වූ අතර,එය උතුරු මැදදීත්,වයඹදීත්,සබරගමුවේ හා ඌවේදීත් කැපී පෙනෙන ලක්ෂණයක් විය.සන්ධාන රජය පවසන්නේ දකුණේදී තමන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද බවය.එහෙත් සන්ධානය ලැබූ මේ ජයග්‍රහණය සැබැවින්ම රාජපක්ෂ රජයට ලැ‍බුණු ජයග්‍රහණයක් ද?මෙතෙක් පැවති සියලු පළාත් සභා අතරින් සන්ධානයට පහසුවෙන්ම ජය ගත හැකිව තිබූ පළාත් සභාව දකුණු පළාක් සභාවයි.අපේ භාෂාවෙන් කිවහොත් දකුණ ජයගැනීමට සන්ධානයට ගේමක් තිබුණේම නැත.රාජපක්ෂ ජනපතිවරයා දකුණ අවසන දක්වා තබා ගන්නට ඇත්තේද මී ළග මහ මැතිවරණයට පෙර දකුණෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් විපක්ෂය කුජීතකොට අතුගා දමන්නටය.එහෙත් දකුණේදී තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය රජයට ලැබුනේ නැත.


මේ මැතිවරණය පැවැත්වූයේ ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන හය මසක් ගතවෙන්නටත් මත්තෙන් බව අප අමතක නොකළ යුතුය.අනෙක් පැත්තෙන් දකුණ යනු රාජපක්ෂ මහතා ජනපති පුටුවේ වාඩිකරවන්නට ඉහළින්ම ජන වරම ලබා දුන් පළාතයි.එහෙත් මේ ප්‍රතිඵලය තුළ රජයට උදම් අනන්නටනම් දෙයක් ඉතිරි වී නැත.සෑම පළාත් සභාවක්ම විසිරවනු ලැබූ දා පටන් ජනපතිවරයාගේ සිට පහළම ප්‍රාදේශීය නායකයා දක්වා මැතිවරණය වෙනුවෙන් වෙහෙසුණහ.මධ්‍යම පළාතේදී රාජපක්ෂ ජනපතිවරයා මහනුවර නැවතී සිට ඡන්ද ව්‍යාපාරය මෙහෙය වීය.සියලුම මැතිවරණවලදී වෙනමම මෙහෙයුම් කමිටු පත්කොට කැබිනට් මණ්ඩලයම අදාළ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතකොට තිබුණි.එසේ බලන විටනම් යෝධ කැබිනට් මණ්ඩලයක් සිටීම ජනපතිවරයාට වැඩ පහසු කර ගැනීමට හේතුවේ.සෑම ආසනයකටම යවන්නට ප්‍රමාණවත් තරම් අමාත්‍යවරු රාජපක්ෂ රජය සතුව සිටී.
කෙසේ වුවද විපක්ෂය වෙත ප්‍රචණ්ඩත්වය මුදා හරිමින්ද,රාජ්‍ය දේපළ බහුල ලෙස යොදා ගනිමින්ද,ජනපතිවරයාගේ මහත් පරිශ්‍රමයෙන්ද අවසානයේ රාජපක්ෂවරුන්ගේ නිජ බිමෙන් සන්ධානයට හිමිවන්නේ 68%කි.පළාත තුළ අවම ඡන්ද ප්‍රතිශතය වූ 66.95% ලැබී තිබෙන්නේ හම්බන්තොටින් වීම විශේෂත්වයකි. එහෙත් කවදත් එ.ජා.ප. යට හිතකර වූ ඌවේදී රජය මීට වඩා විශිෂ්ඨ ජයක් ලැබුවේ‍ය.ඌව පළාත් සභා මැතිවරණයේදී සමස්ත ප්‍රත්ඵලයෙන් සන්ධානය 72.39%ක් ලබා ගත් අතර බදුල්ලේදී 67.79%ක් හා මොණරාගලදී 81.32%ක් ලබා ගන්නට රජයට හැකි විය.මේ ජයග්‍රහණයෙන් ප්‍රීති පුමෝදයට පත් සන්ධාන රජය සිතු සිතු සේ තම දූෂිත රාජ්‍ය පාලනය එලෙසම ගෙන ගිය අතර දකුණෙන් 90%ක් ලබා ගන්නා බවත්,විපක්ෂයට යන එන මං නැති වන බවටත් කට මැත දොඩවන්නට වූහ.එහෙත් එ.ජා.ප. බලකොටුවක් වූ බදුල්ලෙන් මෙවර ලබා ගත් ඡන්ද ප්‍රතිශතයවත් ලබා ගන්නට ජනපතිවරයාගේ දිස්ත්‍රික්කය වූ හම්බන්තොටදීවත් සන්ධානයට නොහැකි විය.එහෙත් දැන් දේශපාලනික වශයෙන් නැති වී ඇතැයි ආණ්ඩුවේ ඇමතිවරු පැවසූ ජ.වි.පෙ. හම්බන්තොටදී 11%ක් ලබා ගන්නට සමත් වී තිබේ.මේ සියල්ල මෙසේ සිදුවන්නේ රජයට වාසි දායක ලෙස සියලුම සාධක පවතින අවස්ථාවකදීය.එසේනම් මෙය අති මහත් ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන්නට යෑම කෙතරම් නිවැරදිද යන්න රජයටම සිතා බලන්නට සිදුවනු ඇත.
මී ළගට සොයා බැලිය යුත්තේ එ.ජා.ප. යේ ඡන්ද පදනම බිද වැටී ඇද්ද යන්නයි. එය සංසන්දනය කළ යුත්තේ 2004 පළාත් සභා මැතිවරණය සමගය.2004 දකුණු පළාත් සභා මැතිවරණයේදී එ.ජා.ප. ය ගාල්ලෙන් 139,168
ක් ලැබූ අතර 2009 දී එය 140,175 කි.මාතරදී පිළිවෙලින් 94448 ක් හා 94614 කි.හම්බන්තොටදී එ.ජා.ප. ය 2004 දී 58327ක් ලැබූ අතර එය නිමවූ 2009 මැතිවරණයේදී 62,391 කි.මේ අනුව දිස්ත්‍රික්ක 3 දීම එ.ජා.ප. යට මීට පෙර තිබූ මැතිවරණයට වඩා එකදු ඡන්දයක් හෝ අඩුවී නොමැත.එනම් එ.ජා.ප.යට තිබූ ඡන්ද එයින් ගිලිහී සන්ධානයට එකතු වී නොමැති බව උපකල්පනය කිරීම සාධාරණය.මෙහිදී ඡන්දය පාවිච්චි නො කළ පිරිස 541,817කි.එමෙන්ම 2005 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් හම්බන්තොටින් 202,918 ලැබෙන විට එතුමා මේ රටේ ජනාධිපති වී සිටියේද නැත.එහෙත් මෙරට ජනාධිපතිවීමෙන් පමණක් නොව ත්‍රස්තවාදය මුලුමනින්ම පරදා රාජාභිෂේකයට පත්වූ පසු,එනම් 2009 පළාත් සභා මැතිවරණයේදී සන්ධානයට හම්බන්තොටින් ලැබී ඇත්තේ 192,961 ක් පමණි.
කෙසේ වුවද රජය දකුණත් ජය ගෙන අවසන්ය.මේ සියල්ල ලීවේ රජය පරාජය වූ බව කියන්නට නොව්.එහෙත් දකුණෙන් රතු එළියක් යාන්තමට දැල්වීගෙන එන බව කියන්නටය.මෙම මැතිවරණ ප්‍රතිඵලය අතිශයින් සරලව විශ්ලේෂනය කිරීමෙන් ඇගවෙන්නේ එයයි.
ලබන වසරේ මහ මැතිවරණයකට යා යුතුව තිබේ.නැගෙනහිර ඡන්දය ළගා වන විට ජනපති ඔලුවිල් වරාය බලන්නට ගියේය.ඌවේ ඡන්දයට ඔන්න මෙන්න කියා ජනපති ඌවේ විශ්ව විද්‍යාලය විවෘත කළේය.දකුණේ ඡන්දයට මාතර රාහුල විදුහලේ පිහිනුම් තටාකයක් විවෘත කළේය.රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දකුණේ විශාල සංවර්ධනයක ඡායාවන් ඡන්ද දායකයාගේ මනස තුළ හොල්මන් කළේය.එහෙත් මේ සියලු පරිශ්‍රමයන් කොට අවසානයේ ලක්ෂ 5කට අධික පිරිසක් ඡන්දය නොදුන් තත්වයක් ද තිබියදී රජයේ මැතිවරණ ජය පසු බෑමකට ලක්වී තිබේ.මොණරාගලින් මීට මාස 4කට පෙර 81%ත් ලැබූ සන්ධානය,හම්බන්තොටින් 66%කට පසු බැස තිබෙන බව පිළිගන්නට සිදුවේ.
එහෙත් තවම රජය පරාජය වී නැත.යුධ ජය විකුණා ගෙන රණවිරු ජය මතින් එක එකා මරා ගනිමින්,තමාගේම පක්ෂයේ එකාගේ මනාප හොරා ගනිමින් සන්ධාන රජය නැටූ විගඩම් නිමා කරන්නට කාලය පැමිණ තිබේ.මා මීට පෙර ලිපියේ කී පරිදි,යුධ ජය වෙනුවෙන් රජයට කෘත ගුණ සැලකීම දකුණේ මැතිවරණයෙන් නිමා වෙනු ඇත.දකුණේදී ඡන්ද නොදුන් ලක්ෂ 5ත්,වයඹදී ඡන්දය නොදුන් ලක්ෂ 6ත්,මධ්‍යම ලක්ෂ 5ත්,බස්නාහිර ලක්ෂ 14ත් මහ මැතිවරණයේදී නිහඩ වේ යැයි සිතිය නො හැකිය.එබැවින් රාජපක්ෂ රජය දැන්වත් ජනතාවාදී රජයක් වන්නට මොනම හෝ උත්සාහයක් දරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


No comments:

Post a Comment