If you can't read,please click on here.

Wednesday, October 14, 2009

රාජපක්ෂ නොවේනම්........බුලතට ළංවෙනු අවදානම්

ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා එ.ජා.ප. යෙන් ඉවත් වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැනුවේය.ශ්‍රී.ල.නි.ප. යේ ඇරඹුම එවකට තිබූ ඒකාකාරී දේශපාලන ප්‍රවාහයට නව පණක් ලැබුනාක්මෙන් විය.එහෙත් වැඩි කල් නොයාම මෙරට ජනයාට තේරුම් යන්නට වූයේ එය දේශපාලන පක්ෂයකට වඩා බණ්ඩාරනායකවරුන්ගේ බූදලක් බවට පත් වන ආකාරයයි.පක්ෂයේ නායකත්වය බණ්ඩාරනායකවරයෙකුගෙන් හෝ බණ්ඩාරනායකවරියකගෙන් ගිලිහී නොයන්නට පවුලේ සාමාජිකයෝ වග බලා ගත්හ.එහෙත් චන්ද්‍රිකා ජනපතිනියගේ ධූර කාලය නිමා වෙත්ම තම දේශපාලන උරුමය තව දුරටත් තමා වෙතම තබා ගන්නට බණ්ඩාරනායකවරු අපොහොසත් වූහ.ශ්‍රී.ල.නි.ප. යේ පාලනය ‍හොරගොල්ලෙන්,මැදමුලනට මාරු විය.දැන් එළඹ ඇත්තේ රදපස යුගයයි.


රාජපක්ෂ පාලනයේ ආරම්භයේ සිටම විපක්ෂය ඊට දැඩි ලෙස පරිභව කරන්නට පටන් ගත්තේය.රාජපක්ෂ සමාගම නමින් නමක්ද පට බැදුණේය.එහෙත් මේ රට පාලනය කරන්නේ රාජපක්ෂද,බණ්ඩාරනායකද නැතිනම් වික්‍රමසිංහද යන්න මේ රටේ ජනයාට වැදගත් නැත. අපට අවශ්‍ය වන්නේ කවුරුන් හෝ කරන දෙයක් හරියට කරනවාද යන්න පමණි.ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකමිවරයා වීම ප්‍රධාන විපක්ෂයට ප්‍රශ්නයක් වුවත්,මෙරට ජනයාට ප්‍රශ්නයක් නොවූයේ ඒ නිසාය.ඒ මහතා යුද්ධය යුද්ධයක් විදියට කළේය.මහින්ද මහත්තයාද ජනාධිපතිවරයා ලෙස යුද්ධය දිනන්නට අවැසි දෑ කළේය.එබැවින් රටේ මුලු අමාත්‍ය මණ්ඩලයම රාපක්ෂවරුන්ගෙන් සැදුම්ලත් වූවත්,තමාට ප්‍රශ්නයක් නැතැයි ඡන්ද දායකයාද තීරණය
කළේය.ඌවට උඩින් ගෙනත් අතහැරිය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව වාර්තාගත මනාපයෙන් දිනවා ජනතාව පැවසුවේ එයයි.එහෙත් දැන් දැන් එන පාට හරි නැත.
මහින්ද මහත්තයා ජනාධිපති වන්නට කලියෙන් කතා කරපු හැටි දැන් බොහෝ දෙනෙකුට මතකවත් නැත.වීදුරු කූඩුවක් ඇතුලට වී උක්ත ආඛ්‍යත පද ගළපගන්නට එතුමා මහත් වෙහෙසක් දැරුවේය.රාජ ලීලාව හෝ සිංහ ලීලාව නොව තමාව දිනවන ඕනෑම කෙනෙකු කියන ඕනෑම දෙයක් කර දෙන්නට එදා එතුමා සූදානම් වී සිටියේය.දැන් එතුමා රජෙකි.සිංහයෙකි.ඒ නිසා රට පාලනය කරන හැටි එතුමා ට කියලා දෙන්නට දැන් කාටවත් බැරිය.
ඊයේ පෙරේදා පාපන්දුවකට පයින් ගැසූ රාජපක්ෂ මහතා
දැනටමත් බොහෝ දෙනෙකුට පයින් ගසා ඉවරය.මහින්ද මහත්තයා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පසු,එතුමා දිනවන්නට බොහෝ දෙනෙකු දර දිය ඇද්දෝය.උගුර ලේ රහ වන තුරු වේදිකා දෙවනත් කරමින් මොර දුන්නෝය.මහින්ද මහත්තයා ජනාධිපති වුනාම අපිටත් හඳ පායනු ඇතැයි ඔවුහු සිතුවෝය.එහෙත් තමන්ගේ පස්ස පැත්තට පා පහර වදින විට තමාට හිතුවටත් කලින් හඳ පායා ඇති බව ඇතමුන්ට තේරුම් ගියේය.රටේ ලෝකේ නැති බොරු ගොතා ගෙන රනිල් මහත්තයාව පරද්දන්න ගිය ඈයෝ රනිල් මහත්තයාවම සොයා ආවෝය.අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහ යැයි ඔවුන් කියන්නට විය.පා පහරේ සැර කොච්චරද කියා දැනගන්නට ඒ ටිකම ඇතිය.ඒ අයට දෛවය සරදම් කළේ එහෙමය.
මහින්දාගමනයට පාර සැදූ ජ.වි.පෙ.ටද වැඩි කල් නොයාම තමන්ගේ වැඩක් බලා ගන්නට සිදු විය.අද ආණ්ඩුවේ මන්ත්‍රීන්ට,ඇමතීන්ට ලොකුම බයිට් එක වී ඇත්තේ ජ.වි.පෙ. බව පසු ගිය මැතිවරණ වේදිකාවලදී පෙනී ගියේය.එහෙත් චම්පික මහත්තයාලා
සිතුවේ තමන්ටවත් රජතුමා සලකනු ඇති කියාය.එයාලට බෙදන්නට කියා තමන්ට වෙනම හැන්දක් නැති බව රාජපක්ෂ මහතා පෙන්වා දී අවසන්ය.13 සංශෝධනය ගැන ආයේ කවදාවත් නොකියන්නට චම්පික මහත්තයා තීරණය කරන්නට ඇත්තේ ඒ නිසාය.විමල් මල්ලීටත් දැන් වැඩ වැරදී ගෙන එන බව පෙනේ.හෙට අනිද්දාම මල්ලීටද රාජපක්ෂ සාමාජිකත්වය ගන්නේද නැත්නම් ගෙදරම යන්නේද යන්න තීරණය කරන්නට සිදුවෙනු ඇත.රාජපක්ෂවරයෙකු හෝ රාජපක්ෂවරියෙකු නොවී සන්ධානය දිනවන්නට යෑම ගැන මීට වඩා දූර දර්ශී විය යුතු බව මෙරට විවධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට රාජපක්ෂවරු පෙන්වා දී ඇත.


මෙතෙක් තමන්ට රජකමට එන්නට පාර කියූවන්ට රාජපක්ෂ මහත්වරු එසේ සැලකුවද ජනතාවට තදින් දැනෙන්නේ නැත.එහෙත් රාජපක්ෂ සමාගමට අලුතින්ම එපා වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව වීම නම් අන්තිම කැත වැඩක් ලෙස කාටත් දැනී තිබේ.ජනාධිපතිකමට එන විට යුද්ධයක් ගැන හිතලාවත් නොතිබුණු මහින්ද මහත්තයා ජාතියේ පිනට පහළ වූ මහ රජාණන් වූයේ ෆොන්සේකා මහතාගේ විශිෂ්ඨ යුධ නායකත්වය නිසාය.කාට කොහොම සැලකුවත් හමුදාපතිවරයාට එ‍්සේ සැලකීම යුතු නැත.එහෙත් එය සිදුවී තිබේ.රාජපක්ෂවරුන් කාටත් සිහියට නගන්නේ "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" යන කවි පදයයි.තමාට අවැසි සියල්ල කරගෙන පයින් ගසා විසි කිරීම ඔවුන්ගේ න්‍යාය වී තිබේ.එසේ විසි නොවී ඉන්නට නම් කළ හැකිව තිබෙන්නේ උපතින් බැරි නම් ක්‍රියාවෙන් හෝ රාජපක්ෂවරයෙකු වීම පමණි.

ජන බලය ,යුධ බලය තිබූ මිනිසුන්ට මෙහෙම සැලකුව රජතුමන් දවසකට එතුමාට කතිරය විතරක් ගැසූ, වෙන මුකුත්ම නැති අපට කොහොම සලකනු ඇද්ද?දේවාලය ඉහට කඩා වැටේ කියා සිතන්නේනම් වදින්න යන්නෙම නැතුව ඉන්න එක කාටත් හොදය.

No comments:

Post a Comment