If you can't read,please click on here.

Wednesday, November 18, 2009

ලංකාවේ ජනපතිට වසර 6ක් දුන්නේ මොකට ද?

වත්මන් රජයේ නිල කාලය අවසන් වන්නේ ලබන අප්‍රේල් මාසයේ දීය.මේ අනුව කාර්තුවකට සැරයක් මැතිවරණ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මී ළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ එළඹෙන අප්‍රේල් මස මැති සබය විසුරුවා හැරීමෙන් පසුවය.එහෙත් කනින් කොනෙන් කියවුනු මතය තහවුරු කරමින් ඊට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බැව් කියැවේ.එහෙත් වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය නිම විය යුත්තේ 2011 දීය.එසේ නම් දැන්ම ජනපතිවරණයකට යා යුත්තේ ඇයි?
මෙය නම් පුදුම කරුමයකි.පවට පින දෙන්න බැරිය.වසර 6ක් ලැබුනද අපේ රටේ ජනපතිවරුන්ට වසර 6ක් ඉන්නම බැරිය. 2005 දී මහජනයාගේ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනපති පුටුවේ වාඩි කරනු ලැබුවේ 2011 වන තුරු මේ රටට නායකත්වය දීමටය.දැන් 2009 නිම වෙද්දී තම නිල කාලය අවසන් කිරීමට එතුමා තීරණය කරන්නේ ඇයි?මෙය පුදුම සහගතය.ශ්‍රී ලංකාවේ බිහිවූ ජනාධිපතිවරුන් අතර මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂිම වූ ජනපතිවරයාය.ඒ තමාට ලැබුණු විධායක බලතල අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා නියම ආකාරයට භාවිතා කළ අයෙකු වීමය.අනෙක් අතට අදටත් මෙරට මධ්‍යස්ථ මතධාරී කා තුළත් ඇති මතය නම්,සමස්ථයක් ලෙස ගත් විට මහින්ද රාජපක්ෂ යනු,හොඳ නායකයෙකු බවය.ගැටළුවක් ඇත්තේම මෙතනය.ජනපතිවරයා හොඳනම්,අපි ඔහුට මේ රට කළ හැකි උපරිම කාලයක් කරන්නට දිය යුතුය.එහෙත් ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයෝද පවසන්නේ මහින්ද මහතාට අවුරුදු 12 කෙසේ වෙතත් මුල් 6වත් නොදිය යුතු බවයි.මෙය ප්‍රහේළිකාවකි.අපට යමෙකු හොඳ නම්,අපි ඔහුව හැකි තරම් අප සමඟ තබා ගන්නවා විනා ඔහු අප සමඟ සිටින කාලය අඩු කර ගත යුතුද?
ඇමෙරිකාවේ මෙන් වසර 4ක් තිබුණානම් මේ ප්‍රශ්න මුකුත් නැත.අපේ ජනාධිපතිවරුන්ට ලැබුණ අවුරුදු 6 හොඳටම වැඩි බව මේ ව්‍යවස්ථාව හදපු ජේ.ආර්. මහත්තයාම පෙන්වා දුන්නේය.තම බලය රැක ගැනීමට හොඳම අවස්ථාව ආව විට,අඩුවෙන 2ට වඩා වැඩිවෙන 6 හොඳයි කියා වසර 4න් ඡන්දයට යන්න ව්‍යවස්ථාව හදා ගත්තේ ද ජේ.ආර්. උන්නැහැමය.දැන් පත්වෙන හැම කෙනාටම මේක පුරුද්දට ගිහින් වාගේය.
කොහෙන් ගියත් පාඩු වෙන්නේ අපිටමය.අවශ්‍ය නොවන මෙහොතක නොපැවැත්විය යුතු මැතිවරණවලට යෑම නිසා විශාල මුදල් කන්දරාවක් දැනටම වියදම් වී ඇත.මේ හදිසි ජනපතිවරණය සැබැවින්ම ඕනෑ වී තිබෙන්නේ කාටද?ජනපතිවරයා කවදා ඉල්ලුවත් මේ ඡන්දය ජය ගත හැකි විය යුතුය.විපක්ෂය කියන පොදු අපේක්ෂකයා කවුරු වුනත්,තමා මේ රටට යමක් කළේ නම් ජනපතිවරයා නිකරුණේ බයේ තම ධුර කාලය කෙටි කර ගත යුතු ද?
සැබැවින්ම මේ ඡන්දය අවශ්‍යව තිබෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතීන්ට මිස ජනපතිතුමාට නොවේ.අදටත් තම තමාගේ ආසනය,දිස්ත්‍රික්කය පැවති ඡන්දවලදී රැක ගත්තේ ජනපති හා යුද්ධය එකට අලෙවි කිරීමෙන් මිස,තමා කළ කී දෙයක් නොවන නිසා බව ඔවුන් හොඳින් ම දනී.යෝධ කැබිනට්ටුව අපිට බර පැටවීම මිස කළ වෙන දෙයක් ඇත්තේම නැත.මේ නිසා ජනපති කර මතින් ගොඩ යන්නට තතනන අයිස් ඇමතිවරුන්ට ඕනෑ නිසා දැන් ජනපතිවරණයක් කැඳවා තිබේ.
ජනතාව මේ ගැන අවධියෙන් සිටිය යුතුය.මී ළඟ ඡන්දය කුමක් වුවත්,බලලෝභී හා අවස්ථාවාදී දේශපාලකයන් ගෙදර යවන්නට අප තවත් පැකිලීමට අවැසි නැත.නැතිනම් ඇත්තමට "දැන් ඉතිං රට හදමු" කියා තව අවුරු 2ක්ම තම බලය රට හදන්නට ඉතිරිව තිබෙන ජනපතිවරයාට ඒ අවස්ථාව අහිමි කළ යුතු නැත.නොඑසේ නම් ලෝකයේ වැඩිම ජනාධිපති ධූර කාලය ලංකාවට තබා ගැනීමෙන් සිදුවන සෙතක් නැත.

3 comments:

  1. ඔබ ප්‍රකාශ කරන්නේ සත්‍යයයි. අමන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ජනාෂිපතිවරණය යනු, කොට්ට පොර සෙල්ලමක් යයි සිතාගෙන සිටී. විශ්මය නම් බටහිර සුදු අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වන්නේත්, එක්ෂත් ජාතික පක්ෂයට අවශ්‍යවන්නේත්, නව ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යවන්නේත්, කාලකන්නි ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ පාක්ෂිකයන්ටත් අවශ්‍යවන්නේද එකම දෙය වීමයි. ඉන්න මහින්ද පන්නා දමා, ඉ්න මහින්ද බලයට ගෙන ඒම නැමති කොහේටවත් නොගැලෙපෙන තර්කනට එරෙහිව, අප එකතු වෙමු, සංවිධානය වෙමු,2011 දක්වා ජනාධිපතිවරණයක් අවශ්‍ය නැති බවට බල කොට සිටිමු. ස්තුථියි.

    ReplyDelete
  2. වසර 4න් ජනාධිපතිවරනය තබුණාට ඉතිරි වසර 2 අහිමි වන්නේ නැත, එය තීරණය වන්නේ ජනාධිපති දිවුරුම් දිම මතය. වසර 2 අවසානයේ ජනාධිපතිට දිවුරුම් දිය හැක,එවිට මුළු කාලය ලැ‍බෙ.(වසර 12)

    ReplyDelete
  3. රන්ජන,

    ඔබ පවසන කරුණ ව්‍යවස්ථාවට එකඟ නොවේ.මා ද පෙර එම මතයේ සිටියේ පුවත්පතක පළවුණු එබඳු අදහසක් නිසාය.
    දැනට සිටින ජනපතිවරයාම නැවත පත්වුවහොත්,ඔහුට වසර 2 නිම වෙන තුරු දිවුරුම් නොදී සිටිය නොහැක.ඔහු තමාගේ මී ළඟ සංවත්සර දිනයේදී දිවුරුම් දිය යුතුව ඇත.
    එය ව්‍යවස්ථාවේ 7වන පරිච්ඡේදයේ (d)කොටසේ i,ii වැකිවලින් කියවේ.

    ReplyDelete